Translate

Translate

Tuesday, May 20, 2014

සීනි ‘ලොන්ඩරියෙන්’ මතු වන ආණ්ඩුවේ දැක්ම

සීනි ‘ලොන්ඩරියෙන්’ මතු වන ආණ්ඩුවේ දැක්ම

කන ‘සීනි’ වස වෙන කතාව මෙන්න…පසුගියදා අණ්ඩුව ඉතා ආන්දෝලනාත්මක ලෙස උපාය මාර්ගික ආයෝජන පනත යටතේ කැසිනෝ පහසුකම් සහිත හෝටල් ව්‍යාපෘති 03 ක් අනුමත කරන්නට යෙදුනි. සංචාරක ක්‍ෂේත‍්‍රයේ ඩොලර් මිලියන 1000 ක විදේශ ආයෝජන වෙනුවෙන් රටේ ගෞරවණීය මහානායක ස්වාමීන් වහන්සේලාගේ සිත් රිදවීමට තරම් ආණ්ඩුව නිර්භීත බව ඒ තුළින් පෙන්නුම් කළේය. ආණ්ඩුව එම තීන්දුව ගැනීමේදී කැසිනෝ ව්‍යාපාරය පුළුල් කිරීමට ඉඩ නොදෙන ලෙස උන්වහන්සේලා විසින් කරන ලද  ඉල්ලීම තුට්ටුවකට මායිම් කළේ නැත. ඒවා එසේ සිදුවන්නේ ජනාධිපතිවරණයක් කටලග තිබියදීය. ඇත්තවශයෙන්ම එම හෝටල් ඉදිකිරීමට වසර 04  කාලයක් ගත වේ.කැසිනෝ ආරම්භ කෙරෙනවා නම් කෙරෙන්නේ ඉන් පසුවය. නමුත් ආයෝජකයින් එම නීතිමය ආවරණය ලබා ගැනීම පුර්ව කොන්දේසියක් ලෙස ඉදරිපත් කිරීම නිසා ආණ්ඩුව ඒ ආකාරයට දේශපාලන වශයෙන් අමාරුවේ වැටුණු බව පිළිගත හැක.
එසේවුවත් දැන් පෙනෙන ආකාරයට කැසිනෝ වලට අවසර දීම සදහා වෙනම පනතක් ක‍්‍රියාත්මක වන තත්වයක් යටතේ ඒ පිළිබදව අදාල නියෝග වල නිශ්චිතව සදහන් නොවීම නිසා ආයෝජකයාට ලැබෙන සහතිකය ගැටලූ සහගත විය හැක. විදේශ ආයෝජන වලට අදාලව ආණ්ඩුව දේශපාලන සාධක සැලකිල්ලට නොගත්තද ආයෝජකයෝ එම සාධක විශේෂිතව සැලකිල්ලට ගනිති. කැසිනෝ වලට ඉඩ නොදෙන බව ආණ්ඩුව වක‍්‍රවත් විපක්‍ෂය ඍජුවත් ප‍්‍රකාශ කොට ඇති තත්වයක් යටතේ ආයෝජකයින් තම ආයා්ජන පිළිබදව දෙවරක් සිතා බැලිමට බොහෝ ඉඩකඩ ඇත. එසේවුවහොත් ඇතිවන්නේ ගහපු පදේකුත් නැති බෙරේ පළුවකුත් නැති දේශපාලන තත්වයකි. මේ පටලැවිලි සිදුවන්නේ ආණ්ඩුවට විදේශ ආයෝජන පිළිබදව පැහැදිලි උපාය මාර්ගික ස්ථාවරයක් නොමැති කම නිසා බව පැහැදිලිව පෙනේ. වෙනත් වචන වලින් කියනවා නම් එවැනි දේ සිදුවන්නේ දේශපාලන සාධක වලින් ව්‍යුක්තව ආර්ථිකය කළමනාකරනය කිරීමට ගන්නා උත්සාහය නිසාය. කෙසේවෙතත් අප රටේ සංචාරක කර්මාන්තය දියුණු කිරීම සදහා සුදුව, දුරාචාරය සහ බාල සතුට විකිණීම හැර අන් විකල්පයක් නැතැයි සිතන ආණ්ඩුවකට එවැනි අර්බුද වලට පිළිතුරු නැතිවීම සොභාවික තත්වයකි.
එම පුර්විකාව අවශ්‍ය වන්නේ ආණ්ඩුව තවත් එවැනිම ආර්ථික සහ පාරිසරික වශයෙන් විනාශකාරී ව්‍යාපෘතියකට අවසර දීමේ විපාක පෙන්වා දීම සදහාය. විදේශ ආයෝජකයින්ට සහන ලබාදීම සදහා ආයෝජන මණ්ඩල පනත තිබියදී ආණ්ඩුව උපාය මාර්ගික සංවර්ධන පනත නමින් නව පනතක් ගෙන එන්නේ අදාල සහන තවදුරටත් වැඩි කිරීමටය. අලි මදිවාට හරක් කිව්වා සේ දැන් ආණ්ඩුව සැරසෙන්නේ එම නව පනත යටතේ රටේ  සීනි නිෂ්පාදන කර්මාන්තය දියුණු කරනවා වෙනුවට සීනි සේදීමේ කර්මාන්ත ශාලාවක් ඇති කිරීමටය. ඩොලර් මිලියන 220 ක ආයෝජනයක් රට තුළට ගෙන ඒම සදහා මෙම හාස්‍යජනක කර්මාන්තය ස්ථාපිත කිරීමට යන්නේ හම්බන්තොට වරාය ආශ‍්‍රිතවය. එහිදි මෙම ඉන්දියානු සමාගම පොරොන්දුවන ආයෝජනය රටතුළට ගෙන එන බවටද සහතිකයක් නැත. මීට පෙර ඉන්දියානු තෙල් සමාගම සිදු කළ ආකාරයට දේශීය බැංකු හරහා මෙම අරමුදල් වලින් වැඩි කොටස ලබා ගැනීමටද ඉඩ ඇත.
මෙම ආයෝජකයින්ට වසර 10 ක් සදහා ආදායම් බදු සහන, තීරු බදු සහන සහ වැට් බදු සහන පමණක් නොව විදේශීය සේවකයින්ගේ වැටුප් සදහාද බදු සහන ලබා දී ඇත. ඒ අනුව පෙනී යන්නේ ආයෝජන මණ්ඩල පනත යටතේ ලබාදිය හැකි සහන වලට අමතරව උපාය මාර්ගික සංවර්ධන පනත යටතේද විශාල සහන ප‍්‍රමාණයක් ලබාදී ඇති බවය. උපාය මාර්ගික පනත යටතේ සහන ලබා දුන්නත් කැසිනෝ ආයෝජනය මෙන්ම මෙම ආයේජනය තුළද බරපතල උපාය මාර්ගික පටලැවිල්ලක් ඇත.
ලෝකයේ කිසිදු රටක සීනි නිෂ්පාදනයක් නැතිව ‘සීනි සේදීම’ උපාය මාර්ගික කර්මාන්තයක් ලෙස සැලකීමට හේතුවක් නැත. එවැන්නක් කිසිසේත්ම ආර්ථික සක්‍යතාවයට අනුව රටකට වාසි සහගත වන්නේ නැත. යම් රටක නිපදවන සීනි ඒවා නිපදවන කර්මාන්ත ශාලාවේ සිට වෙනත් රටකට ප‍්‍රවාහනය කොට ඒවා සේදීම වැනි සුළු වටිනාකම් එකතු කිරීමකින් පසුව නැවත ප‍්‍රවාහනය කිරීම යනු ඉතා පැහැදිලිවම අකාර්යක්‍ෂම නිෂ්පාදන ක‍්‍රියාවලියකි. නමුත් පාරිසරික නීති වලින් රංගා යාම, බදු සහන යටතේ වෙළදපල ආක‍්‍රමණය කිරීම, බදු වංචා කිරීම සහ මධ්‍යසාර ව්‍යාපාරය වැනි වෙනත් ව්‍යාපාරයකට මගපාදා ගැනීම වැනි හේතු මත මෙවැනි විද්ශ ආයෝජන ස`දහා ඉල්ලූමක් ඇතිවේ.  ඊට අමතරව දේශීය ඒජන්තවරුන්ට ලැබෙන කොමිස් ප‍්‍රමාණය මතද ඒවා  දිරිගැන්වේ.
ඉතා සරලව ගතහොත් සීනි සේදීම හෙවත් පිරිපහදුව යනු දුඹුරු සීනි සුදු සීනි බවට පත් කිරීමය. ඇත්තවශයෙන්ම නිෂ්පාදන ක‍්‍රියාවලිය තුළ අපද්‍රව්‍ය එකතුවීම ආදී ගැටලූ නොමැති කර්මාන්තශාලාවක නිපදවන දුඹුරු සීනී පරිභෝජනය කිරීම සුදු සීනි පරිභෝජනයට වඩා සෞඛ්‍යයට හිතකර බවට ලෝකයේ ප‍්‍රබල පිළිගැනීමක් ඇත. අප රටේ පවා දුඹුරු සීනි සුදු සීනි වලට වඩා මිලෙන් වැඩි වන්නේ ඒ නිසාය. දුඹුරු සීනි සුදු කෙරෙන්නේ සල්පියුරික් අම්ලය වැනි රසායනික ද්‍රව්‍ය භාවිතා කරමිනි. එම පිරිසිදු කිරීමේ ක‍්‍රියාවලිය මගින් සිදුවන පරිසර දුෂණය නිසා බොහෝ රටවල එවැනි කර්මාන්තශාලා සදහා බරපතල කොන්දේසි පැනවේ. එම නීතිමය බාධක නිසා එවැනි කර්මාන්ත සදහා වන පිරිවැයද වැඩිවේ.
ආයෝජන වලදී පාරිසරික නීති රීති සහ දීර්ඝකාලීන ආර්ථික වාසි වලට වඩා කෙටිකාලීනව රටට ඇතුල්වන ඩොලර් ප‍්‍රමාණය දෙස බලා තීන්දු ගන්නා  අප වැනි රටවල් දෙස ‘කසල කර්මාන්ත’ ආයෝජකයින් බැල්ම හෙලන්නේ ඉහත සදහන් කළ හේතු නිසාය. ඊට අමතරව අප රටේ දළ වශයෙන් වසරකට ඩොලර් මිලියන 550 ක පමණ සීනි වෙළදපලක් ඇත. ඒ අනුව බදු රහිතව ආනයනය කරන ‘අපිරිසිදු’ සීනි ‘පිරිසිදු’ කිරීම මගින් දේශීය සීනි වෙළදපල සම්පුර්ණයෙන්ම අත්පත් කර ගැනීමට එම ආයෝජකයින්ට ඉඩ  ලැබේ. වෙනත් වචන වලින් කියනවා නම් ඩොලර් මිලියන 220 ආයෝජනයක් ගෙන ඒමෙන් එක් වසරකදී එම ප‍්‍රමාණය මෙන් දෙගුණයකටත් වැඩි වෙළදපලක් අත්පත් කර ගැනීමට ඉඩ ලැබේ. එවැනි වාසනාවක් ශ‍්‍රී ලංකාව වැනි කොමිස් කාක්කන්ගේ පාරාදීසයක මිස වෙනත් රටකදී ලැබේද ?
ඒ සියල්ලටම වඩා මෙම සීනි සේදීමේ ක‍්‍රියාවලිය තුළ සීනි සහිත අපද්‍රව්‍ය ප‍්‍රමාණයක්ද නිපදවෙන බැවින් ඒවා ප‍්‍රයෝජනයට ගන්නා මුවාවෙන් මෙම ආයෝජකයින් එතනෝල් මධ්‍යසාර නිෂ්පාදනයද ආරම්භ කරනු ඇත. එහිදී ඔවුන් අපද්‍රව්‍ය ඵලදායී ලෙස ප‍්‍රයෝජනයට ගැනීම ගැන කථා කළත් ආනයනික සීනි ඍජුව යොදා ගනිමින් මධ්‍යසාර කර්මාන්තය වර්ධනය කිරීමට කටයුතු කරනු ඇත. බදු සහන යටතේ මධ්‍යසාර පෙරීම සීනි සේදීමට හෝ නිපදවීමට වඩා ලාභදායක බවට කිසිදු සැකයක් නැත. ඒ අනුව මේ ආයෝජකයින් ‘එන්නේ මොකාටදැයි’ වටහා ගැනීමට මේ රටේ ජනතාවට අමාරු විය නොහැක.
ඒ සියළු දුෂිත ක‍්‍රියාකාරකම් වල අනර්ථයට අමතරව සීනි සේදීමට ගන්නා රසායනික ද්‍රව්‍යය වරාය ආශ‍්‍රිත මුහුදට මුදාහැරීම නිසා විශාල පාරිසරික විනාශයක්ද සිදුවනු ඇත. එම තත්වය අනාගතයේදී වරායේ ජාත්‍යන්තර පිිළිගැනීමටද නිශේධාත්මකව බලපානු ඇත. කෙසේවෙතත් ලෝකයේ කීර්තිමත් වරායවල් 10ට ඇතුල්වීමේ විභවය සහ වාසනාව සහිත හම්බන්තොට වරායේ ප‍්‍රතිරූපයට ආණ්ඩුව සහ විපක්‍ෂය එකට එක්ව සිදුකොට ඇති අඟතියට සාපේක්‍ෂව බලන විට එම පරිසර විනාශය සුළු දෙයක් ලෙසද වාද කළ හැක.
සිංගප්පූරු ඔත්තුකරුවන්ට සේවය කරන අප රටේ ඉහළම රාජ්‍ය නිලධාරීන් විසින් හම්බන්තොට වරාය ‘පුංචි’ කළාසේම විපක්‍ෂයද කියා සිටින්නේ වතුර යට ගල කැඞීමට නොහැකි නිසා වරාය නාන තටාකයක් කළයුතු බවය. කොළඹ වරායේ ගල් කැඩූ ආකාරය නොදන්නා විපක්‍ෂය රටට හතුරු ප‍්‍රකාශ කරන්නේ බාල ප‍්‍රචාරය ලබාගැනීම සඳහා බව පැහැදිලිව පෙනේ. ආණ්ඩුවක් සහ විපක්‍ෂයක් එකට එක්ව උපාය මාර්ගික වශයෙන් රටකට ඉතාම වැදගත් ව්‍යාපෘතියක් අවතක්සේරු කිරීම පිළිබඳව ලෝකයේ හොඳම උදාහරණය සපයන්නේ හම්බන්තොට වරාය බවට සැකයක් නැත. ඒ නිසාම සීනි සේදීමේ කසල කර්මාන්තය පිළිබඳව විපක්‍ෂය හඬක් නඟනු ඇතැයි සිතිය නොහැක.
ඊට අමතරව මෙම සීනි ලොන්ඩරිය ආරම්භ වී කෙටිකලෙකින් පැලවත්ත සහ සෙවනගල සීනි කර්මාන්තශාලා වැසී යාමටද බොහෝ දුරට ඉඩ ඇත. මේවන විට ඒවා රජයට පවරා ගැනීමෙන් පසුව පවත්වාගෙන යාමේ ගැටළුවකට මුහුණ දීම නිසා රජය මඟින් මො.ටො. එකකට රු. 30,000 ක සහනාධාරයක් ලබාදේ. එම සහනාධාර ප‍්‍රමාණය දෙගුණයක් කළද සීනි ලොන්ඩරිය හමුවේ ඒවාට තරඟ කළ නොහැකි බව පැහැදිලිය. දැනටමත් පැලවත්ත සමාගම උක් වගාකරන භූමි ප‍්‍රමාණය අවම මට්ටමකට සීමා කොට ඇති තත්වයක් තුළ එම සමාගමට හිස එසවීමට ඇති ඉඩ කල සීමා සහිත වේ. මේවන විට සෙවනගල කර්මාන්තශාලාව අඹරන්නේ කුඩා ගොවීන්ගෙන් මිළදී ගන්නා උක් පමණී. සීනි මිල පහත වැටීම සමඟ ගොවියාට ගෙවන මිල අඩුවන බැවින් සෙවනගලද ඉතා කෙටිකාලකින් වැසීයනු ඇත.
සමහර විට රජය දේශපාලන අපවාදයෙන් බේරීම සඳහා බදු ගෙවන මහජනතාවගේ අරමුදල් වලින් සහනාධාර දෙමින් එම කර්මාන්තශාලා කෙටි කලක් පවත්වාගෙන යාමටද ඉඩ ඇත. එසේ වුවහොත් එම සහනාධාරයද සීනි ලොන්ඩරිය පවත්වාගෙන යාම සඳහා ලබාදෙන සහනාධාර ලෙස සැලකිය හැක. එහෙත් මොලේ කළඳක් ඇති ආයෝජකයකු එම තත්වය යටතේ නව සීනි නිෂ්පාදන කර්මාන්තශාලාවක් ආරම්භ කිරීමට ඉදිරිපත් නොවනු ඇත. ඒ අනුව කන්තලේ කර්මාන්තශාලව නැවත පටන් ගැනීමද සිහිනයක් පමණක් බවට පත්වනු ඇත. අක්කර 20,000 ක භූමියක් ප‍්‍රයෝජනයට ගතහැකි කන්තලේ සීනි කර්මාන්තශාලාව නැවත ආරම්භ කළහොත් 10,000 කට අධික රැුකියා අවස්ථා ලබාදිය හැකි අතර රටේ සීනි අවශ්‍යතාවයෙන් 20% නිපදවිය හැක.
කන්තලේ සීනි කර්මාන්තශාලාව නැවත ආරම්භ කිරීම සඳහා ආයෝජනය කළ යුත්තේ රැපියල් මිලියන 3000 ක් පමණී. එනම් දළ වශයෙන් ඩොලර් මිලියන 25 කි. එම මුදල් ප‍්‍රමාණය අප රටේ කඩුවෙල සිට කෙරවල පිටිය දක්වා ඉදිකරන පිට වට රවුම් පාරේ කි.මි. 1/2 (භාගයක්) ඉදිකිරීම සඳහා වැයවන මුදලටත් වඩා අඩු මුදලකි. කෙසේවෙතත් රටේ සමස්ථ සීනි ප‍්‍රමාණය දේශීයව නිෂ්පාදනය කිරීම සඳහා අවශ්‍ය වන්නේ ඩොලර් මිලියන 200 ක ආයෝජනයක් බවට ගනන් බලා ඇත. එනම් එම ප‍්‍රමාණය සීනි සේදීමේ කර්මාන්තශාලාවේ ආයෝජනයටත් වඩා අඩු ප‍්‍රමානයකි. රටේ සීනි නිෂ්පාදන කර්මාන්තය උපාය මාර්ගිකව ස්ථානගත කිරීම පිලිබඳව රජයේ දැක්මට අදාල ඛේදවාචකයේ තරම ඒ තුළින් පැහැදිලි වේ.
බොහෝ විට මෙම සීනි ලොන්ඩරියේ අයිතිවරුවන් සහ දේශීය කොමිස් කාක්කන් ආයෝජනයේ ප‍්‍රමාණය විශාලකොට පෙන්වන්නේ උපාය මාර්ගික පනත යටතේ සහන ලබාගැනීමට විය හැක. එහෙත් සීනි නිපදවීමේ මහා පරිමාන කර්මාන්තශාලාවක් සඳහා ඩොලර් මිලියන 25 ක් වැයවන විට සීනි ලොන්ඩරියක් සඳහා මිලියන 220 ක් වැය වන්නේ කෙසේද? ඒ අනුව සේදීම සඳහා මිලදීගන්නා සීනි තොග හෙවත් අමුද්‍රව්‍යය මිලදී ගැනීම සඳහා වන පිරිවැයද මෙම ඊනියා ආයෝජනයට ඇතුල්කොට ඇති බව පෙනේ.
මේ සියල්ල අනුව පැහැදිලි වන්නේ සීනි ලොන්ඩරිය නැමැති යක්‍ෂ පැටියා උපදින්නේ දේශීය සීනි කර්මාන්තය නමැති මව මරාගෙන බවය. විදේශ ආයෝජන නාමයෙන් රටේ නිෂ්පාදන ආර්ථිකයට සිදුකරන විනාශය පිළිබඳව මේ අවසාන පැයේදී හෝ රජය තේරුම් නොගතහොත් එම වැරදි නිවැරිදි කිරීමට ඔවුනට කිසි දිනෙක ඉඩක් නොලැබෙනු ඇත. එසේම එම වරදේ සාපයෙන් ගැලවීමටද ඉඩක් නොලැබෙනු ඇත. මෙම තත්වය ඉදිරියේ බකතපස් රකින විපක්‍ෂයටද එම සාපයෙන් හරි අඬක් හිමිවනු ඇත.
වෛද්‍ය කේ.එම්. වසන්ත බණ්ඩාර
මහ ලේකම්
දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරය

No comments:

Post a Comment