මේ දුක හිතන කථාවේ කථා නායිකාව වූ ජයකොඩි ආරච්චිලාගේ රූපිකා (26) තමා විසින්ම කොලමුණු ඔය රක්ෂිතයේ ලඳු කැලෑව මැද අටවා ගන්නා ලද බලුකොටුවක් තරම් නොවු පැල්කොටයේ හිඳ ඇගේ කඳුළු කථාව අප ඉදිරියේ දිග හැරියේ මෙසේය.
මගෙ පුංචි කාලෙ මට මතකයි අයියල දෙන්නයි, අක්කයි, මායි පවුලේ 4 යි. පුංචි අවදියේ ඉඳලම අපි හඳුනගත්තෙ - අපි ළඟ හිටියෙ කෑමත් ඈඳීමත් නැති කඳුළු පමණක් ඇති දුප්පත් කම විතරයි. මේ නිසාම අවුරුදු 5-6 න් අනෙක් ළමයි පාසල් යද්දී අවුරුදු 6 දී මම ගියෙ ගෙදරක වැඩ කාරකමකට වැස්සකටවත් මේ නිසා ඉස්කෝලෙ ගියේනෑ. ඒ නිසාම මට ලියන්නත් බෑ. කියන්නත් බෑ. අවුරුදු 6 ඉඳල 13 ක ලොකු ළමයෙක් වෙනතුරුම මම ගෙවල් 15-20 ක වැඩ කළා. හැබැයි මම දන්නෙ කන්න බොන්න ලැබුණු එක පමණයි. අවුරුදු 13 දී පමණ මම අම්මල ළගට ඇවිත් යන්න ආවා. ඒ කාලෙදී තරුණයෙක් මා එක්ක යාළුවෙන්න ආවා. එයා මට වඩා ටිකක් වැඩිමල් මේක දැනගෙන අයියා මගෙ පිටපැලෙන්න ගැහුවා. ඒත් මම යාළුවෙලා හිටියෙ නෑ. කොහොම හරි එයා අපේ ගෙදර ඇවිත් මා ගැන ඇහුව නිසා මගේ බරෙන් මිදීමට අම්මල එයාට දෙන්න කැමති වුණා. ඒ අනුව අපි කසාද බඳින්න ගියාම පොඩිකෙල්ලො කසාද බඳින්න පුළුවන්ද කියල එතැනින් එලව ගත්තා. මගේ වයස එතකොට අවුරුදු 13 යි. පස්සෙ වයස සම්පූර්ණ වුණාම බඳිමු. එතකම් අපි මොනව හරි කරල ජීවත්වෙමු කියල එයා කියපු හින්ද මාත් එයත් එක්ක ගියා. මෙහෙම අවුරුදු ගානක් අපි පන්නල - දංකොටුව - කුලියාපිටිය ආදී තැන්තැන්වල කුලීවැඩ කළා. මේ කාලයේදී මගෙ මනුස්සයා කලින් බැන්ද අයෙක් බවත් හෙළි වුණා එතකොට මට දරුවෝ තුන්දෙනෙක් හම්බවෙලා. පස්සෙ යන්න එන්න තැනක් නැති නිසා ගමට (බිංගිරිය ඌරාපොත්තට) ආවා එහෙදී සිව්වෙනි දරුවා හම්බවෙන්න ඉස්සරින් මනුස්සයා අතුරුදන් වුණා. අපේ මහගේ තිබුණේ කොලමුණුඔය අයිනේ. ඒ ගෙවල් තිබුණු තැන එළිකරල මම දරු පැටවු ටිකයි එක ඇහැක් පේන්නෙ නැති අම්මයි එක්ක පුංචි පැලක් හදාගත්තා. මේ එතකොට තාත්තා මැරිලා. එක අයිය කෙනෙක් ගහල මරල. අනෙක් අයියා වසබීලා මට වසකන්න බෑ දරුවො ජීවත් කරන්න මම ජීවත්වෙන්න ඕනෑ මම ඒ හින්ද තාත්තගෙ දර කපන රස්සාව පටන් ගත්තා. අවුරුදු 11 ක් වූ ලොකු ළමයා කරුණාවන්ත නෝනා කෙනෙක් ඉදිරිපත් වෙලා ළමා නිවාසයකට දැම්මා. අනෙක් ගැහැනු දරුවාට වයස අවුරුදු 5 යි. බාල පිරිමි දරුවාට අවුරුදු 3 යි. මේ ළමයි සල්ලි වලට ඉල්ලනවා. මට මේ දරුවො විකුණන්න බෑ. ඒත් මට අත් වූ ඉරණම අයිති කරන්නත් බෑ. ඒ නිසා දුව ස්කෝලෙකට දාගත්තා පුතා ළදරු පාසලකට යවනවා. ඒත් ඇඳුම්පැළදුම් පොත්පත් මට ප්රශ්නයක්. මේ සේරම කරන්න සතියකට දර යාර 5 ක් වත් කපන්න ඕනෑ. දැන් මට ගස් නගින එක එතරම් දෙයක් නොවෙයි. මේ ජීවිත 3-4 ගොඩදාගන්න එකයි දැන් මගේ එකම අරමුණ.
ජීවිතය සමග පොරබඳින රූපිකාගේ කථාව තවත් දිරිය මවකගේ කථාවක්. තවත් ගැහැණියකට අත් වූ ඉරණමක කතාවක්. ඇගේ කතාව තුලින් පාඩම් රැසක් අපට ගත හැකි වුවත් දැන් කළ යුත්තේ මේ දිරිය මවට, හා රටට අපට අයිති මේ දරු පැටවුන්ගේ අනාගතයට කල හැක්කේ කුමක්ද යන්න සොයා බැලීමයි. එය අපගේ යුතුකමක් සේම සමාජ වගකීමකි. රූපිකාගේ ලිපිනය ඡේ. ඒ. රූපිකා මෝරාවිල ඌරාපොත්ත බිංගිරිය යන්නයි.
සටහන හා ජායාරූප බිංගිරිය
සෝමසිරි ඒකනායක
No comments:
Post a Comment