Translate

Translate

Showing posts with label 'දඹුල්ල මුස්ලිම් පල්ලිය වෙනත් තැනකට'. Show all posts
Showing posts with label 'දඹුල්ල මුස්ලිම් පල්ලිය වෙනත් තැනකට'. Show all posts

Sunday, May 11, 2014

'දඹුල්ල මුස්ලිම් පල්ලිය වෙනත් තැනකට'

දඹුල්ල පූජා නගරයට ඇතුළත් පැරණි මුස්ලිම් පල්ලිය සඳහා සුදුසු වෙනත් ස්ථානයක් ලද හොත් ඒ ගැන සලකා බලන බව එහි පාලක මණ්ඩලය පවසයි.
පාලක මණ්ඩලයේ සභාපති අහමද් ලෙබ්බේ බීබීසී සංදේශය සමඟ සාකච්ඡාවකට එක් වෙමිනුයි එම අදහස පළ කළේ.

දඹුල්ල සහ මාතලේ නගරාධිපතිවරුන් දෙදෙනාත් නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීනුත් මුස්ලිම් පල්ලිය පිහිටි ස්ථානයට බ්‍රහස්පතින්දා ලඟා වූ බව සඳහන් කළ පාලක මණ්ඩලයේ සභාපති අහමද් ලෙබ්බේ, පල්ලිය සඳහා ඉඩම් කීපයක් ඇති බව ඔවුන් දැනුම් දුන් බවයි බීබීසී සංදේශයට ප්‍රකාශ කළේ.කෙසේ වුවද, මුස්ලිම් පල්ලිය වෙනත් ස්ථානයකට ගෙන යනු ලැබීමේ අදහස තවමත් සාකච්ඡා මට්ටමක පවතින බවත් සභාපතිවරයා කියා සිටියි.
එහෙත් එය දැනුම් දීමක් පමණක් වූ බවත් ඔහු කියා සිටියි.

සුදුසු භූමියක්

මුස්ලිම් පල්ලිය පිහිටි භූමියට ලඟා වූ මාතලේ නගරාධිපති මොහමඩ් හිලිමි කරීම් සඳහන් කළේ, පල්ලිය ගෙන යාමට සුදුසු ඉඩමක් ගැන විපරම් කෙරෙමින් ඇති බවයි.
පල්ලියට එරෙහිව
කවර තීරණයක් ගනු ලැබුනත් එය අදාළ පල්ලියේ පාලක මණ්ඩලයේ අනුමැතිය මත ගත යුතුව ඇතැයි සභාපති අහමද් ලෙබ්බේ පෙන්වා දෙයි.
“මේ ගැන තනි තීන්දුවක් ගන්න බැහැ. පාලක මණ්ඩලයේ දාහතර දෙනෙක් ඉන්නවා. ඒ නිසා යෝජනාව පාලක මණ්ඩලයට ඉදිරිපත් කරමිනුයි තීන්දුවක් ගනු ලබන්නේ”පාලක මණ්ඩලයේ සභාපතිවරයා කියා සිටියි.

සාකච්ඡා මට්ටමේ

සාකච්ඡා මගින් නිගමනයකට එළඹිය යුතු බව පිළිගනිමින් මාතලේ නගරාධිපතිවරයාත් පවසන්නේ තවම අවසන් තීන්දුවක් ගෙන නැති බවයි.
“සුදුසු ඉඩමක් ඇති බව කිව්වා. මට ඉඩම් ලැයිස්තුව ලැබේවි. ඊට පස්සේ සාකච්ඡා කර විසඳුමකට එනවා. තවම තීරණයක් අර ගෙන නැහැ” මාතලේ නගරාධිපතිවරයා බීබීසියට ප්‍රකාශ කළේය.
දඹුල්ල මුස්ලිම් පල්ලිය වෙනත් තැනක පිහිටුවනු ලැබීම තම බැතිමතුන්ට බලපාන බව සඳහන් කළ පාලක මණ්ඩලයේ සභාපති අහමද් ලෙබ්බේ, ඒ ගැන වැඩිදුරටත් අදහස් දැක්විය හැකි වන්නේ යෝජිත ස්ථානය ගැන තීන්දුවක් ගනු ලැබීමෙන් පසුව බවයි කියා සිටියේ.