Translate

Translate

Tuesday, May 20, 2014

එහෙයියන් නොවුණාම කාපු බීපු තැන් හොයන්න ආයතනවලට කඩා පනිනවා… චෝගම් බෙන්ස්වලට වුණු දේ… සුදු බණ්ඩාගේ හා පුංචි බණ්ඩාගේ රෙදි ගැලවෙන කතාව..

එහෙයියන් නොවුණාම කාපු බීපු තැන් හොයන්න ආයතනවලට කඩා පනිනවා… චෝගම් බෙන්ස්වලට වුණු දේ… සුදු බණ්ඩාගේ හා පුංචි බණ්ඩාගේ රෙදි ගැලවෙන කතාව..

එහෙයියන් නොවුණාම කාපු බීපු තැන් හොයන්න ආයතනවලට කඩා පනිනවා… චෝගම් බෙන්ස්වලට වුණු දේ… සුදු බණ්ඩාගේ හා පුංචි බණ්ඩාගේ රෙදි ගැලවෙන කතාව..රටට සාමය රැගෙන ආ රණවිරු පරපුරට සැබෑ ලෙස කෘතගුණ සැලකිය හැක්කේ රණවිරු සමරු හා ගුණ කථනවලින් නොවන බවත් එසේ කළ හැක්කේ සාමට ප‍්‍රතිලාභ ලැබෙන නව ආර්ථික මොඩලයකට මේ රට හැරවීමෙන් පමණක් බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක, අමාත්‍ය විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.
පසුගිය 18 වන දා කොළඹ 07 විජේරාම මාවතේ පිහිටි සව්සිරිපාය ශ‍්‍රවණාගාරයේදී ජාතික නිදහස් පෙරමුණ විසින් සංවිධානය කළ රණවිරු සමරු උත්සවයේදී සමරු දේශනය පවත්වමින් විමල් වීරවංශ මහතා මෙසේ පෙන්වා දුන්නේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේද පැවසීය.
‘අද මැයි මාසයේ 18 වැනිදා. මීට පෙර නම් මැයි මාසයේ බොහෝ දෙනකුගේ ජීවිතවලට බලපාන දිනයක් බවට පත්වෙලා තිබුණෙ මැයි මාසයේ 01 වැනිදා. ගම නගරය කියා වෙනසක් නැතිව වැඩ කරන ජනතාවගේ සංවිධාන අති විශාල සංඛ්‍යාවක් තම තමන්ගේ පෙළපාලිවල කොළඹට පැමිණෙනවා. එදා ජාත්‍යන්තර කම්කරු දිනය සමරන දිනය තමයි අපි කාගේත් අවධානය දිනාගත් සුවිශේෂී දිනය බවට පත් වෙලා තිබුණෙ.
නමුත් 2009 වර්ෂයේ මැයි මාසයේදී මෙතෙක් මැයි මාසයන්ට නොතිබුණු වීරත්වයක්, ප‍්‍රතාපවත් බවක්, ඒ ගැන අගයක් නිර්මාණය කරන්න අපේ ආරක්‍ෂක අංශයන්ට හැකි වුණා. සේනාධි නායකයා වශයෙන් අතිගරු ජනාධිපතිතුමාගේ අභීත නායකත්වය, ඒ වගේම ආරක්‍ෂක ලේකම්තුමාගේ දියුණු කළමනාකාරීත්වය යටතේ, ආරක්‍ෂක ප‍්‍රධානීන්ගේ කැපවීම හා රණවිරුවන්ගේ ජීවිත පරිත්‍යාගයෙන් ඒ දැවැන්ත යුදමය ජයග‍්‍රහණය මේ මහපොළොවට උරුම වුණා.
මෑත අතීතයේ මහා සමාජයක් එක්ව පාරමීදම් පිරුවානම් ඒ මේ දිනය උදාකර ගැනීම වෙනුවෙන්. බස් රථ බෝම්බ ඇතුළු වෙනත් ත‍්‍රස්ත ප‍්‍රහාර හේතුවෙන් මියගිය දකුණේ දරුවන්ගේ අම්මලා, ඒ වගේම තමන්ගේ දරුවගේ කරේ බලෙන් සයනයිඞ් කරල එල්ලලා අරන් යද්දි හූල්ලපු උතුරේ අම්මලා ආදී මේ සෑම කෙනෙක්ම එක එක තැන්වල ඉඳගෙන මේ දිනය පිළිබඳ සිහින දුටුවා.
ඒ දිනය උදාකරන්න අපේ රටේ 2005 දී ඓතිහාසික ජනවරමට පුළුවන් වුණා. එදා ඒ ඓතිහාසික ජනවරමෙන් බලාපොරොත්තු වුණේ සාමය. වික‍්‍රමසිංහ මහත්තයා යෝජනා කරපු ආකාරයේ සාමය නොවෙයි. අභීතවත්, ගෞරවාන්විත සාමය. නින්දිත පාවාදීම මගින් උදාවන නිවට සාමය වෙනුවට සතුරාට සෘජුව මුහුණදීම මගින් උදාවන ස්ථිරසාර සාමය. ඒ සාමය උදාවෙන දවස තමයි මෑත ඉතිහාසයේ අපේ රටේ ජනතාව බලාගෙන සිටි දවස. එතෙක් අපට අර ‘ගොඩෝ උන්නැහේ’ එනකන් බලන් ඉන්නවා වගේ හැමදාම ප‍්‍රවෘත්ති බල බලා මියගිය මිනිසුන්ගේ මිනී ගණන් කර කර බිහිසුණු ලෙස මියගිය මිනිසුන්ගේ සිරුරුවල කොටස් දැක දැක ඉන්න වුණා. ඒ විතරක් නොවෙයි අපිට ඒ පිළිබඳ වාර්තා කරන්න බලා ඉන්න මාධ්‍ය ආයතනවල ගොදුරු බවටත් පත්වන්න සිදු වුණා. මේ රටේ පොදු ජනතාව බලාගෙන හිටියෙ මේ දිනය කවදා හෝ ඉතා ඉක්මනින් උදාවෙයි කියලා.
එදා 2005 ජනවරම නිර්මාණය නොවුනා නම් අපට මෙසේ අභිමානවත්ව සමරන්න මැයි 18 වැනිදාවක් නිර්මාණය වෙන්නේ නැහැ. එසේ නම් කුමන හෝ දිනයක් නිර්මාණය වේවි, ජාතියේ හදවත පසාරු කරන, වේදනාවෙන් බරිත කරන දිනයක් තමයි එහෙනම් මේ පොළොවට උරුම වීමට තිබුණේ. එක් රාජ්‍යයක් බිඳ වට්ටා උපන් අනෙක් රාජ්‍යයක උපන්දිනය තමයි එසේ නම් මේ බිමට සැමරීමට නියමිත වෙලා තිබුණෙ. 2005 ඒ ඓතිහාසික ජනවරම නිර්මාණය වූයේ සුපුරුදු රජුන් තනන්නන් එක පැත්තක සිටියදීය. එතෙක් රජුන් නොතනන්නකු ලෙස සිටි ජවිපෙ ඒ ඓතිහාසික ජනවරම නිර්මාණය කිරීමට දායක වුණා. ‘ජනතා විමුක්ති පෙරමුණ රජුන් තනන්නට සම්මාදම් වන පක්‍ෂයක් වශයෙන් නොවෙයිනෙ ඊට පෙර ඉතිහාසයේ සැලකුවේ.
හැමතිස්සෙම බලය එන්නේ කාටද කියලා බලලා ඒ පැත්තට මුක්කුව ගහලා වරදාන දිනාගැනීමේ රජුන් තනන්නන් 2005 ජනවරම නිර්මාණය කරන්න හිටියෙ නැහැනෙ. එතෙක් රජුන් නොතැනූ අය ඒ රජු තනන ව්‍යාපෘතියට 2005 බැස්සා. ඒ 2005 ඓතිහාසික ජනවරම නොලැබූනා නම් අද අපි සමරන්නේ නිදහසේ උපන්දිනය නොවෙයි මව්බිම දෙපළු කොට බිහි වූ නව රාජ්‍යයක උපන්දිනය. එහෙනම් ජාතියට වේදනාකාරීව මතක් කරගන්න වෙන්නේ, ‘අද අපේ රට දෙපළුවූ දවස නේද?’ කියලා. අපට හොඳින් පැහැදිලියි මැයි 18 වැනිදාවක් නිර්මාණ වුණේ 2005 ජනවරම මත පදනම්ව. ඒ නිසා තමයි අපි කියන්නේ 2005 ජනවරම සංතෘප්ත ජනවරමක් කියලා. එය බලාපොරොත්තු වූ මූලික අරමුණු මුදුන්පත් කරගත් ජනවරමක්.
2005 ජනවරම බටහිර රටවල් කුමන අතපෙවීම් කළත් ඒ ගත්තු තීරණය මත ඉදිරියට යනවා විනා ආපසු නොහැරෙන බලවේගයක් නිර්මාණය කළ ජනවරමක්. මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා කොළඹ නාගරික පැලැන්තියේ නිර්මාණයක් නොවෙන නිසාත් ග‍්‍රාමීය ජන සමාජ මූලයන්ගේ නිර්මාණයක් වන නිසාත් ඒ අභියෝගාත්මක හා අවදානම් සහිත කාර්යයට එදා නායකත්වය දුන්නා.
හැබැයි එතුමාට වුණත් 2005 දී බලයට එන්න වෙන බලවේගයක් පෙනුණානම් ඇතැම්විට මේ ඓතිහාසික පිම්ම නොපනින්න තිබුණා. කොහොම වුණත් මේ අවස්ථාවේදී මට මතක්වෙනවා ඉතාම වැදගත් කාරණයක්. ඒ තමයි රිවිරැුස මෙහෙයුම. 1995 දෙසැම්බර් මාසයේදී මගේ මතකය අනුව එදා අපේ ආරක්‍ෂක හමුදාව යාපනය ඇල්ලූවා. ඒක එදා දැවැන්ත ජයග‍්‍රහණයක්. මට මතකයි දිවංගත රත්වත්තේ මහතා ‘සපුමල් කුමාරයා’ වශයෙන් භෞතීස්ම කරනු ලැබුවා ඒ රිවිරැුස මෙහෙයුමෙන් පසුව.
ඊළගට ආරක්‍ෂක හමුදා සැලසුම් කළා යාපනය අල්ලලා තනියෙන් තියාගන්නවාට වඩා ඉන් ඉදිරියට යන්න. ඔවුන් හිතුවා ඒ 9 මාර්ගය අල්ලන්න. ඒ වැඬේ කරන්න ආරක්‍ෂක හමුදාව තක්සේරු කළා 50,000ක් තරුණයො අඩුම තරමින් හමුදාවට බැඳෙන්න  ඕනෙ කියලා. ඔබටත් මතක ඇති ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමෙන් ශබ්දවිකාශන යන්ත‍්‍ර බැඳගෙන ගමින් ගමට ගියා. ‘ඉදිරියටම යව් හෙළයිනි ඉදිරියටම යව්’ වැනි පැරණි ගීත තැටි වාදනය කරමින් තමයි ගමට ගියේ. ඒ ශබ්ද විකාශන යන්ත‍්‍ර ගමට ගියාට ඒවා මේ කුරුඳුවත්ත පැත්තේ කොහෙවත් ගියෙ නැහැ. එහෙම ගමට ගියේ අර 50,000 හොයා ගෙන. හැබැයි එච්චර විශාල ප‍්‍රචාරක ව්‍යාපාරයක් කළත් එදා හමුදාවට අලූතින් බැඳුනේ 6000යි.
එහෙත් 2005 ජන වරමෙන් පසු ජාතික බලවේගයන්ගේ තිබූ ඒකායන, නොපසුබස්නා අරමුණත් මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමාගෙන් ලැබුණු අභීත නායකත්වයත් නිසා ආරක්‍ෂක හමුදාවට මේ යුද්ධය ආරම්භ කළාට පසු ඒ කියන්නේ මාවිල්ආරු සොරොව්ව විවෘත කරන සටන පටන්ගත්තාට පස්සෙ, 2008 අග කිලිනොච්චි අල්ලනකොට එක්ලක්‍ෂ හැත්තෑපන්දහසකට වඩා අලූතින් තරුණයන් හමුදාවට බැඳිලා තිබුණා. ශබ්ද විකාශන යන්ත‍්‍ර බැඳගෙන ගමේ නොගියත් ඒ එක්ලක්‍ෂ හැත්තෑපන්දහස බැඳිලා තිබුණෙ. එයට රූපවාහිනිය හරහා විකාශය වූ රණවිරුවන් උත්තේජනය කරන ප‍්‍රචාරක ව්‍යාපාරය රුකුලක් වෙන්න පුළුවන්. නමුත් ඒ ඔක්කෝටම වඩා ප‍්‍රබල සාධකය තමයි මෙතන තිබුණු ජාතික බලවේගයන් මතින් ගොඩනැ`ගුණු දැවැන්ත විශ්වාසය. එදා 1995 රිවිරැුස මෙහෙයුමෙන් යාපනය අල්ලලා 50,000ක් හමුදාවට බඳවගන්න ගියා. ඒ අස්සෙන් ‘තවලමයි’, ‘සුදුනෙළුමයි’ ගියා, ‘තවලමයි, සුදුනෙළුමයි’ ඇන්ජින් එක, එක පැත්තකට යනවා. යුද්දෙ ඇන්ජින් එක තව පැත්තකට යනවා. එහෙම තියාගෙන 50,000ක් හොයනවා, 50,000ක් හොයපු හමුදාවට 6000ක් බැඳෙනවා. ඒ අනුව පැහැදිලියි, මේ පරස්පරය 2005 ජන වරමත් එක්ක මේ ආණ්ඩුව ඇතුළේ නිර්මාණය කරන්න බැරිවුණා. ඒකට හේතුව ජාතික බලවේගයන්ගේ දැවැන්ත බලපෑම් සහගත භූමිකාවත් ඒ ක‍්‍රියාදාමය ඇතුළේ තිබුණා. ඒ නිසා පරස්පර විරෝධයක් තිබුණෙ නැහැ. මේ රටේ දරුවන්ට පෙනුනා මේ පාර මේ වැඬේ කරන්නෙ ඉවර කරන්න කියලා. ඒ විශ්වාසය ඔවුන්ට තිබුණා. දැවැන්ත මානසික සංග‍්‍රාමයක් දියත් කරන්න පුළුවන්කම තිබුණා, ජාතික බලවේගයන්ගේ ශක්තිය මතින්. ඒ සියල්ලේ ප‍්‍රතිඵලය වුණේ එක්ලක්‍ෂ අනූපන්දහසක්(195,000) කිලිනොච්චිය අල්ලලා ඉවරවෙනකොට හමුදාවට බැඳීම. සමහර විට ආරක්‍ෂක අංශ ප‍්‍රධානීන් පවා බලාපොරොත්තු නොවෙන්නැති එතරම් තරුණ සහභාගීත්වයක් යුද්ධය සඳහා ලැබෙයි කියලා. මේ අලූතින් බැඳුණු 19,5000 අතර සිටි තරුණයා තමයි බොහෝ වෙලාවට යුද්ධයේ ඉදිරියෙන්ම ගියේ. අන්තිම සටන යනකොට වලලා තිබුණු බිම්බෝම්බ නිශ්ක‍්‍රීය කරන්න වෙනත් ක‍්‍රමයක් නැතිකොට ඒවා නිශ්ක‍්‍රීය කරන්න තමන්ගේ ජීවිතය පරදුවට තියලා බෝම්බ පිපිරෙන බව අතපය නැතිවෙන බව දැන දැන තමයි ඒ තරුණ හමුදා සොල්දාදුවන් ඉදිරියට ගියේ.
මේ අය කුමන පවුල් සබඳතාවන් නියෝජනය කරන සමාජයක දරුවන්ද? කුමන සමාජ ස්වරූපයක්ද, ඔවුන් දෙස බැලූවාම පෙනෙන්නේ. අද අපි මේ සමරන, ගෞරවයෙන් සිහිපත්කරන, විනාඩි දෙකක් නොවෙයි දවස් 365ම හිටගෙන හිටියත් සමරා අවසන් කිරීමට නොහැකි, අද අපි සමරන සාමය නිර්මාණය කරන්න ලේ, කඳුළු, දහදිය පමණක් නොවෙයි ජීවිතය පවා පූජා කරපු ඒ වීරයා මේ රටේ සාමාන්‍ය අම්ම තාත්තගේ දරුවෙක්. මැද පන්තියෙ දරුවෙක්. පහළ මැද පන්තියෙ දරුවෙක්. අඩු ආදායම්ලාභී ග‍්‍රාමීය පවුල්වල දරුවෙක්. ඒ දරුවො තමයි මේ බරට කරගැහුවෙ. ඒ දෙමව්පියො තමයි මේ දරුවන්ව හමුදාවට එව්වෙ. ඒ දෙමව්පියො තමයි ලොකු පුතාව හමුදාවට යවලා කටුමැටි ගහපු බිත්තියෙ උඩින් ඔසවලා තියෙන බුදුපිළිමෙට පහන පත්තුකරලා හැමදාම උදේටයි, හැන්දෑවටයි, ‘අනේ මගේ පුතාගෙ ජීවිතය ආරක්‍ෂා කරලා දෙන්න කියලා’ කිව්වේ. ඒ රෙද්දයි හැට්ටෙයි ඇන්ද ග‍්‍රාමීය අම්මා. කුඹුරෙ වැඩ කළ ග‍්‍රාමීය තාත්තා, ඒ අය මේ සමාජයේ ආර්ථික සැකැස්මේ පරිධියේ ජීවත්වන මිනිස්සු. ඒ අය මේ ගලායන මහා ප‍්‍රාග්ධන ගංගාවෙන් බොහොම ‘සොච්චමක්’ භුක්තිවිඳින මිනිස්සු. අසම්පූර්ණ ගෙදරක් තියෙන මිනිස්සු. ගෙදරට තව කාමරයක් දෙකක් ගොඩනැ`ගීමේ හීනයත් එක්ක ජීවත්වෙන මිනිස්සු. වැස්ස වැස්සොත් බඩගින්න නිවාගන්න පුළුවන් මිනිස්සු. වැස්ස නොලැබුනොත් ජීවිතයේ අවිනිශ්චිතභාවය දෝතපුරා බදාගෙන ජීවත්වෙන්න හුරුවුණු. මිනිස්සු. ඒ නිසා අද අපි සමරන අතිමහත් බහුතරයක් වීරයො මේ රටේ සාමාන්‍ය දුගී දුප්පත් සාමාන්‍ය අම්ම තාත්තගෙ දරුවො. එහෙම නැතිනම් පහළ මැද පන්තියෙ සමාජවල දරුවො. ඒ අය තමයි ජාතිය වෙනුවෙන් මේ මහා අභියෝගය භාරගත්තෙ.
එදා 1995 ‘තවලමයි, සුදු නෙළුමයි’ චිත‍්‍රපටය පෙන්නන ගමන් ‘රිවිරැස’ චිත‍්‍රපටය පෙන්නුවාට මේ දරුවො ගියේ නැහැ. එදා 1995 තවලම් යනකොට ඒ 9 අල්ලන්න එන්න කිව්වාට මේ දරුවො ආවෙ නැහැ. හැබැයි 2005 මහා ජාතික බලවේගයක පූජනීය මැදිහත්වීමෙන්, දායකත්වයෙන්, පුරෝගාමීත්වයෙන් නව්‍යතම ජනවරමක් නිර්මාණය කරන්න පුළුවන් වුණු නිසා ඒ ජාතික බලවේගයන් සමග පැමිණි මේ ගමනේ පරස්පර විරෝධයක් නොවූ නිසා මහා දැවැන්ත ආකාරයට මේ දරුවෝ හමුදාවට එකතු වුණා. එතනින් පෙනෙනවා ඒ ජනවරමේ විශේෂතාවයේ වෙනස. මෑත ඉතිහාසයේ ජාතික බලවේගයන් හරියට අතගහපු ප‍්‍රමුඛතම ජනවරම වශයෙන් මේක අපට හඳුන්වන්න පුළුවන්. ඒ නිසා තමයි අප වෙනුවෙන් ජීවිත පූජා කළ මහා මානව පරපුර ජීවත් වූ ප‍්‍රදේශ, ඒ පරපුර ජීවත් වූ පවුල්, ඒ පරපුර ජීවත් වූ ගම පුබුදුවන ආකාරයෙන් මේ රට ගොඩනැගීමේ වගකීමක් අපට තියෙන්නේ.
ඔවුන් වෙනුවෙන් පවත්වන සමරු උත්සවවලින්වත් ඔවුන්ගේ ක‍්‍රියාවන් අගය කරමින් පවත්වන කතාවලින්වත් නොවෙයි අපි ඔවුන්ට යුතුකම නියම ආකාරයෙන් ඉටුකළා වෙන්නේ. ඒ ගම්බදව මේ සටන කරන්නට දිරිදුන් මැද පන්තියෙ, පහළ මැද පන්තියේ ඒ මහා මනාව සම්පත කෙරෙහි කෙලින්ම ප‍්‍රතිලාභ ගලාගෙන යන ආකාරයේ ආර්ථික පරිවර්තනයකට, සමාජ ආර්ථික නව මාදිලියකට මේ රට හැරවීමෙන් පමණයි ඔවුන් වෙනුවෙන් අපේ කෘතවේදීත්වය අපි නියම ආකාරයෙන් පළ කළා වෙන්නේ.
මේ විෂම චක‍්‍රයෙන් අපි දැන්වත් එළියට ආ යුතුයි. ඒක පුද්ගල ආදායම ඩොලර් 4000 වීමේ සිහිනය සහ ආර්ථික වර්ධන වේගය අතින් චීනය අභිබවා යෑමේ සිහිනය යන සිහින පසුපස හඹා ගෙන යාමද අපේ ගමන විය යුත්තේ? මෙයට අපි පිළිතුරු සෙවිය යුතුයි. මෙයට පිළිතුරු සෙවීම අපේ කාර්යයක් පමණක් නොවෙයි. එය, ආසියානු සංවර්ධන බැංකුව ඇතුළු ජාත්‍යන්තර මූල්‍ය ආයතනවලට පහන අල්ලන, ඒවායේ න්‍යාය පත‍්‍ර ක‍්‍රියාත්මක කරන, මෙහෙන් විශ‍්‍රාම ගන්න කොට ඒවායේ රැකියාවක් ලබා ගැනීමට පොට පාදා ගන්න අය වෙනුවට, මේ ක්‍ෂේත‍්‍රයේ සිටින ජාතික බුද්ධිමතුන්ගේද කාර්යයක් වෙනවා. මේ රටේ මුල්වලින් ගැලවුණේ නැති, ජාතික අධ්‍යාත්මයක් සහිත විද්වතුන්, ආර්ථික විශේෂඥයන් සැවොම අද මේ සාකච්ඡවට අවතීර්ණ විය යුතුයි.
රට බේරා ගැනීම ජාතික බලවේගවල න්‍යාය පත‍්‍රයක් අනුව සිදු වූවත් රට ගොඩනැගීම ජාත්‍යන්තර මූල්‍ය ආයතනවල න්‍යාය පත‍්‍රයක් අනුවයි සිදු වෙමින් තිබෙන්නේ. එම තත්ත්වය වෙනස් විය යුතුයි. ඒ පිළිබඳව සංවාදයක් ඇති විය යුතුයි. පුළුල් සංවාදයක් තුළින් ‘අපේ ආර්ථික ගමන කුමක් විය යුතුද?’ යන පැනයට පිළිතුරු සොයාගත යුතුයි.
‘යටිතල පහසුකම් එපා’ කියා අප පවසන්නේ නැහැ. නමුත් ඒ සමග ‘කර්මාන්ත පුබුදුවන, නිෂ්පාදනයට දිරි දෙන ආර්ථික ගමනක්’ මේ රටට අවශ්‍යයි. නව උපායමාර්ගික දැක්මක් සහිතව මේ රටේ ආර්ථික ගමන වෙනස් කිරීමට කඩිනම් පියවර නොගත්තොත් ඉදිරියේදී විශාල අර්බුදයකට මුහුණ දීමට සිදු වෙනවා. ණය බර අද 80%යි. රාජ්‍ය ආදායම දිනෙන් දින අඩු වෙමින් පවතිනවා. රාජ්‍ය සේවකයන්ගේ වැටුප් බිලෙන් කොටසක් ගෙවන්නෙත් විදේශ ණය ලබාගෙන. ඒ නිසා මේ තත්ත්වය කළමනාකරණය කර ගත නොහැකි තත්ත්වයක් ඉදිරියේදී ඇති වේවි. ඒ නිසා නව ආර්ථික මොඩලයකින් ගම සහ නගරය පුබුදුවන වැඩපිළිවෙළකට, ගමනකට අපි කඩිනමින් අවතීර්ණ විය යුතුව තිබෙනවා.
දේශීය හා විදේශීය වශයෙන් ලබා ගන්නා ප‍්‍රාග්ධන අරමුදල්වලින් සාධාරණ ප‍්‍රතිශතයක්, වෙළඳපොළට ඉදිරිපත් කරන භාණ්ඩ නිෂ්පාදන කර්මාන්ත සඳහා යෙදවීමට අපට හැකි විය යුතුයි. රජයට මේ සඳහා සෘජුව ආයෝජනය කළ හැකියි. එසේම පෞද්ගලික අංශයේ නිෂ්පාදකයා බදු සහන, සහන මිලට ඉඩම් ආදී දිරි දීම් යටතේ මෙවැනි කර්මාන්ත සඳහා යොමු කළ හැකියි. කෘෂිකාර්මික ග‍්‍රාමීය බලවේගය සහ නාගරික කළමනාකරණ හා අනෙකුත් දැනුම් පද්ධති එකට එකතුකර ගෙන කාර්මික නිෂ්පාදන හා අනෙකුත් භාණ්ඩ නිපදවන ආර්ථික පරිවර්තනයකට අපි යොමු විය යුතුයි.
චෝගම් සමුළුව සඳහා ගෙන් වූ බෙන්ස් රථවලට සිදු වූ දේ බලන්න. රජය ඒවා ණයවර ලිපි විවෘත කරලයි ගෙනාවේ. ඒවා නැවත විකිණීම සඳහා බෙන්ස් සමාගමේ දේශීය නියෝජිත සමාගමට ලබා දී තිබෙනවා. මුලින් රුපියල් ලක්‍ෂ 300ක මිලකට එම රථයක් විකුණා දීමට එම සමාගම එකඟ වුවත් අවසානයේ ඒවා මිලදී ගැනීමට ගිය පිරිස්වලට එම සමාගම පවසා ඇත්තේ, ‘හමුදා රියදුරන් තමයි මේවා පාවිච්චි කළේ. මේවා වටින්නේ රුපියල් ලක්‍ෂ 250යි’ කියායි. එහෙම ලක්‍ෂ 250ක මිලක් නියම කරගෙන තිබුණත් සාමාන්‍ය ගැනුම්කරුවන්ට ඒවා අලෙවි කිරීමටද එම සමාගම කටයුතු කර නැහැ. ‘අපි ඒ බෙන්ස් රථ අපේ සුපුරුදු පාරිභෝගිකයන්ට විකුණා අවසන්’ කියලයි ඔවුන් සාමාන්‍ය ගැනුම්කරුවන්ට පවසා තිබුණේ.
චෝගම් සමුළුවට බෙන්ස් අවශ්‍ය නම් ඒවා ගෙන ඒම රටේ ආරිථිකයකට වාසිදායක ලෙස සිදු කළ හැකිව තිබුණා. මුලින් පුවත්පත් දැන්වීමක් මගින් දැනුම් දෙනවා, ‘බෙන්ස් රථ ගෙන්වීම සඳහා බදු සහන දෙනවා. එම බදු සහනය වෙනුවෙන් මාසයක කාලයක් එම රථ චෝගම් සමුළුව සඳහා යොදා ගන්නවා’ කියලා. කැමති වන අයට එසේ බදු සහන දීලා අවශ්‍ය බෙන්ස් රථ ප‍්‍රමාණය ගෙන්වා ගන්න තිබුණා. මේ රටේ එහෙම බෙන්ස් රථ මිලදී ගන්න හැකියාව තිබෙන අය ඉන්නවානේ. ඒකනේ මේ චෝගම් සමුළුවේ පාවිච්චි කරපු බෙන්ස් මිලදී ගන්න පිරිසක් ආවේ. ඒ ඉල්ලූම සපුරන්නත් බැරි වුණානේ. අපි මේ ගැන දැන ගත්තේ බැංකුවට මුදල් ගෙවලත් මේ ‘චෝගම් බෙන්ස්’ ලබා ගන්න බැරි වුණු පිරිස් අපටත් ඒ ගැන දැනුම් දීලා, අපෙන් සධාරණ මැදිහත්වීමක් ඉල්ලපු නිසයි. මේ බෙන්ස් රථ ගෙන්වීම, විපක්‍ෂයට හොඳ ‘කටගැස්මක්’ වුණා. ආණ්ඩුව රුපියල් ලක්‍ෂ 300කට මිල නියම කරන්නේ මුදල පියවා ගන්නනේ. නමුත් රුපියල් ලක්‍ෂ 250කට විකුණලා පාඩුත් විඳලා, අහන්න  ඕන සියලූ කතා අහලා, අවසානයේ දැන් මේ බෙන්ස් රථ පාවිච්චි කරන්නේ කවුද? රජයේ අය නොවෙයිනේ. මම මේ කතාව මෙතැනදී පැවසුවේ, ආර්ථිකය මෙහෙයවන අයට මේ විදියට එක එක ‘පීලි පන්නවන්න’ පුළුවන් කියලා පෙන්වන්න. ආර්ථිකය මෙහෙයවන අයට පුළුවන්, ආණ්ඩුවට ජනතාවගෙන් බැනුම් අහන්නේ නැතිව කරන්න පුළුවන් දේවල්වලට, බැනුම් අහන්න සිදු වන විදියට වැඩ හදන්න.
තවත් එවැනි උදාහරණ කිහිපයක් පෙන්වා දිය හැකියි, විශ‍්‍රාම වැටුප් පනත හැදුවේ මුදල් අමාත්‍යාංශයෙන්. හරි නම් ඒක හදන්න  ඕනෙ කම්කරු අමාත්‍යාංශයෙන්. කම්කරුවාගේ නාඩි දන්න කම්කරු අමාත්‍යාංශයයි ඒ වාඬේ කළ යුතුව තිබුණේ. පසුගිය දිනවල හෙද – පවුල් සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති අතර ගැටුමක් හට ගත්තානේ. එතැනදී ‘හෙදියද, පවුල් සෞඛ්‍ය සේවිකාවද දරුවා මව් කුසයෙන් එළියට ගන්නේ?’ කියන ප‍්‍රශ්නය තිබුණානේ. එවැනි ප‍්‍රශ්නයක් සෞඛ්‍ය අමාත්‍යවරයා හෝ අමාත්‍යාංශ ලේකම්වරයා තින්දු කළ යුතුයි. නමුත් හෙද වෘත්තීය සමිති නායකයකු වන පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි ඒ ප‍්‍රශ්නය පිළිබඳ සාකච්ඡ කිරීමට ගොස් තිබුණේ මුදල් අමාත්‍යාංශයේ ලේකම් වෙතයි. මම ඒ ගරුතර ස්වාමීන් වහන්සේට වරදක් කියන්නේ නැහැ. නමුත් දැන් ‘දරුවා ගන්නේ කවුද?’ කියන එක තීරණය කරන්නේ මුදල් අමාත්‍යාංශයේ ලේකම්.
එක අවස්ථාවක වාහන ගෙන්වීමේදී අය කරන බදු විශාල ලෙස අඩු කළා. ඒ අනුව බොහෝ දෙනෙක් වාහන මිලදී ගන්න පෙළඹුණා. ඒ අතරේ එකවරම මේ බදු ඉහළ දැම්මා. වාහන ගෙන්වීමේ ව්‍යාපාර ඒ සමග කඩා වැටුණා. වාහන ගෙන්වීම් අඩු වුණා. රජයට ලැබුණු බදු ආදායම අඩු වුණා. වාහන තදබදය අඩු කිරීමට කියමින් තමයි මේ බදු ඉහළ දැමුවේ. නමුත් එහෙම වුණෙත් නැහැ. රජයේ විධායක නිලධාරීන් ඇතුළු පිරිස්වලට වාහන ගෙන්වීමේ බලපත‍්‍ර ලබා දීම නිසා අර වගේම වාහන තොගයක් ලංකාවට ආවා. බලපත‍්‍රයක් තියන එකෙන් දෙන්නෙත් බදු සහනයක්නේ. ඒ නිසා ඒකෙන් වුණෙත් රජයට ලැබෙන්න තිබුණු ආදායම අඩු වීම විතරයි. ලංකාවේ මාර්ගවලට දරා ගන්න බැරි තරම් වාහන තිබෙන නිසා මෙවැනි තීරණයක් ගත්තා කිව්වාට අවසානයේදී සිදු වුණේ රජයට ලැබිය යුතුව තිබූ ආදායමත් අඩු වී වාහන තදබදය වැඩි වීම පමණයි. මේ සියල්ල දෙස හොඳින් බලන්න. රට ගොඩනැ`ගීමේ අරමුණකින් නොවෙයි, මේ ආර්ථික න්‍යාය පත‍්‍රය අද ක‍්‍රියාත්මක වන්නේ.
රටට සුදුසු කර්මාන්ත හැදීම මේ න්‍යාය පත‍්‍රය තුළ නැහැ. අපි පරිභෝජනය කරන විදේශ රටවලින් ගෙන්වන පරිභෝජන ද්‍රව්‍ය ටිකවත් නිපදවීමේ වැඩපිළිවෙළක් නැහැ. අවුරුද්දකට ඩොලර් මිලියන 1304ක් අපි ආහාරපාන ගෙන්වීම සඳහා පිටරටට යවනවා. සීනි සහ රසකැවිලි සඳහා ඩොලර් මිලියන 346, කිරි නිෂ්පාදන සඳහා ඩොලර් මිලියන 307, රසායනික නිෂ්පාදිත වෙනුවෙන් ඩොලර් මිලියන 669, පොහොර වෙනුවෙන් ඩොලර් මිලියන 311 ආදී වශයෙන් වැය කරනවා. පුල්මුඬේ ඛනිජ වැලි නිධිවල ටයිටේනියම් වැනි වටිනා ලෝහ වර්ග තිබෙනවා. අපි ඛනිජ වැලි විදියට ඒවා හාරපු ගමන් පිටරට යවනවා. නමුත් ඒ ආශ‍්‍රිත කර්මාන්තශාලා කිහිපයක් ඇති කළොත් අතුරු ඵලයක් විදියට පොහොර ලබා ගත හැකියි. ඒ මගින් පොහොර සමාගම්වල මේ ඒකාධිකාරය කැඩිය හැකියි. එහෙම සැලසුම් මේ වත්මන් ආර්ථික න්‍යාය පත‍්‍රය තුළ නැහැ.
සීනි සහ රසකැවිලි ආනයනය සඳහා වැය කරන ඩොලර් මිලියන 346 මේ රට තුළ ඉතිරි කර ගන්නේ කවර වර්ෂයේ සිටද, කියන සැලසුම මේ ආර්ථික න්‍යාය පත‍්‍රය තුළ නැහැ. කිරි නිෂ්පාදන ගෙන්වීම නිසා ඩොලර් මිලියන 307ක් එළියට යනවා. මේ රටට කිරිපිටි ගෙන්වන බහුජාතික කිරිපිටි සමාගම් කටයුතු කරන ආකාරය දිහා බලන්න. පසුගිය කාලයේ ඔවුන් ගෙන්වන කිරිපිටිවල ගුණාත්මකභාවය පිළිබඳව ප‍්‍රශ්න ඇති වුණා. ඒ නිසා ඔවුන්ගේ කිරිපිටිවල අලෙවිය පහත වැටුණා. ඔවුන්ට පාඩු සිදු වුණා. ඔවුන් ඒ පාඩුව පියවා ගත්තේ කොහොමද? මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් ඔවුන් ජනාධිපතිතුමා හමු වීමට රැුගෙන ගියා. වෙළඳ හා පාරිභෝගික කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීනුත් මේ සාකච්ඡුාව සඳහා ගියාද, කියා මම දන්නේ නැහැ. කොහොම වුණත් මේ බහුජාතික සමාගම්කරුවන් පැවසුවේ, ‘ලෝක වෙළඳපොළේ කිරිපිටි මිල ඉහළ ගොස් ඇති නිසා කිරිපිටි මිල ඉහළ දැමීමට ඉඩ දෙන්න’ කියලයි. ඔවුන් ඉහළ ගිය ගණන විදියට පෙන්වා දී ඇත්තේ ඊට වසරකට පමණ ඉහතදී ලෝක වෙළඳපොළේ කිරිපිටි මිල ඉහළ ගිය ගණනයි. එය විශාල මිල ඉහළ යාමක් නොවෙයි. ඒක පෙන්වලා තමයි මිල ඉහළ දමා ගත්තේ. මිල ඉහළ දැමීමට ඉඩ දීම විතරක් නොවෙයි, ගෙන්වන කිරිපිටි කිලෝවට රුපියල් 57ක බදු සහනයක්ද ආණ්ඩුව කිරිපිටි සමාගම්වලට ලබා දුන්නා.
කිරිපිටි කිලෝවක මිල රුපියල් 152කින් ඉහළ දැමීමට ඉඩ දීම නිසා ඉහත කී බහුජාතික කිරිපිටි සමාගම් මේ රටේ පාරිභෝගිකයාගෙන් රුපියල් මිලියන 15,000ක් ගසා කෑවා. රජයට අය විය යුතු බදු මුදල් රුපියල් මිලියන 5000ක් ගසා කෑවා. දැන් ලෝක වෙළඳපොළේ කිරිපිටි මිල 20%කින් පමණ පහත වැටිලා. අද මේ මුදල් අමාත්‍යාංශ නිලධාරීන් බහුජාතික කිරිපිටි සමාගම්කරුවන් ජනාධිපතිතුමා ළ`ගට රැුගෙන යනවාද, ලෝක වෙළඳපොළේ කිරිපිටි මිල අඩුවීමේ සහනය ජනතාවට ලබා දීම ගැන සාකච්ඡුා කිරීමට. දැන් යළි බදු ගැසිය යුතුයි. එසේම පාරිභෝගිකයාට සහන ලබා දිය යුතුයි. ආනයනික කිරිපිටි සඳහා බදු ගැසීමෙන් තමයි දේශීය කිරිපිටි නිෂ්පාදනය න`ගා සිටුවිය හැක්කේ. අද දේශීය කිරිපිටි නිෂ්පාදන හා ඒ ආශ‍්‍රිත කර්මාන්ත ශාලාවල යම් පිබිදීමක් ඇති වී තිබෙනවා. එය තවදුරටත් වර්ධනය කර ගත යුතුයි. දේශීය කිරි නිෂ්පාදකයා ධෛර්යවත් කරන වැඩපිළිවෙළක් වත්මන් ආර්ථික න්‍යාය පත‍්‍රය තුළ නැහැ. ‘පැකර්ට’ බදු සහන දෙන්න කතා කළාට පැල්වත්ත වැනි කිරි ආශ‍්‍රිත දේශීය කර්මාන්ත න`ගා සිටුවීම ගැන කතාබහක් නැහැ.
සීනි සහ රසකැවිලි වෙනුවෙන් වැඩ කරන ඩොලර් මිලියන 346 මේ රටේ ඉතිරි කර ගන්න බැරිද? කන්තලේ සීනි කර්මාන්ත ශාලාවට අක්කර 20,000ක් අයත්. පවුල් 10,000ක් එමගින් නඩත්තු කළ හැකියි. කොටියා ගහද්දිත් එම කර්මාන්ත ශාලාව දාලා නොගිය පිරිසක් එතැන ඉන්නවා. ඒ පිරිස අපි රැක ගත යුතුයි. නමුත් ඒ උක් වගා අක්කර 20,000 තවම මුඩු බිමක්. මේ සීනි කර්මාන්ත ශාලාව නැවත පටන් ගැනීමට වැය වන්නේ රුපියල් මිලියන 3000ක් පමණයි. මේ මුදල කෙරවලපිටිය දක්වා යන පිටත වටරවුම් අධිවේගී මාර්ගයේ කිලෝ මීටර් 1/2ක් ඉදිකිරීමට යන මුදලට සමානයි. ‘සීනි කර්මාන්ත ශාලාව නැවත විවෘත කිරීමට වැඩපිළිවෙළක් නැත, ඒ හරහා යන අධිවේගී මාර්ගය පමණක් ඉදි වී ඇත.’ මේකෙන් නැවත වතාවක් පැහැදිලි වෙන්නේ යම් විකෘති ආර්ථික න්‍යාය පත‍්‍රයක් ක‍්‍රියාත්මක වන බව නොවේද? මේ විකෘතිය, ප‍්‍රකෘති කළ යුතු නැද්ද? කන්තලේ සීනි කර්මාන්ත ශාලාව නවීකරණය කිරීම තිබියදී දැන් හම්බන්තොට වරාය ආශ‍්‍රිතව සීනි, ශුද්ධ කිරීමේ කර්මාන්ත ශාලාවක් ඉදි කිරීමට ඉඩ ලබා දී තිබෙනවා. ඩොලර් මිලියන 220ක ඉන්දීය ආයෝජනයක් විදියට තමයි මේක එන්නේ. අවසානයේදී හම්බන්තොට හැදුවේ ප‍්‍රතිඅපනයන වරායක්නේ. ඒකට ගැලපෙන ව්‍යාපෘතියක් විදියට තමයි මේ ‘සීනි ශුද්ධ කිරීම’ ඇවිත් තියෙන්නේ.
හම්බන්තොට වරාය ‘මහා යෝධයෙක්’ වීමට හැකියාව තිබූ වරායක්. අද මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා කුමන්ත‍්‍රණකාරී විදියට ඒක ‘අඟුටුමිට්ටකු’ බවට පත් කර තිබෙනවා. විපක්‍ෂය මොන විහිළු සැපයූවත් හම්බන්තොට වරාය ලෝකයේ හොඳම වරාය 10ට ඇතුළත් වීමට හැකියාව ඇති එකක්. ඒ වරායේ වැදගත්කම ආරියශීල වික‍්‍රමනායක මහතා වැනි ඒ ක්‍ෂේත‍්‍රයට අදාළ විශේෂඥයන් විසින් මීට බොහෝ කලකට පෙර පෙන්වා දී තිබුණා.
ජනාධිපතිතුමන් හම්බන්තොට වීමත් මේ වරාය හැදෙන්න යම් බලපෑමක් වෙන්න ඇති. චීන ණය ආධාර යටතේ සිදු කරන ආයෝජන ව්‍යාපෘති පිළිබඳව සාකච්ඡුාවකට යෑමට ප‍්‍රථම ජනාධිපතිතුමන් පී.බී. හෙවත් පුංචි බණ්ඩා ඇතුළු මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් දී තිබුණා. මේ ආයෝජන ව්‍යාපෘති අතරට හම්බන්තොට වරායත් ඇතුළත් කරලා අවශ්‍ය වාර්තා සකස් කරන්න කියලා. මුලින්ම පැවතුණේ නිලධාරීන් සමග සාකච්ඡුාවක්. ඊළ`ග දිනයේ තමයි චීන ජනාධිපතිතුමන් සමග සාකච්ඡුාව පැවැත්වීමට නියමිතව තිබුණේ. ජනාධිපතිතුමන් නිලධාරීන් සමග සාකච්ඡ ආරම්භ කරමින් අර පුංචි බණ්ඩා හදපු වාර්තාව බැලූවාම තමයි දැක්කේ, ‘මේ ආයෝජන ව්‍යාපෘති අතර හම්බන්තොට වරාය නැහැ’ කියලා. ‘පුංචි බණ්ඩා තම වාර්තාවෙන් හම්බන්තොට වරාය හලා ඇත’ කියලා. වෙන දෙයක් හැංගුවා නම් ජනාධිපතිතුමා නිහඩව සිටීමටත් තිබුණා. මේ ව්‍යාපෘතිය ජනාධිපතිතුමාගේ ඡුන්ද බල ප‍්‍රදේශයේ, උපන් ගමේ පිහිටා තිබුණේ. එනිසා එතුමා වඩාත් කලබල වුණා. මේ ගැන විමසා බැලූවා. ඊට පසුව පුංචි බණ්ඩා මේ ව්‍යාපෘතියත් ඇතුළත් කළත් චීනය ‘ගහෙන් ගෙඩි එනවා’ වගේ මේ ව්‍යාපෘතියට අනුමැතිය දීමට එකග වුණේ නැහැ. ඒ නිසා ශ‍්‍රී ලංකාවේ ජනාධිපතිතුමන්ට සිදු වුණා, චීන ජනාධිපතිතුමන්ගෙන් විශේෂ ඉල්ලීමක් කරලා මේ ව්‍යාපෘතිය චීන ණය ආධාර යටතේ සිදු කරන ආයෝජන ව්‍යාපෘති අතරට එකතු කර ගන්න. චීන – ශ‍්‍රී ලංකා මිතුදමේ ප‍්‍රතිඵලයක් විදියට ඒ අනුමැතිය ලැබුණත් පුංචි බණ්ඩා හැදුවේ ‘හම්බන්තොට වරාය’ වාෂ්ප කරන්න. නමුත් ‘හම්බන්තොට වරාය’ හැදෙන එක නතර කරන්න පුංචි බණ්ඩාට බැරි වුණා. ඔහු එතැනින් නතර වුණේ නැහැ. ඊළගට ‘හම්බන්තොට වරාය’ කැමති ‘යෝධයා’ ‘අඟුටුමිට්ටකු’ කිරීමේ කොන්ත‍්‍රාත්තුව ඔහු විසින් භාර ගෙන තිබුණා. සිංගප්පූරු වරායට  ඕනෙ මේක අගුටුමිට්ටා කරලා තියාගන්න. මේ වරාය ප‍්‍රතිඅපනයනයට පමණක් සීමා වූ වරායක් බවට පත් කිරීම ඔවුන්ගේ උවමනාව. දැන් බලන්න, සීනි ශුද්ධ කිරීමේ ව්‍යාපෘතියක් එන්නෙත් මේ උවමනාවට සරිලන පරිදියි. මේ සීනි සෝදන්න ගන්න රසායනික ද්‍රව්‍ය වරාය ආශ‍්‍රතව තැන්පත් වෙනවා. අවසානයේ වරායේ පාරිසරික තත්ත්වය පිළිබඳ සෘණාත්මක වාර්තා ලෝකයට යනවා.
මෙවැනි සීනි ශුද්ධ කිරීමේ ව්‍යාපෘතියක් හරහා තවත් රටේ ආර්ථිකයට සිදු වන හානියක් පෙන්වා දිය හැකියි. මේ රටේ අවුරුද්දකට ඩොලර් මිලියන 550ක සීනි වෙළඳපොළක් තිබෙනවා. මේ ශුද්ධ කරන සීනි ප‍්‍රතිඅපනයනයට පමණක් සීමා වෙයිද? හොරෙන් ලංකාවේ වෙළඳපොළට නොඇවිත් තියේවිද? මේ ව්‍යාපෘතියට බදු සහනත් ලැබෙනවා. ලෝකයේ මේවාට කියන්නේ ‘කසල කර්මාන්ත’ කියලා. මේවායින් රටකට, සමාජයකට, පරිසරයකට සිදු වන හානිය වැඩියි. ඒ නිසා ලෝකයේ වෙනත් රටවල් නම් මේවාට බදු සහන දෙන්නේ නැහැ, වැඩිපුර කොන්දේසි දැමීමයි සිදු කරන්නේ. නමුත් අපි බදු සහන දෙනවා. මේ සීනි වෙළඳපොළට හොරෙන් පැමිණේවි. එතනෝල් වැනි අතුරු ඵලත් ඒවි. අවසානයේ හිගුරාන, පැල්වත්ත සීනි කර්මාන්ත ශාලාත් වැසී යාවි. අවසානයේදී අපේ සීනි වෙළඳපොළ මේ ‘ඉන්දියානු කසල ව්‍යාපෘතියට’ අවශ්‍ය පරිදි හසුරුවා ගැනීමේ සම්පූර්ණ ඉඩකඩ හැදේවි.
මේවා ගැන අපි සිතිය යුතු නැද්ද? අපේ ආර්ථිකයට ගැහුවේ කොටියා විතරද? පුංචි බණ්ඩලා ගහලා තියෙන ගැහිලි හරියට එළියට ආවොත්, අපට හිතේවි ‘කොටියා ගහලා තියෙන්නේ මහ බැංකුව ඇතුළු තව පුංචි පුංචි තැන් කිහිපයකට විතරයිනේ’ කියලා කොටියා ගහපු එක අපට දැනුනා, ඒවායින් අපට රිදුනා. අපි කිපුනා. නමුත් පුංචි බණ්ඩලා ගහන ඒවා අපට එන්නේ ‘ශ‍්‍රී ලංකා තැපෑලෙන්’
අපි ආණ්ඩුවේ කියලා මේ අඩුපාඩු හංගාගෙන ඉඳීමෙන් රටට අත්වන ප‍්‍රතිඵලය කුමක්ද? ‘කරතොත් කරපන් හරියට – නැතිනම් බැහැපන් එළියට’ කියන තැනට මේ රටේ ජනතාව පත් විය යුතු නැද්ද? ඒ බලපෑම කළ යුතු නැද්ද? මේ රණවිරුවන් වෙනුවෙන් අපි ඒ කාර්ය ඉටු කළ යුතු නැද්ද?
ජී. වී. එස්. ද සිල්වා කියන්නේ ශ‍්‍රී ලංකාවේ සිටි කීර්තිමත් ආර්ථික විශේෂඥයෙක්. ඔහු ටිකක් පැරණි ආර්ථික විශේෂඥයෙක්. ඒ නිසා ඔහුට සමහර විට ‘පුංචි බණ්ඩා’ අකැමැති ඇති. ඔහු එක් අවස්ථාවක මෙසේ පවසා තිබෙනවා. ‘අප රටෙහි කේනද්‍රීය ආර්ථික ප‍්‍රශ්නය වන්නේ, ගැමි ගොවි නිෂ්පාදන බලවේගයන් වර්ධනය කර ගැනීමයි. ගැමි ක්‍ෂේත‍්‍රය තෝරා ගන්නේ කුමක් නිසාද? නගර ආශ‍්‍රිත ආර්ථිකයේ ඇති වන වර්ධනය සිදු විය හැක්කේ විදේශ මූලධනයේ අන්තේවාසික ස්වරූපයෙන් නිසාත් ඊට අවශ්‍ය වන සියලූ දේම පාහේ ආනයනය කිරීම අවශ්‍ය වන නිසාත් එයට අවශ්‍ය විදේශ වත්කම් අපට නොමැති නිසාත්ය. එයට අවශ්‍ය විදේශ වත්කම් අපට නොමැති නිසාත්ය. තවද මෙම නිෂ්පාදන සඳහා වෙළඳපොළ සොයා ගත යුත්තේද ජාත්‍යන්තරවය. දෙවනුව අප සතු නගරාශ‍්‍රිත තාක්‍ෂණය හා විශේෂඥ දැනුම් සම්භාරය ගැමි ගොවි නිෂ්පාදන බලවේගයන් වේගවත්ව වර්ධනය කර ගැනීමෙහි ලා ප‍්‍රමාණවත්ය’ කියලා.
ඒක තමයි ඇත්ත, නගරාශ‍්‍රිත තාක්‍ෂණය හා විශේෂඥ දැනුම් සම්භාරය සහ ගැමි ගොවි බලවේග යන මේ දෙක එකට මුණගස්වන්න  ඕනෙ. මේ සාධක දෙක එකට එකතු කරවන ආර්ථික න්‍යාය පත‍්‍රයක් මේ රටට  ඕනෙ. නගරාශ‍්‍රිත ප‍්‍රාග්ධනය හිමියන් සහ ගැමි ගොවි නිෂ්පාදන බලවේගය එකට එකතු කළ යුතුයි. මේ රටේ 75%කට වඩා ඉන්නේ ග‍්‍රාමීය ගොවි ජනතාව. ඔවුන් මහා නිෂ්පාදන බලව්ගයක්. විශාල ඉඩමක් තියාගෙන, කෙවිටකින් හරකෙක් දක්කමින් යන අහිංසක මිනිසෙක් එතැන ඉන්නේ. එ මහා නිෂ්පාදන බලවේගයට නැත්තේ දැනුම හා ප‍්‍රාග්ධනය. එය ලබා දීමට නගරාශ‍්‍රිත ප‍්‍රාග්ධන හිමියාට හැකියි.
ඒ නව කර්මාන්ත න්‍යාය පත‍්‍රයට හරියන විදියට බදු ප‍්‍රතිපත්තිය වෙනස් කරන්න  ඕනෙ. තිරිගුපිටි, කිරිපිටි, සීනි වැනි ආහාර ද්‍රව්‍ය ආනයනය කරන සමාගම්වලට දෙන බදු සහන අපි නතර කරන්න  ඕනෙ. මේ රටේ ආහාර නිෂ්පාදනවලට දිරි දෙන්න නම් ඉහත කී ආනයනික ආහාර ද්‍රව්‍යවලට බදු සහන නොදිය යුතුයි. දේශීය කිරිපිටි, සීනි නිෂ්පාදකයාට දිය යුතු සෑම සහනයක්ම ලබා දිය යුතුයි.
මේ දෙය කිරීමට මහා ආර්ථික ඥානයක් අවශ්‍ය නැහැ. මම දන්න විදියට ඞී. එස්. සේනානායක මහතා පාසල් ගොස් තිබුණෙ පහේ පන්තියට පමණයි. නමුත් එතුමා ගොවි ජනපද හැදුවේ හොඳ ආර්ථික විද්‍යාඥයකුගේ මනසින්. එක පැත්තකින් ආර්ථික සංවර්ධනය හා අනෙක් පැත්තෙන් උතුර හා නැෙ`ගනහිර පළාත්වල තිබූ දේශපාලන වාතාවරණය වෙනස් කිරීම ඔහුගේ අරමුණ වූවා. මුලින්ම අපි මෙතැන තියෙන මේ අභියෝගය හරියට හඳුනා ගත යුතුයි.
අපට  ඕනෙ නව ව්‍යවසායක පරපුරක් බිහි කරන ගමනක්. තව නොබෝ දිනයකින් චීන – ශ‍්‍රී ලංකා ආර්ථික ගිවිසුමක් අත්සන් කිරීමට නියමිතයි. එමගින් ශ‍්‍රී ලංකාවේ නිෂ්පාදනවලට තීරු බදු සහන ලැබෙනවා. ඒ මහා වෙළඳපොළෙන් දශමයක් හෝ අත්පත් කර ගත හැකි ව්‍යවසායකයකු මේ මහ පොළොවෙන් හදන්න  ඕනෙ. ඒ නව ව්‍යවසායක පැළැන්තිය හදන්න අරමුණු සහගතව කැපවෙන්න  ඕනෙ.
මෙම රණවිරු සමරු උත්සවයේ පිළිගැනීමේ කතාව ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික ශ‍්‍රී ලංකා නීතිඥ සංසදයේ සභාපති, නීතිඥ කපිල ගමගේ මහතා විසින් පවත්වන ලදි.
ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, සාම්ප‍්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය වීරකුමාර දිසානායක, ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, හිටපු සංස්කෘතික කටයුතු අමාත්‍ය පියසිරි විජේනායක, ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, මාධ්‍ය ප‍්‍රකාශක, කොළඹ මහ නගර සභා මන්ත‍්‍රී මොහොමඞ් මුසම්මිල්, බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී රොජර් සෙනෙවිරත්න, හෝමාගම ප‍්‍රාදේශීය සභාවේ සභාපති රුවන් ප‍්‍රබෝධ පීරිස් හා කඩුවෙල මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති බුද්ධික ජයවිලාල් යන මහත්වරුන් රණවිරු සමරු වේදිකාවේ අසුන්ගෙන සිටියහ.
විශේෂ ආරාධිතයන් ලෙස දේශපේ‍්‍රමී භික්‍ෂු පෙරමුණේ සභාපති, පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි, දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ සභාපති, ආචාර්ය ගුණදාස අමරසේකර මව්බිම ලංකා පදනමේ සභාපති ආරියශීල වික‍්‍රමනායක, මාහාචාර්ය මාලනී ඇදගම, මාහාචාර්ය උපාලි මාරසිංහ හා ප‍්‍රවීණ අධ්‍යාපනඥ ලීලානන්ද ගමාච්චි ඇතුළු විද්වතුන් පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
මාධ්‍ය ඒකකය
ජාතික නිදහස් පෙරමුණ

No comments:

Post a Comment