ජාතික නිදහස් පෙරමුණට අවශ්‍ය ජනාධිපතිතුමන්ගේ අපාය සහායක මිත‍්‍රයකු වීමට නොවන බවත් ජාතියේ ඉදිරි ගමන වෙනුවෙන් ඕනෑම මොහොතක අවශ්‍ය කරන මැදිහත්වීම සිදු කරන සැබෑ මිත‍්‍රයකු වීමට බවත් ඒ බව කඩිනමින් වටහා ගතහොත් මේ සතුරු අවදානමෙන් ගොඩ ඒමට හැකි බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක, අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.
මොනරාගල පුස්තකාල ශ‍්‍රවණාගාරයේදී පැවැති ‘විය යුත්තේ කුමක්ද?’ යන සම්මන්ත‍්‍රණයේ ප‍්‍රධාන දේශනය පවත්වමින් විමල් වීරවංශ මහතා මෙසේ පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේද පැවසීය.
‘රට හමුවේ තීරණාත්මක අභියෝග මතු වූ සෑම විටම අපි ඒවා ජයගැනීම වෙනුවෙන් අපට හැකි උපරිම අයුරින් කැප වූ බව ඔබ දන්නවා. දුර දක්නා නුවණින් යුතුව රට හමුවේ මතුවන අභියෝග ජයගත හැකි ම`ග අපි සෑමවිටම ජාතිය හමුවේ තැබුවා. 2005 ජනවරමෙන් ඇරඹි ගමන තුළ අද වන විට යටිතල පහසුකම් සංවර්ධනයක් සහිතව රට සාමකාමී වාතාවරණයකට පැමිණ තිබෙනවා. ජනාධිපතිතුමන්ගේ මග පෙන්වීමෙන් රණවිරුවන්ගේ කැපවීමෙන් මේ පොළොවට ලැබුණු යුද ජයග‍්‍රහණයේ ප‍්‍රතිඵලයක් ලෙස තමයි මේ සාමකාමී වාතාවරණය ලැබී ඇත්තේ.
2005 දී පැවැති ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්‍ෂ මහතා ජයග‍්‍රහණය කරනු ලැබුවේ වැඩි ඡුන්ද 180,000කින් පමණ. ඒ ජයග‍්‍රහණයට ‘රජුන් තනන බලවේග’ සම්මාදම් වුණේ නැහැ. චන්ද්‍රිකා කුමාරතුංග නෝනාගේ අතේ තිබුණු ‘එක්සත් රාජ්‍යය’ කියන සංකල්පය අත හැරලා මේ රටේ ජාතිකවාදී බලවේග අතේ තිබුණු ‘ඒකීයභාවය’ කියන සංකල්පය පිළිඅරගෙන එදා ඒ ජනාධිපතිවරණ ජනවරම දිනා ගන්න බැරි වුණා නම්, වික‍්‍රමසිංහ මහත්තයා අතට එදා බලය ගියා නම්, අද මේ රට තියෙන්නේ අද අපි මේ කතා කරන මාතෘකා සංවාදයට ගන්නා රටක් නොවෙයි. එහෙම නම් අද අපට කතා කරන්න වෙන්නේ ‘දෙකට බෙදුණු රට එකට එකතු කිරීම’ පිළිබඳව. අපට එදා මේ රට හමුවේ තිබුණු ‘බෙදා වෙන් කිරීම් කියන තර්ජනයෙන්’ ගැලවෙන්න හැකි වුණා. ඒ ප‍්‍රබල ජනවරම ගොඩන`ගන්න අපට දායක වෙන්න පුළුවන් වුණා.
සමාජ සංවාදයක් ඇතුළෙයි 2005 ජනාධිපතිවරණ වැඩපිළිවෙළ හැදුණේ. ‘සාමය උදා කළ හැක්කේ සාකච්ඡුා මගිනි’ කියන මතය රනිල් වික‍්‍රමසිංහ මහතා ඇතුළු බලවේග දැරුවා. ‘ත‍්‍රස්තවාදය පැරදවිය හැක්කේ යුද්ධය මගිනි’ කියන මතය ජාතිකවාදී බලවේග දරපු මතයයි. එතැනට සමාජ සංවාදය ගොඩනැගී තිබුණා.
මහින්ද රාජපක්‍ෂ අගමැතිතුමාට තිබුණේ ඒ සමාජ සංවාදයේ තමන්ට අදාළ ස්ථානයේ හිට ගැනීම පමණයි. එතුමා හරි තැන හිටගත්තා. එමතින්ම ජයග‍්‍රහණය ලබා ගත්තා. 2005 ජනාධිපතිවරණයට කලින් සමය කියන්නේ මහා සමාජ කතිකාවතක් තුළින් මතු වූ නිවැරදි ස්ථාවරය මත ජනාධිපතිතුමන් හිට ගැනීමක්. නමුත් 2010 ජනාධිපතිවරණයට පෙර මෙවැනි මහා සමාජ කතිකාවක් නිර්මාණය වූයේ නැහැ. යුද ජයග‍්‍රහණයේ ආශ්වාදයෙන් මුළුමහත් රටම ප‍්‍රමෝදයට පත්වී සිටි නිසා එවැනි කතිකාවතක් නිර්මාණය වීමට වටපිටාවක් ද තිබුණේ නැහැ.
එම ප‍්‍රමෝදය විසින් 2010 ජනාධිපතිවරණයෙන් වැඩි ඡන්ද 18 ලක්‍ෂයක ජයක් වගේම 2/3ක පාර්ලිමේන්තු බලයක් එක්සත් ජනතා නිදහස් සන්ධානයට ලබාදුන්නා. මේ ජයග‍්‍රහණ තේරුම් ගන්න බැරි වුණු විපක්‍ෂය මේ ප‍්‍රතිඵල සැක කරන්න පවා පෙළඹුණා. නමුත් ඒක තමයි යුද ජයග‍්‍රහණයෙන් ප‍්‍රමෝදයට පත් වූ ජනතාවගේ ප‍්‍රතිචාරය වූයේ.
නමුත් යුද ජයග‍්‍රහණයේ ප‍්‍රමෝදය විසින් අත්‍යවශ්‍ය සමාජ සාකච්ඡුාවකට තිබුණු ඉඩකඩ අහුරා තිබුණා. ඒ නිසා පුළුල් සමාජ කතිකාවතක් තුළ ගොඩනැගන්න ඕන ගමනක්, සිමිත සංවාදයක් තුළ ගොඩනැගුණා. ඒ අනුව 2010 ජනවරම පුළුල් සමාජ කතිකාවතක් තුළ ගොඩනැ`ගුණු තර්කානුකූල ප‍්‍රතිඵලයක් නොවෙයි. ‘දිනාගත් සාමය ඇතුළේ මව්බිම ගොඩනැගිය යුත්තේ කෙසේද? ‘ප‍්‍රමුඛතා ලැයිස්තුව කුමක්ද? උපක‍්‍රම මොනවාද?’ යන මහා කතිකාව තුළ පෝෂණය වුණු ජනවරමක් නොවෙයි එදා 2010 ජනවරම. මම මේ කරුණු පෙන්වා දෙන්නේ, විවේචනයක් හැටියට නොවෙයි, තේරුම් ගත යුතු කරුණක් විදියට.
එදා ‘මහින්ද චින්තන ඉදිරි දැක්ම’ කියා වැඩපිළිවෙළක් සකස් වුණා තමයි. නමුත් කොටි ත‍්‍රස්තවාදය පැරදවීමේ යුද්ධයට වගේ මහා මෙහෙයුමක්, නව ශ‍්‍රී ලංකාව ගොඩනැගීමේ යුද්ධය වෙනුවෙන් දියත් වුණේ නැහැ. ඒක කිහිප දෙනකුගේ අදහස් උදහස් මත තීරණය වන කාරණයක් බවට පත් වුණා. ත‍්‍රස්තවාදය පැරදවීමේ සටනත් ජනාධිපතිතුමාගේ, ආරක්‍ෂක ලේකම්වරයාගේ සහ ත‍්‍රිවිධ හමුදාපතිවරුන්ගේ ඇතුළු සීමිත පිරිසකගේ අදහස් උදහස් මත පමණක් ක‍්‍රියාත්මක වුණා නම් ඒ මහා ජයග‍්‍රහණය ලබා ගැනීම දුෂ්කරයි. ඒකට මුළුමහත් සමාජයේම සහයෝගය අදහස්, උදහස් ලබාගත්තා. අවසානයේ කොටි පැරදවීමේ සටන සමාජය සමග බද්ධ වූ මහා සමාජ ක‍්‍රියාදාමයක් බව පෙරළුණා. එහෙම නම් රාජ්‍යය නැවත ගොඩනැංවීමේ ක‍්‍රියාන්විතයත්, නිදහස් කරගත් උතුර හා නැෙ`ගනහිර පළාත් යළි පුබුදුවාලීමේ ක‍්‍රියාන්විතයත් එබඳුම මහා සමාජ ක‍්‍රියාදාමයක් විය යුතුව තිබුණා නේද? නමුත් ඒ වෙනුවට වුණේ මේ රාජ්‍යය නැවත ගොඩනැංවීමේ ක‍්‍රියාන්විතය දේශපාලනඥයන් දෙතුන් දෙනක්, නිලධාරීන් තුන් හතර දෙනෙක් අතේ හැසිරෙන ක‍්‍රියාදාමයක් බවට පත් වීම.
නැෙ`ගනහිර මුදා ගන්නා කොට නැගනහිර උදානය ගියා. උතුර මුදා ගත්තාම උතුරු වසන්තය ගියා. නමුත් ආපසු හැරිලා බැලූවාම දෙමළ ජාතික සන්ධානය එම ප‍්‍රදේශවල හිටියාටත් වඩා ශක්තිමත් වී තිබුණා. ඒකෙන් පෙනෙන්නේ උතුරු හා නැගනහිර ජන සමාජයේ හදවත් දිනාගන්න උතුරු වසන්තයට හා නැගනහිර උදානයට නොහැකි වූ බවයි. පාරට කොන්ක‍්‍රීට්, වතුර ටැංකියට වතුර වැටුණා. පාසලේ කැඩුණු ගොඩනැගිල්ල හැදුණා. නමුත් යුද්ධයෙන් පස්සේ ඒ ක‍්‍රියාන්විතය සමාජ බලවේගයන්ගේ අදහස් උදහස් මත ක‍්‍රියාත්මක වන සාමූහික ක‍්‍රියාන්විතයක් වුණා නම් උතුරු නැගනහිර ජන සමාජයේ හදවත් දිනාගන්නා මහා ක‍්‍රියාන්විතයක් පණ ගැන්වීමට තිබුණා. මේ ඇතැම් ව්‍යාපෘති එක එක පුද්ගලයන්ගේ ප‍්‍රතිරූප ගොඩනැංවීමේ ව්‍යාපෘති බවට පත් වුණා. ඒ වගේම සමහර නිලධාරීන් ආර්ථිකයේ සියලූ තීරණ ගන්නා පුද්ගලයන් බවට පත් වුණා.
අපි කැමති වුණත් නැතත් මේ නූතන ශ‍්‍රී ලංකාව ජේ. ආර්. ජයවර්ධනගේ නිර්මාණයක්. 1978 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව තමයි පාර්ලිමේන්තු මැතිවරණයට කේවල ක‍්‍රමය වෙනුවට සමානුපාතික ක‍්‍රමය ආවේ. එමගින් තමයි, එහාට මෙහාට පනින පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු පිරිසක් හැදුවේ. පනින අය තියා ගන්න ඇමතිකම් ලබා දෙන්න සිදු වුණා. 1977ට පෙර එහෙම සම්ප‍්‍රදායක් තිබුණේ නැහැ. අපි යළිත් සම්පූර්ණයෙන් බැරි වුණත් කේවල හා සමානුපාතික ක‍්‍රම දෙකෙහි මිශ‍්‍ර මැතිවරණ ක‍්‍රමයක් ගෙනවිත් අතුරු මැතිවරණ ක‍්‍රමයක් සහිතව ස්ථාවර පාර්ලිමේන්තුවක් හැදිය යුතුයි. ඒ විදියට මේ ජේ. ආර්. ජයවර්ධන ගෙන ආ ව්‍යවස්ථාවේ තිබෙන හිල් වැසිය යුතුයි. මැතිවරණ ක‍්‍රමය එක උදාහරණයක් විතරයි. ජේ. ආර්. ගොඩනගපු රාජ්‍යයේ තියෙනවා මේ විදියට කැපිය යුතු කොඩිවින ගණනාවක්. ‘යුද්ධය’ නම් කොඩිවිනය නම් බොහොම අමාරුවෙන් කැපුවා. යුද්ධයෙන් පසුව මේ රාජ්‍ය ව්‍යුහයේ තිබෙන කොඩිවින කැපිය හැකි මහා පරිමාණයේ ප‍්‍රතිසංස්කරණයක් ක‍්‍රියාත්මක කළ යුතුව තිබුණා.
නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමෙන් ඒකීයභාවය සනාථ කිරීමේ පියවර ගත හැකිව තිබුණා. ඒ වගේම සමාජ, ආර්ථික, සංස්කෘතික ක්‍ෂේත‍්‍රවල විය යුතු වෙනස්කම් පිළිබඳව පියවර ගත යුතුව තිබුණා. එවැනි න්‍යාය පත‍්‍රයක් ක‍්‍රියාත්මක කළ යුතුව තිබුණා. නමුත් ඒ වෙනුවට වුණේ, එක්තරා අන්දමක භෞතික සංවර්ධනයක්. ඒ කියන්නේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම අධිනිශ්චය වුණු න්‍යාය පත‍්‍රයකට රට යොමු කිරීමයි. එමගින් සිදු වුණේ ජේ. ආර්. ජයවර්ධන හදපු රාජ්‍යයේ විය යුතු වෙනස්කම් පිළිබඳ කතිකාව නැති වෙලා යාම. අපට 2010 – 2014 දක්වා පළාත් පාලන මැතිවරණය සඳහා කේවල ක‍්‍රමයක් හඳුන්වාදීම වැනි දෙයකට වඩා එහා පුළුල් ප‍්‍රතිසංස්කරණයකට යාමට නොහැකි වී තිබෙනවා.
ආර්ථික ක‍්‍රියාදාමය සම්පූර්ණයෙන්ම යටිතල පහසුකම් සංවර්ධනයට ඌනනය වූ ක‍්‍රියාදාමයක් බවට පත් වුණා. මෙතැනදී කියවුණා, ‘සුද්දා කඩපු වැව තවම හදලා නැහැ’ කියලා. වැව හැදුවා නම් ගම රැකෙනවා, ගමේ වගාව සරු වෙනවා. ගමේ මිනිසාගේ අතමිට සරු වෙනවා. වැව කියන්නේ ඍජු නිෂ්පාදන ක‍්‍රියාදාමයට පණ දෙන යටිතල පහසුකමක්. වැව ප‍්‍රතිසංස්කරණය කියන්නේ සෘජු නිෂ්පාදන ක‍්‍රියාදාමයට පණ දීමක්. නමුත් පාරක් ප‍්‍රතිසංස්කරණය කළාම ගමේ ආර්ථිකයට ප‍්‍රතිලාභ එන්නේ වක‍්‍රාකාරව. මේක හොඳ උදාහරණයක් වැව හැදුවොත් කෙලින්ම ප‍්‍රතිලාභය ගමට. නමුත් වත්මන් ආර්ථික න්‍යාය පත‍්‍රය තුළ එවැනි දේට ප‍්‍රමුඛතාව ලැබී නැහැ. ප‍්‍රමුඛතාව ලැබෙන්නේ යටිතල පහසුකම් සංවර්ධනයට. අපි කියන්නේ නැහැ, යටිතල පහසුකම් සංවර්ධනය අනවශ්‍යයි කියලා. අපි කියන්නේ ඒක අධිනිශ්චය වෙලා තිබෙන බවයි.
රාජ්‍ය අංශය ශක්තිමත් කිරීමට මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමන් කටයුතු කළ බව ඇත්ත. නමුත් රාජ්‍ය අංශය ප‍්‍රසාරණය කිරීම මගින් පමණක් මේ රට ගොඩන`ගන්න බැහැ. ගමේ පළතුරු ගෙඩියට, කොස් මදුලට, ගමේ තිබෙන කවර හෝ කෘෂිකාර්මික නිෂ්පාදනයට මිලක් ලැබෙන කර්මාන්තශාලා ඇති වන අන්දමේ ගමනක් අපි නිර්මාණය කළ යුතුයි. අපි ඇතැම් විට හිතන්න පුළුවන් තායිලන්තය ආදායම් ලබන්නේ ඒ රටේ දැරියෝ විවෘත වෙළඳපොළේ අලෙවි කරලා කියලා. නැහැ. ඔවුන් සියලූ කෘෂිකාර්මික නිෂ්පාදන කල්තබා ගත හැකි ලෙස සකසා වෙළඳපොළට එවනවා. තැඹිලි වතුර ටිකත් ටින් කරලා වෙළඳපොළට එවනවා. මම මේ ළගදී මහා සංඝරත්නයට පූජා කිරීමට ගත් පළතුරු වට්ටියක් පරීක්‍ෂා කළ විට දැක්කේ, වට්ටියේ අපේ පළතුරකට තිබුණේ අන්නාසි ගෙඩියක් පමණක් බවයි. අපිට මහා පරිමාණ නිෂ්පාදන කරන්න බැරි වේවි. නමුත් කළ හැකි දේ පවා අපි කරන්නේ නැහැ. අපි වාර්ෂිකව සීනි ආනයනයට ඩොලර් මිලියන 346ක් වැය කරනවා. ඒ ඩොලර් මිලියන 346 ඉදිරියේදී මේ රට තුළ ඉතිරි කර ගත යුතුයි කියන සැලසුම අනුව අපි මේ රට තුළ සීනි නිෂ්පාදනය ඉහළ දැමිය යුතුයි නේද? ඒ වගේම කිරිපිටි සඳහා වැය වන ඩොලර් මිලියන 307 රට තුළ කිරි නිෂ්පාදනය ඉහළ නංවා ඉතිරි කර ගත යුතු නැද්ද?
ණය පොලී හා තැන්පතු පොලී අතර වැඩිම පරතරය තිබෙන රට ශ‍්‍රී ලංකාව බවට පත් වී තිබෙනවා. මේ තත්ත්වය වෙනස් කර ගමේ මිනිසා නිෂ්පාදනයට පොළඹවන පොලී අනුපාතිකයකට ණය ලබා දිය යුතු නැද්ද? මේ විදියට ග‍්‍රාමීය ආර්ථිකය ගොඩනංවන වැඩපිළිවෙළක් නැති වුණොත් පාර හැදෙයි, වාහන යයි. ගමෙන් නගරයට යාමට නිෂ්පාදන නැති වේවි. ජන ජීවිතයේ ආර්ථිකයේ සැබෑ පිබිදීමක් අවශ්‍ය අංශවලට අවධානය යොමු නොකිරීමක් තමයි අද පවතින්නේ.
අපි දිගින් දගටම කතා කරන ආර්ථික ඝාතකයන්ට අවශ්‍ය නැහැ ජන ජීවිතයේ ආර්ථිකයේ සැබෑ පිබිදීමක් අවශ්‍ය අංශවලට දිරි දීමට. ඔවුන්ට අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය පමණයි. විදුලි ව්‍යාපෘති, කාපට් ව්‍යාපෘති ඕනෙ. ගැමි නිෂ්පාදන ප‍්‍රසාරණය කරන ආයෝජනය ඕනෙ. නමුත් ඒවා නැහැ. යටිතල පහසුකම් ව්‍යාපෘති පමණක් තිබෙනවා.
මහ බැංකු වාර්තා අනුව මේ රටේ 40%කගේ දෛනික ආදායම ඩොලර් 02යි. රුපියල්වලින් බැලූවොත් රුපියල් 260යි. මම දැක්කා ‘ආර්ථික ඝාතක පුද්ගලයා’ කියා තියෙනවා 2014 දී ශ‍්‍රී ලංකාවේ ඒක පුද්ගල ආදායම ඩොලර් 4000 වෙනවා කියලා. මේකට තමයි කියන්නේ ‘මායාකාරී සංඛ්‍යා ලේඛනවලින් ඇස් නිලංකාර කිරීම’ කියලා. ගණන හරි. නමුත් බෙදී යාමේ විෂමතාව තවත් වැඩි වෙනවා. ගමේ සිරිපාල අයියා ගාව රුපියල් 100ක් තියෙන කොට හැරී ජයවර්ධන ළග තිබෙනවා බිලියන ගණනක්. ඒක පුද්ගල ආදායම ඩොලර් 4000 වුණාට පතුලේ ඉන්න අර 40%ට ආදායම වැඩි වන්නේ නැහැ. ඒ මිනිහාගේ ආදායම වැඩි කිරීමට වෙනම ව්‍යාපෘති අවශ්‍යයි. එවැනි ව්‍යාපෘති සඳහා නව ව්‍යවසායක පැළැන්තියකට ඉඩම්, ණය ආධාර, බදු සහන ඇතුළු වෙනත් සහන ලබා දී ග‍්‍රාමීය පළාත්වල ආයෝජනය සඳහා අවශ්‍ය ඉඩකඩ නිර්මාණය කිරීමෙන් නේද, මේ පත්ලේ සිටින මිනිහාගේ ආදායම වැඩි කළ හැක්කේ? ඒක නොවේද සැබෑ ආර්ථික පිබිදීම?
‘මැලේසියාවෙත් ආර්ථිකය හැදුණේ මෙහෙමලූ’ කියා කියනවා. යටිතල පහසුකම් සංවර්ධනය කරමින් ගියාලූ. ආර්ථිකය හැදුණාලූ. ඒක බොරුවක්. මුලින්ම මැලේසියාවේ මහතිර් මොහොමඞ් ‘භූමිපුත‍්‍ර සංකල්පය’ කියා සංකල්පයක් රැගෙන ආවා. භූමි පුත‍්‍රයා හෙවත් මැලේ ජාතිකයා අතට ආර්ථික බලය රැගෙන දීමටයි එම සංකල්පය හැදුවේ. මැලේසියාවේ ආර්ථික බලය තිබුණේ චීන සම්භවයක් තිබෙන අය අතේ. නමුත් චීන සම්භවය ඇති පිරිස් කඩිසරයි. මැලේ ජාතිකයන් තරමක් අලසයි. මහතීර් මොහොමඞ් කවර සංකල්පය ගෙන ආවත් තවම බැරි වෙලා තියෙනවා, මැලේ ජාතිකයා අතට මැලේසියාවේ ආර්ථික බලය ගන්න. කෙසේ නමුත් නිෂ්පාදනය මුල්කරගත් ආයෝජන තුළින් මැලේසියාව ආර්ථික ස්ථාවරත්වයක් හදා ගෙන තිබෙනවා.
එක රටක අත්හදා බැලූ ආර්ථික ක‍්‍රමවේදයක් අපට ගැලපේද, කියලා කියන්න බැහැ. තායිලන්තය, මැලේසියාව, ඩුබායි ගත්තාම ඒ රටවල තත්ත්වයන් අපේ රටට වඩා වෙනස්. පරිසරය, සමාජ බලවේග ආදිය වෙනස්. අපි බලන්න ඕනෙ අපට තිබෙන ශක්තීන් මොනවාද, කියා. අරාබි රටවලට නැති අපට තිබෙන විභවය කෘෂිකර්මාන්තය. අදටත් අපේ ජනතාව ගම අත ඇරලා යන්නේ නැත්තේ ඒ පොළොව අදටත් ආදායම් ඉපයීමේ විභවයෙන් යුක්ත නිසයි.
එක්සත් ජාතීන්ගේ සංවිධානයත් පිළිගෙන තිබෙනවා අපේ ජනතාව ගම අතහැර අගනගරයට සංක‍්‍රමණය වීමේ ප‍්‍රවණතාව අඩුයි කියලා. ඒකට හේතුව නගරයේ සියල්ල ගමේ තිබීමද? නැහැ. ගමේ මිනිහා අඩු වේගයකින් නගරයට යෑමේ රහස තමයි, ගමේ තිබෙන නිෂ්පාදන ජීවිතය. කුඹුර, හේන තියෙනවා. ඒක නැති වුණොත් තමයි, ‘ආරක්‍ෂක නියාමක’ රැකියාව හොයා ගෙන නගරයට එන්නේ. මේ විභවයට ගැලපෙන කර්මාන්ත ප‍්‍රතිපත්තියක්, ආයෝජන ප‍්‍රතිපත්තියක් හදන්න ඕනෙ. එහෙම ප‍්‍රතිපත්තියක් තුළ රට ඉදිරියට ගියොත් තමයි අපට මේ හැදෙන පාර ගැන සතුටු වෙන්න පුළුවන් වෙන්නෙ.
යටිතල පහසුකම් සංවර්ධනයට පමණක් මුල්තැන දීමෙන් අනෙක් අංශවලට සැලකිල්ලක් නොදැක්වීමෙන් සිදු වන අගතිය කුමක්ද?, කියන එක අපි අපට හැකි සෑම අවස්ථාවේදීම ජනාධිපතිතුමාට පැහැදිලි කළා. නමුත් හරියට බැලූවොත් මේ රටේ ආර්ථිකය තිබෙන්නෙ ආර්ථික ඝාතකයකුගෙ අතේ. ‘අද’ පත්තරයේ මුල් පිටුවේ තිබුණා, ඔහු මුදල් අමාත්‍යාංශයේ සාකච්ඡවකදී පැවසූ බව කියන කතාවක්. ‘මම නැතිව පුළුවන්නම් මාස 06ක් කරලා පෙන්වන්න’ කියලයි ඔහු එහිදී පවසා තිබුණේ. මේ ප‍්‍රවෘත්තිය මෙතෙක් ඔහු ප‍්‍රතික්‍ෂේප කර නැහැ. ඒ නිසා සත්‍ය බව අපට පිළිගන්න වෙනවා. ‘මට ඕනෙම වෙලාවක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ රස්සාව තිබෙනවා. මම මේ ඉන්නේ ජනාධිපතිතුමාට උදව් කරන්න’ කියලයි ඔහු එහිදී පවසා තිබුණේ.
ආර්ථික වර්ධන වේගය 7%ට වඩා වැඩි නම්, ඒක පුද්ගල ආදායම වැඩි වෙනවා නම් හැම දෙයක්ම හොඳ මට්ටමකට ගෙන ආවා නම් ඔහු කියන්න ඕනෙ, ‘මගෙන් පස්සේ ඕන කෙනෙකුට ප‍්‍රශ්නයක් නැහැ, මේක කරගෙන යන්න පුළුවන්’ කියලා. ආරක්‍ෂක ලේකම්තුමා නම් එහෙමනේ කියන්නේ. ‘රට සාමකාමී තත්ත්වයකට ගෙන ආවා. දැන් ඒ තත්ත්වය ඉදිරියට ගෙන යා හැකියි’ කියලානේ එතුමා කියන්නේ.
කෙනෙක් නැහැ කියලා ඒ රටේ ආර්ථිකය වැටෙනවා නම් ඒක සවිමත් ආර්ථිකයක්ද? ‘මම ඉන්නේ ජනාධිපතිතුමාට උදව්වට’ කියන එක නම් බොරු. ඒක මෙහෙම වෙනස් වෙන්න ඕනෙ. ‘මට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජොබ් එක තියෙනවා. දැනටත් මම කරන්නේ ඒ ජොබ් එක’
චන්ද්‍රිකා කුමාරතුංග පාලන කාලයේ ආර්ථිකය සෘණ කළා පී. බී. ජයසුන්දර. ඊට පසුව රනිල් වික‍්‍රමසිංහ මහත්තයා පී. බී. ජයසුන්දර ‘පර්ක් ආයතනයේ’ සභාපති කළානේ. ‘චන්ද්‍රිකාගෙ ආණ්ඩුව සෘණ කළා පී. බී. ජයසුන්දර. භාණ්ඩාගාරය හිස් කළා මුදල් ඇමතිනියි, මහා භාණ්ඩාගාර ලේකමුයි. ඒ හින්දා මේකෙ ඉන්නෙ බැහැ’ කියලා එස්. බී. දිසානායක ආණ්ඩුවෙන් යන්න ගියා. චන්ද්‍රිකාගේ පාලන කාලයේ ආර්ථිකය සෘණ කරපු නිසා, රනිල්ගෙන් පී. බී. ට ලැබුණා පර්ක් ආයතනයේ සභාපතිකම. මේ වගේ මිනිහෙක් ආරක්‍ෂක ලේකම් පුටුවේ හිටියා නම් ජනාධිපතිතුමාට සාමය ගෙන ඒමට හැකි වෙයිද?
රාජ්‍යය නැවත ගොඩනැංවීමේ ක‍්‍රියාවලියේ ආර්ථික අභියෝගය අංක එක. දේශපාලන, සමාජ, සංස්කෘතික ප‍්‍රතිසංස්කරණ ඇති කිරීම ඊට යටින් තිබෙනවා. මේ ඔක්කොම අතට ගත්තු න්‍යාය පත‍්‍රයක් අද අපට ඕනෙ. ඒ අනුව තමයි මේ රටේ ඉදිරි ගමන තීරණය කරන්න ඕනෙ. එහෙම නොකළොත් මොකද වෙන්නේ?
දැන් බටහිර බලවේග බලාගෙන ඉන්නවා පාලනතන්ත‍්‍රයේ වෙනසක්, ‘රෙජීම් චේන්ජ්’ එකක් කරන්න. ඔවුන්ට ඕනෙ, යුද්ධ කරලා සාමය රැගෙන ආපු, බෙදුම්වාදය පරදවපු මේ ආණ්ඩුව වෙනුවට වෙනත් ආණ්ඩුවක් බලයට රැගෙන ඒමට. ඒ සඳහා ඔවුන් ඊළග ජනාධිපතිවරණය පාවිච්චි කිරීම ස්ථිරයි. අමතක කරන්න එපා, 2010 කියන්නේ යුද්ධය දිනුවාට පසුව පැවැති පළමු ජනාධිපතිවරණය වුණාට සාමය හොඳින්ම ස්ථාපිත වෙලා තිබුණේ නැහැ. එළඹෙන ජනාධිපතිවරණය තමයි සාමය ස්ථාපිත වුණාට පසුව පවත්වන පළමු ජනාධිපතිවරණය.
ඊළග ජනාධිපතිවරණය එක්සත් ජනපද තානාපති කාර්යාලය, මහා බි‍්‍රතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය, නෝර්වේ තානාපති කාර්යාලය, ජර්මන් තානාපති කාර්යාලය ඇතුළු මේ වටා ඉන්න කල්ලි කණ්ඩායම් සියල්ල එකතු වෙලා කෝටි, ප‍්‍රකෝටි ගණනින් මුදල් පොම්ප කරන ජනාධිපතිවරණයක් වෙනවා.
ඉන්දියාවේ මෝඩිගේ පැමිණීමත් ලංකාවට සුවදායක වන්නේ නැහැ. බී. ජේ. පී. පාලනයක් නම් යුද්ධය අවසන් දිනවල පැවතියේ ශ‍්‍රී ලංකාවට එල්ලවන බලපෑම වැඩියි. නමුත් කොංග‍්‍රස් පාලනයකින් ආවෙ මෘදු බලපෑම්. ඒ අනුව මේ බී. ජේ. පී. පාලනයත් මේ ‘රෙජීම් චේන්ජ්’ එකට 100%ක් අනුකූලයි.
මේ අන්තර්ජාතික බලවේගවලට ඕනෙ, ජනාධිපතිතුමන් හා ආරක්‍ෂක ලේකම්වරයා දවසකට හෝ ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණයට රැගෙන යන්න. ඔවුන් ඒක ලෝකයට පෙනෙන්න කරනවා. ඒක තමයි ඔවුන්ගේ මූලික අවශ්‍යතාවය. ඒ වගේම ඔවුනට ඕනෙ පැරදුණු බෙදුම්වාදය, දිනවන්න පුළුවන් පාලනතන්ත‍්‍රයක් මේ රටේ හදන්න. මේ ආණ්ඩුවේ ආර්ථික ගමනේ කවර දුබලතා තිබුණත්, මේක බෙදුම්වාදයට යළි හිස ඔසවන්න ඉඩ දෙන ආණ්ඩුවක් නොවෙයි.
එදා ජේ. ආර්. ජවවර්ධන පාලනය දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකුට දුන්නා ස්වදේශ කටයුතු අමාත්‍ය ධුරය. එයා නැෙ`ගනහිර පළාතේ සිතියම අලූතෙන් ඇන්දා. ඒක ජයවර්ධන ජනාධිපතිතුමාගේ අනුශාසකත්වයෙන් ඔහු සිදු කළා. ඒ වගේම උතුරු වෙරළ තීරයේ ආරක්‍ෂාව ඉවත් කළා, ඊළගට දකුණු ඉන්දියාව යුද පුහුණුව සඳහා දෙමළ තරුණයන්ට. ඉඩකඩ හදලා දුන්නා. දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ දුන්නු ලයිස්තුවක් අනුව තානාපතිවරු පත්කර හැරියා. ඔවුන් දෙමළ ඊළාම් මතවාදය පිළිගන්නා අය. ඔවුන්, ‘දෙමළ ඊළාම් අරගලය සාධාරණයි’ කියන මතය ලොව පුරා රැගෙන ගියා. මේ විදියට බෙදුම්වාදයට ජේ. ආර්. ජයවර්ධන මහත්තයා උදව් කළා වගේම 1983 කළු ජූලිය ඇති කරලා වේළුපිල්ලේ පිරබාහරන්ට ‘මරාගෙන මැරෙන භටයන්’ හදා ගන්න අවශ්‍ය වාතාවරණයද හදලා දුන්නා. දෙමළ ඩයස්පෝරාවට ලෝකය පුරා ව්‍යාප්ත වීමට ඉඩකඩ හදලා දුන්නා. කළු ජූලියෙන් පසුව කුඩා කණ්ඩායමත් ලෙස සිටි කොටි සංවිධානය දැවැන්ත ලෙස නැ`ගී සිටියා. මේ තමයි ජේ. ආර්. ජයවර්ධන සෘජු හා වක‍්‍රව බෙදුම්වාදයට උදව් දුන් ආකාරය.
ඒ වගේ බෙදුම්වාදයට උදව් කරන ආණ්ඩුවක් හදන්න අද බටහිරට උවමනායි, ඒ ආණ්ඩුව හදන්න, ඊළග ජනාධිපතිවරණයේ සිටම ඔවුන් උපරිම වෙර දරනවා. එහිදී රනිල් වික‍්‍රමසිංහට උතුරු නැගනහිර දෙමළ ඡන්ද ටික ලබා දීමට දෙමළ ජාතික සන්ධානය කටයුතු කරාවි. ‘මුස්ලිම් ජනතාවට බොදු බල සේනා ඇතුළු සේනාවලින් සිදු වන හිරිහැර නිසා නැෙ`ගනහිර මුස්ලිම් ඡුන්ද ටික ආණ්ඩුවට දෙන්න එපා’ කියලා මුස්ලිම් කොංග‍්‍රසයත් කියාවි. ඒ විතරක් නොවෙයි ඊළ`ග ජනාධිපතිවරණයේදී දෙමළ හා මුස්ලිම් ඡුන්දදායකයාගේ ඡුන්ද දැමීමේ ප‍්‍රතිශතය ඉහළ නැංවීමේ මහා මෙහෙයුමක්ද ක‍්‍රියාත්මක වෙනවා. ඒ විදියට දෙමළ ඡුන්ද හා මුස්ලිම් ඡුන්ද ලබා ගන්න ගමන් ඉන්දියාවේ බලපෑමෙන් දිගම්බරන් හෝ තොන්ඩමන් මහත්වරුන් ආණ්ඩුවට විරුද්ධව යොදා ගන්නත් සැලසුම් තිබෙනවා. එවැනි තත්ත්වයක් තුළ ඊළ`ග ජනාධිපතිවරණයේ ජයග‍්‍රහණය රඳා පවතින්නේ සිංහල ඡුන්දදායකයාගේ ඡුන්දය මත. ඒක තමයි ඇත්ත. ජයග‍්‍රහණය කරන්න අවශ්‍ය 50%කුත් එක ඡුන්දයක් නම්, ඒක ගන්න වෙන්නෙ සිංහල ඡුන්දදායකයාගෙන් මිස අන් අයකුගෙන් නොවෙයි.
සිංහල ඡුන්දදායකයාට තමයි ආණ්ඩුවේ ක‍්‍රියාකාරීත්වය පිළිබඳ විවේචන තියෙන්නෙ. පාවෙන ඡුන්ද තියෙන්නෙත් සිංහල ඡුන්දදායකයාට. දෙමළ, මුස්ලිම් ඡුන්ද බොහෝ විට පාවෙන ඡන්ද නොවෙයි. ‘නූතන රාජ්‍යය ගොඩනැගීම සඳහා අවශ්‍ය පියවර ගෙන නොමැත’ කියන විවේචනය ආණ්ඩුවට ඉදිරිපත් කරන්නේ මේ සිංහල ඡුන්දදායකයා. ඒ නිසා ඒවාට ඇහුම්කන් දීලා වෙනස් වෙන්න ආණ්ඩුව සූදානම් විය යුතුයි.
දැන් පොදු අපේක්‍ෂකයා කවුද, කියලා සැගවුණු අමුත්තාගෙන් වගේ පිටට තට්ටු කරලා අහනවා. හැබැයි ජනාධිපතිවරණය ළං වෙලා හරි අමුත්තා හෝ අමුත්තිය හඳුනා ගන්න පුළුවන් වේවි. ඉතිං මේ පොදු අපේක්‍ෂකයා එන්නෙත් අර සිංහල ඡුන්දදායකයාගෙන් කුට්ටියක් කඩා ගන්නනේ. ඒ කුට්ටිය කඩපුවාම වාසිය යන්නේ අර පැත්තටනේ. රනිල් වික‍්‍රමසිංහ මහත්තයා ගණන් හදන්නේ, ‘දෙමළ ඡන්දවලින් 75%ක් ලැබුණොත් මට මෙච්චරයි. මුස්ලිම් ඡන්දවලින් 75%ක් ලැබුණොත් මට මෙච්චරයි. දිගම්බරන් හරි කියලා ගත්තොත් මට එතැනින් මෙච්චරයි. මම නොවෙයි, මොන පඹයා ඉල්ලූවත් ලැබෙන එජාප ඡන්ද මෙච්චරයි. තව මදි පාඩුව තියෙන්නේ ලක්‍ෂ 5 – 6ක් විතර. ඒකෙන් ලක්‍ෂ 2 – 3ක් කඩන්න කොන්ත‍්‍රාත් එක දෙනවා අනුරට. ඉතිරි දෙකෙන් එකක් මම ගත්තාම මගේ වැඬේ ගොඩ’ කියලයි. මේක හිනාවට කාරණයක් නොවෙයි, මේක තමයි වික‍්‍රමසිංහ මහත්තයාගේ ගණන් සාස්තරය. මේක හිනාවට කාරණාවක් විදියට කවුරු හරි ගත්තොත් ඒ හිනාව අවසන් වෙන්නේ ඇ`ඩිල්ලකින්.
අද පුවත්පත්වල තිබෙනවා. ට‍්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් රාජ්‍ය නොවන සංවිධානයේ නීතිඥ වැලිඅමුණලා හලාවත හෝටලයක අන්තර්ජාතික යුද අපරාධ අධිකරණයේ සාක්‍ෂි දීමට උතුරේ පිරිස්වලට පුහුණුව ලබා දෙන බව. ‘කොහොමද බොරු ඇත්ත විදියට කියන්නේ’ කියලයි. මෙතැනදී උගන්වන්නේ. ‘යුද අපරාධ සිදු වුණා’ කියලා කියන්නයි මේ උගන්වන්නේ.
රනිල් වික‍්‍රමසිංහ මහත්තයාට ජනාධිපතිවරණයට එනවා නම්, අනෙක් පොදු අපේක්‍ෂකයා සිංහල ඡුන්ද කුට්ටියක් කවනවා නම් ආණ්ඩුවට එල්ල වී ඇති විවේචනවලට ඇහුම්කන් දීම කළ යුතුද? නැද්ද? සිංහල ජන සමාජයේ තිබෙන සාධාරණ දුක්ගැනවිලිවලට ඇහුම්කන් දීම කළ යුතුද? නැද්ද? එය කළ යුතුයි. ඊට අවශ්‍ය බලපෑම කරන්න තමයි අපි මේ යෝජනාවලියක් ආණ්ඩුවට ඉදිරිපත් කළේ.
ආණ්ඩුව විසින් ඉටු කළ යුතු හදිසි ප‍්‍රතිසංස්කරණ යෝජනා 12ක් තමයි අප විසින් ඉදිරිපත් කර ඇත්තේ. මේ යෝජනා 12 පිළිගැනීම කියන්නේ වෙනස්වීමට සූදානම් වීම. දකුණු අප‍්‍රිකාවෙන් ‘පහසුකම් සපයන්නකු අරගෙන, දෙමළ ජාතික සන්ධානය සහ ආණ්ඩුව අතර සාකච්ඡවලට ඔහු උදව් කරන්නකු බවට පත් කිරීමේ, ‘ලොකු ලණුවක්’ මේ දවස්වල දීලා තියෙනවා. කලින් ආවේ ‘සුදු සෝල්හයිම්’ කෙනෙක්, දැන් ගෙන්වන්න හදනවා දකුණු අප‍්‍රිකාවේ ‘කළු සෝල්හයිම්’ කෙනෙක්. දෙමළ ජාතික සන්ධානය පාර්ලිමේන්තුව හා උතුරු පළාත් සභාව නියෝජනය කරනවා. බොහෝ විට නායකයන් ඉන්නේ කොළඹ. ඉතිං ආණ්ඩුව සමග සාකච්ඡුාවලට මේ ‘කළු සෝල්හයිම්’ කෙනෙක් කුමකටද? එරික් සෝල්හයිම්ලා පැමිණ කළ දේ අමතකද? නැවත මේ ප‍්‍රශ්නය ජාත්‍යන්තරකරණය කිරීමටද සැරසෙන්නේ. මේ ප‍්‍රශ්නය ජාත්‍යන්තරකරණය කළොත් ඒකේ පාඩුව රටට මිස වෙන කිසිවකුට නොවෙයි.
දැන් අර කුප‍්‍රකට ‘ලියම් ෆොක්ස්’ ගිවිසුම ගහන්න රනිල් වික‍්‍රමසිංහට උදව් කරපු ‘ඇම්බැට්ටයකු’ අරලියගහ මන්දිරයට රිංගලා. ‘බටහිර රටවලින් එල්ල වන පීඩනය අඩුකර ගන්න පුළුවනි ජනාධිපතිතුමනි, කළු සෝල්හයිම් කෙනකු වඩම්මනු ලැබුවොත්’, කියන මතය දැන් ඔහු හදනවා. අපි අපේ එක් යෝජනාවකින් කියා තිබෙන්නේ, ඒ ‘කළු සෝල්හයිම්’ ගෙන්වා කරන්න හදන හානිය නතර කරන්න කියලයි.
අපේ යෝජනාවලියේ පළමු යෝජනාවෙන් කියන්නේ, ‘නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා කෙටුම්පතක් ජනතාවගේ අනුමැතිය සඳහා ඉදිරිපත් කළ යුතුයි’ කියන කාරණය. ජනතාව අතර එය සාකච්ඡවට භාජනය කරලා, ඔවුන්ගේ අදහස් උදහස් ඒ සඳහා ලබා ගත යුතුයි කියලයි අපි යෝජනා කොට තිබෙන්නේ. ලැබෙන ජනතා අදහස් උදහස් අනුව යළි ඒ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා කෙටුම්පත සංශෝධනය කරලා සකසන අවසන් කෙටුම්පත, ඉදිරි ජනාධිපතිවරණයේදී ජනමත විමසුම බවට පෙරළිය යුතුයි. ඒ ජනාධිපතිවරණ ජනවරමේ ආනුභාවයෙන් 2/3න් බැරි නම්, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක ආකෘතියෙන් හරි ඒ නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා කෙටුම්පත සම්මතකර ගත යුතුයි. එහෙම පියවරක් මේ රට වෙනුවෙන් ගත යුතුව තිබෙනවා.
ජේ. ආර්. ජයවර්ධන හදපු නූතන රාජ්‍යය වෙනුවට, යුද්ධයෙන් පසුව බිහි වන නව රාජ්‍යය නිර්මාණය කිරීමේ කාර්යය අපි අතට ගත යුතුයි. ඒ වෙනස සඳහා මේ රට හැරවිය යුතු නැද්ද? ඉහත වෙනස සඳහා මේ රට හරවනවා වෙනුවට විරුද්ධ පක්‍ෂ බලන්නේ බටහිර හතුරු න්‍යාය පත‍්‍රයට උඩගෙඩි දෙන්න. මේ හතුරු බලවේග සූදානම් වන්නේ දෙමළ ජාතික සන්ධානය සහ මුස්ලිම් කොංග‍්‍රසය එකට එකතු වෙලා නටවන පාර්ලිමේන්තුවක් හදන්න. ඔවුන්ගේ පදයට නටන රූකඩ ආණ්ඩුවක් හදන්න, ඊළග ජනාධිපතිවරණයට කලින් නැගනහිර පළාත් සභාවේ බලය දෙමළ ජාතික සන්ධානයේ සහ මුස්ලිම් කොංග‍්‍රසයේ ඒකාබද්ධ පාලනයකට නතු කර ගනීවි. මධ්‍යම පළාත් සභාව තොන්ඩමන් මහතාගේ සහායෙන් පෙරළන්න බලාවි. ඒ විතරක් නොවෙයි වැඩි ඡන්ද තුනක් තිබෙන බස්නාහිර පළාත් සභාවේ බලයත් ‘සල්ලි පොම්ප’ කරලා මන්ත‍්‍රීවරු කිහිප දෙනෙක් මිලදී ගෙන ලබා ගනීවි. මේ විදියට ‘පළාත් සභාවල බලය ගිලිහී යනවා, ආණ්ඩුව දැන් වැටෙන්නයි යන්නේ’ කියන මතය හදලා තමයි ඔවුන් ඊළ`ග ජනාධිපතිවරණයට එන්න සූදානම් වන්නේ. ඉන් අනතුරුව ඔවුන්ට අවශ්‍ය දෙමළ ජාතික සන්ධානය සහ මුස්ලිම් කොංග‍්‍රසය ගහන පදයට නටන රූකඩ පාලනයක් හදන්න. රනිල් වික‍්‍රමසිංහ සැදී පැහැදී සිටිනවා ඒ රූකඩ පාලනයේ පාලකයා වීමට. ජනතා විමුක්ති පෙරමුණ ඒකට වක‍්‍රාකාරයෙන් සහාය දීමට අද ‘පොදු අපේක්‍ෂකයන්’ සොයනවා. ආණ්ඩුවේ තිබෙන දුබලතා වෙනස් කර නොගත්තොත්, ඉදිරිපත් කරන සාධනීය විවේචනවලට ඇහුම්කන් නොදුන්නොත්, ‘අහසින් පොළොවට නොබැස්සොත්’ මේ කුමන්ත‍්‍රණකාරී බලවේගවල ගමන සඵල වෙනවා. එහෙම වුණොත් මේ රට ආපස්සට යනවා.
ඒ සතුරු කල්ලියේ අභිලාෂයන් ඉටුකර දීමට අපට උවමනා නැහැ. නමුත් තමන්ට එල්ලවන සාධාරණ විවේචනයන්ට ඇහුම්කන් නොදීමෙන්, නිෂ්පාදනයට පණ පොවන ආර්ථික උපායමාර්ගයකට යොමු නොවීමෙන් ආණ්ඩුව දැන හෝ නොදැන මේ කරන්නේ ඉහත සතුරු බලවේගවලට ජයග‍්‍රහණය සඳහා සහයෝගය පළ කිරීමක්. අපි මේ කරන්නේ, ආණ්ඩුවට තේ බි බී කියන දේ නොතේරෙන හින්දා අයිස් කුට්ටියකින් ඔළුවට ගහලා තේරෙන විදියට ඒ දේ කියන එකයි. අපි දැන් සමාජ මතවාදයක් ගොඩනගමින් බලපෑමක් සහිතව ආණ්ඩුවට විය යුතු දේ කියනවා. ‘ඔබ වෙනස් වෙන්න. ඔබ වෙනස් නොවුණොත් අර සතුරු කල්ලිය අතට බලය යනවා. එහෙම වුණොත් ඔබට ආණ්ඩුව නැති වීමේ ප‍්‍රශ්නය නොවෙයි අපට තියෙන්නේ, රට නැවත ඉහත කී ජාතිවාදී, බෙදුම්වාදී කල්ලිවල ප‍්‍රාණ ඇපයට ගොදුරු වීමේ ප‍්‍රශ්නයයි අපට තියෙන්නේ’ කියලයි අපි ආණ්ඩුවට කියන්නේ.
මේ මව් පොළොව දිවි පුදා රැක දුන් රණවිරුවන් බලාපොරොත්තු වුණා, තමන් මේ සටනේදී මියගියත්, තමන්ට ඒ ගමන සඳහා ජීවය දුන් ජාතික බලවේග යුද ජයග‍්‍රහණයෙන් පසුව මේ රට ඉදිරියට ගෙන යයි කියලා. අපට ඔවුන්ගේ ඒ බලාපොරොත්තුව ඉටුකර දීමට යුතුකමක් තිබෙනවා. අප මේ අද ඉටු කරමින් ඉන්නේ අපගේ හෘදය සාක්‍ෂිය අනුව ඒ යුතුකම.
ආණ්ඩුවේ දුබලතා මකලා, නිසි ම`ග ආණ්ඩුව රැුගෙන යාමෙන්, ඉහත කී සතුරු බලවේග අතට බලය යෑමට තිබෙන ඉඩකඩ අහුරාලීමේ මෙහෙයුමයි අපි මේ දියත්කර ඇත්තේ. ආණ්ඩුවට ඒක තේරෙන්නේ නැත්තම් අපට කරන්න දෙයක් නැහැ. ඒක උන්නැහෙලාගේ කරුමය. බොහොම බාල ක‍්‍රම මගින් ප‍්‍රශ්න විසඳන්න හදනවා නම් ඒක උන්නැහෙලාගේ අවාසනාව. අපේ පක්‍ෂයේ ඉන්න අය එහෙට මෙහෙට ඇදලා, අපට යම් පීඩාවක් ඇති කරනවා නම් ඒක උන්නැහැලාගේ, අඳ බාලකම, ගොන්කම, ඔලමොට්ටලකම, තකතීරුකම.
අපි මේ කියන්නේ ආණ්ඩුවට සතුරු බලවේගවලට, එරෙහි කතාවක්. අපි මේක නොකිව්වොත් තමයි, ආණ්ඩුවේ අපාය සහායක මිත‍්‍රයෝ වෙන්නේ. අපි 2005 දී මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමන්ව කරේ තියා ගෙන ගියේ, එතුමාගේ අපාය සහායක මිත‍්‍රයෙක් වෙන්න නොවෙයි, ජාතියට ඕනෙ ඉදිරි ගමන වෙනුවෙන් ඕනෑම මොහොතක අවශ්‍ය කරන මැදිහත්වීම කරන්න පුළුවන් මිත‍්‍රයකු විදියට. එතුමාට අනාගතයේදී නිස්කලංකව කල්පනා කරන විට තේරේවි, ‘කවුද අපාය සහායක මිත‍්‍රයෝ, කවුද එහෙම නොවන අය?’ කියන එක. එහෙම තේරිලා වැඩක් නැහැ. දැන් ඒක තේරුම් ගත යුතුයි. දැන් තේරුම් ගත්තොත් මේ සතුරු අවදානමෙන් ගොඩ ඒමට පුළුවන්.
මේ දෙය දැන් තේරුම් නොගත්තොත් මේ රට දෙමළ ජාතික සන්ධානයේ හා මුස්ලිම් කොංග‍්‍රසයේ පදයට නටන ආණ්ඩුවක් බිහි වෙලා ඒ සතුරු බලවේගවල ප‍්‍රාණ ඇපයට මේ රට ගොදුරු වන එක වළක්වන්න බැහැ. අද මේ රටේ ආර්ථිකය පමණයි ජයසුන්දරලාගේ ප‍්‍රාණ ඇපයට නතුවෙලා තියෙන්නේ. ඉහත කී තක්කඩි දේශපාලන රැුලට මේ රට ප‍්‍රාණ ඇපයට ගන්න ඉඩ දුන්නොත් රට ආපස්සට යනවා. ඒ වගේම ආණ්ඩුව මේ යන ගමනේ තිබෙන දුබලතා තියාගෙන ‘ඔහොම යං – ඔහොම යං’ කියන්නත් බැහැ. ‘ඔහොම යං – ඔහොම යං’ කිව්වොත් ආණ්ඩුව යන්නේ ‘වලට’. ඒ නිසා ‘ඔහොම යං – ඔහොම යං’ කියන එක සමාන වන්නේ ‘වලට යං – වලට යං’ කියන එකට. අපි කියන්නේ ‘ඔහොම යං’, ‘වලට යං’ කියලා නොවෙයි. අර සතුරු මෙහෙයුම පරදවන දිශාවට ගමන් කරමු කියලා. ඒ අභියෝගයට ගැලපෙන විදියට ‘ඇඳුම අඳින්න’ සූදානම් වෙන්න කියලා.
දැන් ඉතිං ‘යුද්ධය කළා, සාමය ගෙන ආවා, පාරවල් හැදුවා, කියලා විතරක් මදිනේ. පසුගිය ඉන්දීය මහ මැතිවරණයේදී කොංග‍්‍රස් ආණ්ඩුවත් තමන් කරපු දේවල් කිය කියා ගියා. මෝඩි එයා කරන්න ඉන්න ඒවා කියලා ආවා. කරපු දේවලින් විතරක් ඊළග ජයග‍්‍රහණය ගොඩනගන්න බැහැ. කරපු දේවල් වගේම නොකරපු දේවලූත් කියලා නොකරපු දේවල් කරන හැටිත් කියපුවාම තමයි, ඒ ජයග‍්‍රහණ ගොඩනගන්න පුළුවන් වෙන්නේ. නිහතමානී ලෙස ‘අපි වෙනස් වෙන්න සූදානම්’ කියන පණිවිඩය රටට දෙන්න ඕනෙ. ඒ පණිවිඩය ආදරයෙන් වැළඳගන්න මේ රටේ ජනතාව සූදානම්.
මේ අපි කියන දෙය ආණ්ඩුව තේරුම් ගත යුතුයි. නිවැරදි තැනට යම් ආණ්ඩුවක් තල්ලූ කරවීම තමයි, අපේ දේශපාලන උරුමය. අපි ජනතා විමුක්ති පෙරමුණේ ඉන්න කොට 2000 දී චන්ද්‍රිකා කුමාරතුංග පාලනය විවේචනය කරමින් ආවා. එහෙම ඇවිල්ලා අංශක 180ක් හැරිලා ‘පරිවාස ආණ්ඩු යෝජනාවලියක්’ දැම්මා. ‘රනිල් ආවොත් රට බෙදෙනවා. ඒකට ඉඩ දෙන්න බැහැ. ඒ හින්දා කොපමණ අඩුපාඩු තිබුණත් චන්ද්‍රිකා සමග එක`ගත්වයකට යන්න වෙනවා. අවුරුද්දක් අපි පරිවාස ආණ්ඩුවේ ඉමු. ඉඳලා එකට ඊළග මැතිවරණයට තර`ග කරලා රනිල් වික‍්‍රමසිංහ පරදවමු’ කියලයි එදා ජවිපෙ පරිවාස ආණ්ඩු වැඩපිළිවෙළක් ගෙන ආවේ. ඒක හරි. නමුත් ඒ වැඩපිළිවෙළ සාර්ථක වූයේ නැහැ. ඒක මාසයෙන් වැටුණා. ඊට පස්සේ ඡුන්දයක් ආවා. ඒකෙන් රනිල් දින්නා. ජවිපෙ හිතපු විදියටම රනිල් රට බෙදන වැඬේ පටන් ගත්තා. ඊට පස්සේ ඒ රට බෙදන රනිල්ව එළවන්න ඕනෙ වුණා. ඒ නිසා චන්ද්‍රිකා කුමාරතුංග සම`ග ගැහුවා සන්ධානයක්. චන්ද්‍රිකා ‘ඒකීයභාවය’ පිළිගත්තේ නැහැ. එයා ජවිපෙට කීවා, ‘අපි එක්සත්, ඔයාලා ඒකීය වෙලා ඉන්න’ කියලා. ඒ කාලයේ ජවිපෙට ‘ඒකීයභාවය’ නැතිව නින්ද යන්නෙත් නැතිවයි හිටියේ. දැන් නම් ඒක ඒ තරම් සලකන්නේ නැහැ. 2004 දී චන්ද්‍රිකා ඒකීයභාවය පිළිනොගත්තත් ජවිපෙ සන්ධානයකට එක`ග වුණා. ඒක අපහසු එකග වීමක්. 2005 දී නම් මහින්ද රාජපක්‍ෂ මැතිතුමා ඒකීයභාවය පිළිගත්තා. ඒ නිසා එතැන තිබුණේ පහසු එකග වීමක්. 2004 දී ජවිපෙ අපහසු එක`ගවීමකට එළඹුණේ රනිල් තවදුරටත් ‘හිටියොත් රට බෙදෙන එක වේගවත් වන නිසා ඒක වළක්වන්න. 2004 දී එක්සත් ජනතා නිදහස් සන්ධානය ජය ගත්තා. රනිල්ගෙන් රට බේරාගත්තා. 2005 ජුනි මාසයේදී චන්ද්‍රිකා රැුගෙන ආ සුනාමි සහන මණ්ඩලයට විරෝධය පළ කරලා ජවිපෙ සන්ධාන ආණ්ඩුවෙන් එළියට ආවා. නමුත් ඊට මාස කිහිපයකට පස්සේ සන්ධාන අපේක්‍ෂක මහින්ද රාජපක්‍ෂ මැතිතුමාව කරේ තියාගෙන ගියා, ඒ වෙන කිසිවකටවත් නොවෙයි, රනිල් වික‍්‍රමසිංහ ජනාධිපති පුටුවට ආවොත් රට බෙදෙන එක වළක්වන්න බැරි හින්දා. අද අපි ආණ්ඩුවට වෙනස් වෙන්න කියන්නෙත් ඒ අර්ථයෙන්මයි. අද ජවිපෙ එදා භූමිකාව අතහැරලා ඒ වෙනුවට රනිල්ට බලයට එන්න වක‍්‍රාකාරව පාවඩ දමන භූමිකාවයි ඉටු කරන්නේ.
ජවිපෙ අද ඒ රට ගැන හිතා තින්දු ගන්න භූමිකාව අත හැරියාට අප එම භූමිකාව අතහැර නැහැ. අපි කියන්නේ ‘මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමනි, ගමනේ දුබලතා නිවැරදි කර ගන්න. නිසි තැන නිසි පරිදි ස්ථානගත වෙන්න. නව ඇඳුමකින් සැරසෙන්න. ජාතිය ඉදිරිපිට තිබෙන අභියෝගය නිවැරදිව දකින්න, එහෙම නොවුණොත් ඉහත කී සතුරු බලවේගය බලය ඩැහැ ගැනීම වළක්වන්න බැහැ’ කියලයි.
එදා ජවිපෙ පරිවාස ආණ්ඩු හදපු, සන්ධාන හදපු, 2005 දී සන්ධාන ආණ්ඩුවෙන් එළියට ආවත් පසුව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාව බලයට ගෙන ආපු අර්ථයෙන්ම තමයි, අපිත් අද ආණ්ඩුවට කියන්නේ ‘වෙනස් වෙන්න එහෙම නොවුණොත් සතුරු බලවේගය බලයට එනවා’ කියලා.
ඉදිරි ජනාධිපතිවරණයේදී විශාල ලෙස මුදල් යෙදවේවි. ආණ්ඩුවෙන් අනෙක් පැත්තට මන්ත‍්‍රීවරුන් ගන්න බටහිර තානාපති කාර්යාලවලින් මුදල් ඒවි. මම දැක්කා ‘ඇමතිවරු 05ක් රාජ්‍ය රහස් විකුණති’ කියලා පුවතක්. එහෙම නම් මේ අයියලා ‘වෙසක් කාලයට බකට් පත්තු නොකර ඉඳීවිද?’ ඡන්දයට පෙර හොඳ ලංසුවක් ආවොත් පනී. ඒ නාඩගම් සියල්ල මේ ජනාධිපතිවරණයට කලින් වෙනවා. අනෙක් පැත්තෙන් චන්ද්‍රිකා නෝනත් ‘මගේ කාලයේදී නම් මෙහෙම නෑ නේද මල්ලී?’ කියමින් ‘බාම්’ ගානවා. තානාපති කාර්යාල සල්ලි පොම්ප කරනවා, නෝනා බාම් ගානවා. ඒ වගේම කලකිරීමට යම් යම් සාධාරණ හේතුත් තිබෙනවා. මේ සියල්ල ‘පත අට එකට සිඳුවා’ ගත්තාම අර ‘තුරුම්පු’ ගහපුවාම කොහෙන් කෙළවර වෙයිද? කියලා කාටවත් කියන්න බැහැ.
ඒ නිසා අපි බොරු සිහින ලෝකයක නැහැ. අපි යථාර්ථය හරියට දකිනවා. එන අභියෝගය කුමක්ද, කියා හරියට දකිනවා. මේක මේ ජංගම සේවාවලින් විසඳන්න පුළුවන් ප‍්‍රශ්නයක් නොවෙයි, මේක මේ පාර කාපට් කිරීමෙන් විසඳන්න පුළුවන් ප‍්‍රශ්නයක් නොවෙයි. මේක මේ දින 100ක වැඩපිළිවෙළකින් විසඳන්න පුළුවන් ප‍්‍රශ්නයක් නොවෙයි. ජනතාවගේ හදවතට වැදුණු ප‍්‍රශ්නය, ජනතාවගේ හදවතට පිළිතුරු දීලයි විසඳන්න ඕනෙ. හිතේ ප‍්‍රශ්නයට කායික වෛiවරුන් ළ`ග ප‍්‍රතිකාර නැහැනේ. ජංගම සේවා, පාරවල් කාපට් කිරීම වැනි දේවල් හිතේ ලෙඬේට කායික වෛiවරුන් මගින් ප‍්‍රතිකාර දෙනවා වගේ වැඩක්. මේ හදවතේ ප‍්‍රශ්නයට උවමනා දේශපාලන ප‍්‍රවේගයක්. දේශපාලන වෙනස්වීම්, දේශපාලන ප‍්‍රතිසංස්කරණ. මේගොල්ලන්ට තාම ලෙඬේ තේරුම් ගන්නත් බැහැ. අපට මොන තරම් අයහපත් ප‍්‍රතිඵල ලැබුණත් අපි මේ දැනුම්වත් කිරීම දිගටම කර ගෙන යනවා.
අපේ යෝජනා 12ට ආණ්ඩුවෙන් යහපත් ප‍්‍රතිචාර ලැබිලා මෙවර ඌව පළාත් සභා මැතිවරණයට අපේ මොනරාගල දිස්ත‍්‍රික් නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී පද්ම උදයශාන්ත ගුණසේකර මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ ඡන්දයට දැමුවොත් අපි මේ කරපු සද්කාර්ය පිළිබඳ තරහ අය, මෙයාව පරදවන්න කරන්න තියෙන තක්කඩි වැඩ, කුපාඩි වැඩ ඔක්කෝම කරයි. හැබැයි අපි කරලා තියෙන්නේ උන්නැහෙලාට හතුරු දෙයක් නොවෙයි. මේ අපි කරන්නේ, රටේත් ආණ්ඩුවේත් යහපතට කරන කතිකාවක්. ආණ්ඩුවට වෙනස් වෙන්න කියන්නේ අර සතුරු බලවේගවලට ජයග‍්‍රහණය යන එක වළක්වන්න. හැබැයි අපි කියන දේ අර, ‘හිතේ ලෙඬේට’ ‘කායික රෝග විශේෂඥවරු’ ගෙනල්ලා ප‍්‍රතිකාර කරවන්න හදන අයට තේරෙන්නේ නැහැ.
අපි 2001 දී කළෙත් 2004 දී කළෙත් 2005 දී කළෙත් 2005 සිට ඉන් ඉදිරියට කරන්නෙත් මේ රට නිවැරදි මාවතට හරවන්න උදව් කරන එක, එතැනට සමාජ කතිකාව හදන එක. මෙතැනට රැස්ව සිටින අපේ සාමාජික පිරිස්වලට වගේම ශ‍්‍රී ලංකා නිදහස් පාක්‍ෂිකයාටත් ලොකු වගකීමක් තිබෙනවා. ඔබ සියලූ දෙනා සැමවිටම රට ඉදිරියේ තිබුණු අභියෝගය නිවැරදිව දැකපු අය. ඔබ සියලූ දෙනා, නිවැරදි මතය ආවේ කොතැනින්ද, එතැන හරියට හිට ගත්තා. නිවැරදි දෙය සිදු කිරීමට අවශ්‍ය බලපෑම ගමේ ඉන්න අපේ පාක්‍ෂිකයන් සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ සාමාජිකයන් විසින් එක්ව ගොඩනැ`ගුවා. මේ අවස්ථාවේදීත් ඒ අවශ්‍ය බලපෑම කරන්න ගමේ ඉන්නා ශ‍්‍රී ලංකා නිදහස් පාක්‍ෂිකයන් උද්යෝගයෙන්, උනන්දුවෙන් කටයුතු කරන්න ඕනෙ. තමන්ගේ නායකයන්ට කියන්න ඕනෙ, ‘ගමේ තත්ත්වය මේකයි. මේ විදියට යන්න බැහැ. වෙනස් න්‍යාය පත‍්‍රයක් අනුව ඉදිරියට යන්න ඕනෙ’ කියලා. ඒ පණිවිඩය නායකයන්ට දිය යුතුයි.
අපේ අය එහෙන් මෙහෙට ඇදලා, ජංගම සේවා තියලා, ඇට බෙදලා මේ ප‍්‍රශ්නය විසඳන්න බැහැ. අප ඉදිරියේ තියෙනවා ලොකු අභියෝගයක්. නිවැරදි තැනට මේ රට තල්ලූ කරන්න ඕනෙ. මේක ආණ්ඩුවට හතුරු ප‍්‍රතිවිරෝධයක් නොවෙයි. ආණ්ඩුවට මිතුරු ප‍්‍රතිවිරෝධයක්, මේක සැබෑ මිතුරු ප‍්‍රතිවිරෝධයක්, විරුද්ධ පක්‍ෂයේ අය තාවකාලික සතුටක් ඇති කර ගනීවි. නමුත් ඒකට අපට කරන්න දෙයක් නැහැ. ඒ තාවකාලික සතුට ඇති වෙන්නේ අපේ වරදක් නිසා නොවෙයි. අපි ඇතුළේ ඉඳලා මේ වෙනස්කම් කර ගන්න කීවාට ඒවා නොකෙරෙන හින්දා, කාටත් නොඇසෙන්න කීවාට නොකෙරෙන හින්දා තමයි කාටත් ඇහෙන්න කියන්න වෙලා තියෙන්නේ. එහෙම කියනකොට සතුරන්ටත් ඇහෙනවා. ඔවුන්ටත් කාලකන්නි සන්තෝෂයක් ලැබෙනවා. නමුත් ඒ සන්තෝෂය දීර්ඝ කාලීනව තිබෙන්නේ ආණ්ඩුව අවශ්‍ය වෙනස්කම් සිදුකර නොගත්තොත් පමණයි.
ගමේ නිෂ්පාදනයට පණ පොවන ආර්ථිකයක් හදන තැනට මේ රට හරවන්න ඕනෙ. ඒකට වල කපන ආර්ථික ඝාතකයෝ ඉන්නවා නම් ඔවුන් එළවලා දාන්න ඕනෙ. බලතල, වගකීම් නිසි පරිදි බෙදා හදා ගන්නා පාලන සංස්කෘතියකට මේ රට හරවන්න ඕනෙ. 2005 ජනවරමට කර ගහපු අපට එතැනට මේ රට රැුගෙන යාමේ වගකීමක් තිබෙනවා. අපි එක්සත් ජනතා නිදහස් සන්ධානය පස්සේ ආපු ‘බෝඩිංකාරයෝ’ නොවෙයි. ජනතා විමුක්ති පෙරමුණෙන් එළියට වැටිලා ඒ වෙනකොට තිබුණු පක්‍ෂයකට රිංගපු අය නොවෙයි. අපි අලූත් පක්‍ෂයක් හදපු අය. ඕනෑම පක්‍ෂයකින් එළියට බැහැලා අලූත් පක්‍ෂයක් හදන්න ඕනෑම අයකුට අයිතියක් තියෙනවා. හැබැයි හිටපු පක්‍ෂයෙන් පරණ පක්‍ෂයකට යනවා නම් ඒක වැරදියි. අනෙක් පක්‍ෂ හොඳ නැති හින්දානේ ඒ යෝධයා ඒ පක්‍ෂය තුළ හිටියේ. කවුරු හරි ජවිපෙ හිටියා නම් ඉඳලා තියෙන්නේ ‘උනුත් එකයි – මුනුත් එකයි’ කියලානේ. ඒ මිනිහා ජවිපෙ අතහැරලා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයට හෝ එජාපයට යනවා නම් එතැන තියෙනවා පරස්පරයක්. නමුත් ජවිපෙන් එළියට බැහැලා කාට හරි උවමනා නම් අලූත් පක්‍ෂයක් හදන්න පුළුවන්, අපි කළේ ඒකයි. අලූත් පක්‍ෂයක් හදලා අපි ජවිපෙ හිටියා වගේම සන්ධානයේ ඉන්නවා. එදා ජවිපෙ සන්ධානය තුළ සිටියදී ඉටු කළ භූමිකාව ඉටු කරන්නේ නැහැ. නමුත් අපි සන්ධානයේ තුළ ඉඳගෙන අපට හැකි අන්දමට අපේ භූමිකාව ඉටු කරනවා. ඒසා විශාල මන්ත‍්‍රීවරු සංඛ්‍යාවක් නැතත් අපි රටේ යහපත වෙනුවෙන් අවශ්‍ය බලපෑම ආණ්ඩුවට සිදු කරනවා. ඒක අපේ වගකීමක්.
අවශ්‍ය අවදි කිරීම ආණ්ඩුව ඇතුළේ නොකළොත්, ‘බල්ලා නාවන තැනට ගෙන යනවා’ වගේ නිසි තැනට ආණ්ඩුව ඇදගෙන නොගියොත් ඵලක් නැහැ. බල්ලා නාවන්න ගෙන යන කෙනා අඩි දෙකක් ඉස්සරහට අදිනවා. බල්ලා ආපස්සට අඩි දෙකක් අදිනවා. මේ විදියට හරි ඇද ගෙන ගිහිල්ලා මේ වැඬේ කළ යුතුයි. අපට තියෙන්නේ ඒ අධිෂ්ඨානයයි.
අපේ මේ ආණ්ඩුව නිවැරදිව ස්ථානගත කිරීමේ උත්සාහයට විරුද්ධ පක්‍ෂයේ අය එක එක කතා කියනවා. නාටක, නාඩගම් කියලා, කියනවා. එදා ජවිපෙ ‘යූ ටර්න්’ ගහලා එතරම් විවේචන තිබුණු චන්ද්‍රිකා පාලනය සමග පරිවාස ආණ්ඩුවක් හැදුවා. ඒ ‘යූ ටර්න්’ එකට මමත් එකගයි. ජවිපෙ මහත්වරුනි, ‘පරිවාස වැඩපිළිවෙළ’ නාටකයක් නම් මේකත් නාටකයක් කියලා හිතා ගන්න. අපට ඒ පටු විවේචනවලින් වැඩක් නැහැ. අපට වැදගත් මේ රටට ආදරය කරන මිනිසුන්ගේ අදහස්. ගෞරවනීය මහා සංඝරත්නය මේ ආණ්ඩුව සමග සිටින බලවේගයක්. අපි ගෞරවනීය මහා සංඝරත්නයෙන් ඉල්ලන්නේ ආණ්ඩුවට වෙනස්වීම සඳහා අවශ්‍ය බලපෑම කරන ලෙසයි. ඒ වගේම ආණ්ඩුවට වෙනස්වීම සඳහා අවශ්‍ය බලපෑම ගම් මට්ටමේ සිටින ශ‍්‍රී ලංකා නිදහස් පාක්‍ෂිකයා දක්වාම රටට හිතැති සියලූ දෙනා විසින් සිදු කළ යුතුයි. අපි සියලූ දෙනා ඒ යුතුකම ඉටු කරමු. වගකීම අතට ගනිමු. 2005 බැහැයි කියපු ජනවරම, චන්ද්‍රිකා නෝනලා කකුලෙන් අදිද්දී හදපු, දිනන්න බැහැයි කියපු යුද්ධය, හමුදාවට අලූතෙන් 1,90,000ක් බඳවා ගනිමින් ජය ගැනීමට අවශ්‍ය මතවාදය හදපු අපට මේ අභියෝගය ජයගන්න තැනට මේ ආණ්ඩුව තල්ලූ කරන්න පුළුවන් කියන විශ්වාසය තියෙනවා. ඒ සඳහා අධිෂ්ඨානශීලීව පෙළ ගැසෙමු. ඒ සඳහා මොනරාගල දිසාවේ ඔබ සැමට ධෛර්යය, ශක්තිය, යෝධ බල යෝධ වීර්ය ලැබේවා…!’
මෙම සම්මන්ත‍්‍රණයේ මුලසුන ජාතික නිදහස් පෙරමුණේ මොනරාගල දිසත‍්‍රික් නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී පද්ම උදයශාන්ත ගුණසේකර මහතා විසින් දරනු ලැබීය.
මාධ්‍ය ඒකකය
ජාතික නිදහස් පෙරමුණ
ජාතික නිදහස් පෙරමුණ
No comments:
Post a Comment