Translate

Translate

Sunday, March 16, 2014

විපක්‍ෂයට කරන්න දෙයක්‌ අපි ඉතුරු කරලා නැහැ
ගාල්ල - මාතර දක්‍ෂිණ අධිවේගී මාර්ගය විවෘත කිරීමේ උළෙලේදී ජනාධිපති කියයි

අනුර බාලසූරිය සහ සමන් උපුල් පිනිදිය - අකුරැස්‌ස

යුද්ධය කළාට අපට රට සංවර්ධනය කරන්න බැහැ කියලා ඇතැමුන් චෝදනා කළා. නමුත් අද විපක්‍ෂයේ දේශපාලන න්‍යාය පත්‍රය ඇතුළත් කිරීමට තරම්වත් සංවර්ධන යෝජනා ක්‍රමයක්‌ නැහැ. සියලු සංවර්ධන යෝජනා ක්‍රම වත්මන් රජය ක්‍රියාත්මක කර තිබෙනවා යෑයි ජනපති මහින්ද රාජපක්‍ෂ මහතා පැවසීය.

විපක්‍ෂයේ දේශපාලන න්‍යාය පත්‍රයන්ට ඇතුළත් කිරීමට තරම් සංවර්ධන යෝජනා ක්‍රම දැන් නැති තරමට වත්මන් රජය රට තුළ සංවර්ධන යෝජනා ක්‍රම ක්‍රියාත්මක කර ඇතැයි ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පැවසීය.

දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ ගාල්ල පින්නදූව සිට ගොඩගම දක්‌වා වූ දෙවන අදියර ජනතා අයිතියට පත් කිරීමෙන් අනතුරුව ගොඩගම නිල්වලා පිවිසුම් පරිශ්‍රයේදී පෙරේදා (15 දා) පස්‌වරුවේ පැවති උත්සවය අමතා ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය. ජනපති මහින්ද රාජපක්‍ෂ මහතා එහිදී වැඩිදුරටත් මෙසේද සඳහන් කළේය.

මම ඉපදුණු මේ ගමට ඇවිල්ලා ඒ ගමට මේ අධිවේගී මාර්ගය සම්බන්ධ කරන්න පුළුවන් වීම ගැන අද මම සතුටු වෙනවා. අපි නිවාඩුවට ආවම පාලටුව, ගොඩගම නිතර එහාට මෙහාට ගියා නොගිය තැනක්‌ නෑ. ගොඩගම වෙද මහත්තයගෙනුත් බෙහෙත් ගත්තා.

ගාල්ලේ සිට මාතර දක්‌වා මේ අධිවේගී මාර්ගය දීර්ඝ කළ නිසා ශ්‍රී ලංකා ද්වීපය ආරම්භ වූ දවසේ සිට කොළඹත් මාතර දකුණත් අතර තිබූ දුරස්‌ථ බව අද අඩුවෙලා තියෙනවා. විනාඩි ගණනකින් ගමන් කරන්න පුළුවන් තත්ත්වයක්‌ ඇතිවෙලා.

ලෝකය මාර්ග ප්‍රවාහනයෙන් ලබාගෙන තිබෙන විශිෂ්ටම දියුණුවට ශ්‍රී ලංකාව ළංකරන්න අපට පුළුවන්කම ලැබී තිබෙනවා.

එදා මේ ප්‍රදේශවලින් කොළඹට මිනිස්‌සු ඇදී ගියා. රජයේ රැකියාවකට වේවා පාසල් යන්න වේවා කොළඹට ඇදිලා ගියා. මාරු කළොත් විතරක්‌ මේ ප්‍රදේශවලට ආවේ. එහෙම යුගයක්‌ තිබුණ මේ රටේ.

අපි දියුණු වෙන්න ඕන නම් කොළඹට යන්න ඕන මාතරින් එහාට යන්න එපා කියන මතයක්‌ තිබුණා. එහෙම මෙහෙ ඉඳලා ගිය අය තමයි දාස, නවලෝක මුදලාලි වැනි ව්‍යාපාරිකයෝ. අද මෙහි වේදිකා ගතවූ නාට්‍යයෙන් කියවුණා අනේ සුසානෝ මම කොළඹ යනකොට බල්ලොත් නොකන වැල වරකත් ගස්‌යට කියලා. රංචාගොඩ ළමය කිව්වා. කිවිඳියෝ එහෙම තමයි කොළඹට ගියේ. ඒ ගිය ගමන තමයි අද මේ රඟ දැක්‌වූවේ.

දැන් මේ දකුණේ ජනතාවට කොළඹට යන්න ඕන නැති විදියට අපි මේ දකුණ ගොඩනගා, ගොඩනඟමින් තියෙනවා කිව්වොත් එය නිවැරැදියි. මේ මාර්ගය වැටෙන කොට මේ පළාතේ ගාල්ල, මාතර දිස්‌ත්‍රික්‌කවල වටිනාකමත් වැඩිවෙනවා. දැනුත් වටිනාකම ඉහළ ගිහින් තියෙනවා.

පොදු රාජ්‍ය මණ්‌ඩල තරුණ සමුළුව පවත්වන්නේ කොළඹ නොවෙයි. අපි ඒක පවත්වන්නේ මේ දකුණේ. අද ජාත්‍යන්තර ක්‍රීඩා තරග පවත්වන්න තෝරාගෙන තියෙන්නේ දකුණ. අද ඔය නැව් එන්නෙ නැතෙයි කියන වරාය, කුරුල්ලෝ එලවන්නත් එක්‌ක පයිලට්‌ලා තුන් දෙනෙක්‌ ඉන්න ඕන කියන ගුවන් තොටුපළ ඒවා ඔක්‌කොම මෙහෙ හැදිලා. එදා මේවා දිහා ඒ විදියට විවේචන කරන අය බැලුවේ උමතු ඇසකින්. නමුත් එතනට ගිය අය දන්නවා කොච්චර නැව් එනවද, ගුවන් යානා එනවද කියලා. දැන් එහි වටිනාකම ලොව අවබෝධ කරගෙන තියෙනවා. දැන් දකුණ ගැන දන්නවා. ඔවුන්ගේ අවධානය දකුණට යොමුවෙලා තියෙනවා.

ගාල්ලේ දඩල්ලෙ ක්‍රීඩා පිටිය, උසාවි සංකීර්ණය, අධිවේගය යන මංතීරු හතරක මාර්ගය, ජල ව්‍යාපෘතිය, මොරගොඩ ව්‍යාපෘතිය, මාතර සියලු ප්‍රධාන මාර්ග හදල ඉවරයි. හක්‌මන මාතර මාර්ගය, ගාල්ල දෙණියාය, කොටපොළ මාතර පාර මේ මාර්ග සියල්ල සංවර්ධනය වෙලා. ගාල්ලේ පාසල් නවයක විද්‍යාගාර විවෘත කළා. කඹුරුගමුව නව රෝහල ගොඩනැඟිල්ල ඉදිවෙනවා.

අතීතයේ සිට මාතර ජනතාව අධ්‍යාපනයට විශාල උනන්දුවක්‌ දක්‌වනවා. ඒ නිසා මේ ප්‍රදේශයේ පාසල් සංවර්ධනය කර නව පාසල් ඇතිකර තිබෙනවා. අපි මෙතනින් නතර කරන්නෙ නැහැ. අද බෙලිඅත්ත මාතර දුම්රිය මාර්ගය ඉදිවෙනව. තව ටික කලකින් කතරගම දක්‌වා දුම්රියෙන් යන්න පුළුවන්.

ඓතිහාසිකව මාතරින් එහාට සංවර්ධනයක්‌ වුණේ නෑ. ඈත අතීතයේදී මහ රුහුණට අත ගැසුවේ නැහැ. නමුත් අද එහි මහා හෝටල්, වෙළෙඳ සංකීර්ණ හැදෙනවා. මේ ප්‍රදේශයේ වඩාත් දියුණු වෙනවා. ඊළඟ වසරේ මේ පළාතේ දැයට කිරුළ තිබ්බම ඒ තුළින් රාජ්‍ය සේවය හැම ගෙදරකම දොරකඩට ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා. ඔබේ ප්‍රශ්න විසඳන්න අපි සූදානම්.

මේ පළාත දියුණුවෙන කොට තමුන්නාන්සේලාට ආඩම්බර වෙන්න පුළුවන්. ඒකට විශේෂ හේතු තියෙනවා. එක යුගයක ගමේ අපි කොළඹ ගියහම එහේ අය අපට කියනවා බෙන්තර ගඟෙන් එහාට ඇස්‌ ඇරපු බළල් පැටියෙක්‌වත් ගේන්න එපා කියලා. මටත් විහිළුවට වගේ කියලා තියෙනවා. කොළඹ අය අපි කොන් කරන ගතියක්‌ තිබුණා. ඒ නිසානේ ඔහොම දේවල් කිව්වේ. දැන් අපි බෙන්තර ගඟෙන් මෙහා ඉඳලා එහා පැත්තට ගිහිල්ලා විතරක්‌ නොවෙයි, එහේ ඉඳලා අධිවේගී මාර්ගවලින් එන්න පුළුවන් තත්ත්වයට මේ රට ගොඩනඟලා තියෙනවා. මේ පළාතේ ජනතාවට දැන් ආඩම්බර වෙන්න පුළුවන්.

එදා මේ අය කිව්වා යුද්දෙ කළාට රට සංවර්ධනය කරන්න බෑ කියලා. මේ රටේ දේශපාලන පක්‍ෂවල දේශපාලන න්‍යාය පත්‍රවල දාන්න තරම් සංවර්ධන යෝජනා ක්‍රම දැන් මේ රටේ ඉතුරු වෙලා නෑ. මොකද පාරවල් පාලම්, පාසල් හදන්න නෑ. වරායන් හදන්න නෑ. අද ඔවුන්ට කිසිම සංවර්ධන යෝජනා ක්‍රමයක්‌ කරන්න ඉතුරු වෙලා නෑ. ඒ තත්ත්වයට අපි රට ගොඩනඟලා තියෙනවා. එහෙම කියපු අය අද බෝක්‌කු පාලම් හදල වැඩක්‌ තියෙනවද කියලා අහන්න පටන් අරගෙන. එහෙම කියලා අපේ සංවර්ධනය බාල්දු කරන්න සූදානම් වෙනවා.

ගෝල්ෙµaස්‌ පිට්‌ටනියේ මුහුද ගොඩකරා අක්‌කර සිය ගණනක්‌ රටට ලබාදෙන්න හදනවිට මේ අය ඊර්ෂ්‍යාවෙන්, ක්‍රෝධයෙන්, වෛරයෙන් බලනවා. ඔවුන්ට මේව කරන්න කියා හිතන්නවත් පුළුවන්කමක්‌ තියෙන්න නැතිව ඇති. දැන් ඒකට වෛර කරනවා.

අපේ මහා කොළඹට අලුතින් එක්‌වී අලුත් නගරයක්‌ හැදෙනවා විතරක්‌ නොවෙයි. ලංකා සිතියමත් වෙනස්‌ වෙනවා. ඒකත් වැඩක්‌ නෑ කියන තත්ත්වයට සමහරු පත්වෙලා. මොකද පොරොන්දුවලින් මේ අය බංකොලොත් වෙලා සිටින නිසා.

මේ රටේ ජනතාවට මාතෘ භූමියට ආදරය කරන්න පුළුවන් විදියට ආඩම්බර වෙන්න පුළුවන් විදියට, ඔවුන්ගේ හදවත් තුළ දේශප්‍රේමය වපුරලා තියෙනවා.

රටට මාතෘ භූමියට ආදරය කරන්න කියන එක වරදක්‌ නොවෙයි. එය සියලු ජාතීන් කළයුතු කාර්යයක්‌. අපි ඉපදුනා නම්, හැදුනේ, වැඩුණේ අපි මිය යන්නේ මේ පොළොවේ නම් මිහිදන් කරන්නේ මේ පොළොවේ නම් අපි මාතෘ භූමියට ආදරය කළ යුතුයි. එය ඔබෙත් මගෙත් යුතුකමයි.

රට ගොඩනඟන්න අපට ඔබේ සහයෝගය අවශ්‍යයි. මේවා කඩාකප්පල් කරන්න අතරමග නතර කරන්න ඉඩ දෙන්න පුළුවන්කමක්‌ නෑ. මේ රට ගොඩනැගීම සඳහා මේ ගමන්මග ඉදිරියට ගෙන යැමට තමුන්නාන්සේලා අපිත් එක්‌ක එකට ඉඳියි කියන විශ්වාසය අපට තියෙනවා. ඔබට මේ රට වෙනුවෙන් යුක්‌තිය දිනවන්න ශක්‌තිය ධෛර්ය ඇතිවේවායි ප්‍රාර්ථනා කරනවා.

යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන ඇමැති ඩලස්‌ අලහප්පෙරුම මහතා - ඓතිහාසික රෝහණ දේශයට ඉතා වැදගත් දිනයක්‌ ලෙස අද ඉතිහාසයට එක්‌ වෙනවා. මාතර දක්‍ෂිණ දේශය විදියට මේ දිනය මේ සිදුවීම අපේ සමස්‌ත අනාගතය වෙනස්‌ කරන සිදුවීමක්‌ බව වේදිකාවේ දිගින් දිගටම කියවුණා. ලෝකයේ දිදුලන කලාපයන් තුළට දක්‍ෂිණ දේශය වැඩම කරවන ස්‌වර්ණ තීර්තය ලෙසිනුයි මේ අධිවේගී මාර්ගය කතාබහට ලක්‌වුණේ.

ශ්‍රී ලංකාවේ ශබ්ද කෝෂයට නූතන මහා මාර්ගයක්‌ ඉතිහාසයේ පළමුවෙන්ම එකතුවන්නේ 1820 හෝර්ටන් ආණ්‌ඩුකාරවරයාගේ කාලයේදී ඒ මීට අවුරුදු 194 කට පෙර. එම මාර්ගය ඒ 1 කොළඹ මහනුවර පාරයි.

ඉන්පසු අප රටේ පළමු නූතන මහා මාර්ගය ලෙස අවුරුදු 194 කට පසු දක්‍ෂිණ අධිවේගී මාර්ගය සටහන් වන්නේ.

ලෝකයේ පළමු අධිවේගී මාර්ගය 1806 දී ආරම්භ වන්නේ නිව්යෝර්ක්‌ නගරයේ. ඒ ලිමිටඩ් ඇක්‌සස්‌ හයිවේ. මේ තරම් දිගු කාලයක්‌ ශත වර්ෂ ගණනක්‌ම අධික කාලයක්‌ මේ වෙනුවෙන් කැප කරන්න සිදුවුණේ ඇයි.

අපිට පසුව නිදහස ලැබූ සිංගප්පූරුව, මැලේසියාව, අසල්වැසි ඉන්දියාව යන මේ සෑම රටක්‌ම තමන්ගේ ශබ්ද කෝෂයට අධිවේගී වචනය එක්‌කර ගන්නේ අවුරුදු විස්‌සකට නැතහොත් අවුරුදු 30 කට පසු. ශ්‍රී ලංකා ද්වීපයේ නමුත් අපිට ශ්‍රී ලංකා සිංහල, දමිළ ශබ්ද කෝෂයට අධිවේගී මාර්ග යන වචනය එකතු කරන්න අවුරුදු 63 ක්‌ බලන් ඉන්න සිදුවුණා. ජනාධිපතිතුමා නොසිටින්න තවත් වසර 100 ක්‌ 150 ක්‌ අපිට බලන් ඉන්න සිදුවේද දන්නේ නැහැ.

පාරක්‌ කියන්නේ යාන වාහන යන එකක්‌ පමණක්‌ නොවේ. එය අලුත් සංස්‌කෘතියක මිනිසුන්ගේ චින්තනය වෙනස්‌ කරන ක්‍රියාවලියක්‌.

එදා අපේ රටේ පාරක දුරක්‌ ඇහුවාම නගරයකින් නගරයට යන්න දුර ඇසුවම සැතපුම්වලින් කිලෝ මීටර් පැය ගණන්වලින් කිව්වේ. නමුත් දැන් අපි දියුණු යුරෝපීය රටවල වගේ දුර කියන්නේ විනාඩි වලින්. තප්පරවලින් මාතර ඉඳල ආසන්න නගරයට විනාඩි 25 කින් පමණ යන්න පුළුවන් කියන විදියට අපි පුරුදු වෙලා.

මොකක්‌ද මේ වෙනස. ජනාධිපතිතුමනි, ඔබතුමා ජාතියට, ශ්‍රී ලාංකික දේශයට කැන්දාගෙන ආ වෙනසයි මේ. අප රටේ පළමු දුම්රිය මග ආරම්භ වුණේ 1862 දී අපි කතරගම වන්දනාවේ දුම්රියෙන් යන්න ශත වර්ෂයක්‌ පුරා දැක්‌ක හීනය 2015 අග 2016 මුල ජනාධිපතිතුමාට පිං සිදුවෙන්න සැබෑ වෙනවා. ශත වර්ෂයක ඒ හීනය ජනාධිපතිතුමා සැබෑකර දෙනවා.

එදා දහඅට වංගුව හරහා මහියංගනය යන ගමන ගැන අපේ රටේ තිබූ විශ්වාසය වුණේ අන්තිම කැමති පත්‍රය ලියල යන්න ඕන කියලයි. ජනාධිපතිතුමා ඒ ඉතිහාසය වෙනස්‌ කළා.

ජනාධිපතිතුමා උපන්නේ මේ නිල්වලා නිම්නයේ මේ ස්‌ථානයට පෙනෙනතෙක්‌ මානයේ මීට කිලෝ මීටරයක්‌ එහායින්. මේක දෛවෝපගත සිදුවීමක්‌. එතුමා උපන්න ගම් පියස ඉලක්‌ක කරගෙන මෙය දායාද කරන්නේ මේක රෝහණ දේශයට විතරක්‌ නොව දක්‍ෂිණ දේශයට විතරක්‌ නොව සමස්‌ත ශ්‍රී ලාංකික ජාතියට සමස්‌ත ශ්‍රී ලාංකීය දේශයට ලෝක සිතියමේ දිදුලන රාජ්‍යයක්‌ කිරීමට ජනාධිපතිතුමා දෙන නායකත්වය මග පෙන්වීම පිළිබඳ මේ නිල්වලා නිම්නයේ ජීවත්වන සියලු පුරවැසියන්ගේ දරුවන්ගේ සෙනෙහස ආදරය ඔබ නමට නිර්ලෝභීව හිමිවෙනවා.

ශ්‍රී ලංකාවේ චීන තානාපති හූ මන් හව් මහතා - අද ඉතා වැදගත් දවසක්‌. මේ ඓතිහාසික සිද්ධිය සැමරීමට ඔබ සැම එක්‌වීම ගැන අපි සතුටු වෙනවා. මම මේ අවස්‌ථාව චීන රජය වෙනුවෙන් ශ්‍රී ලංකා රජය, ජනතාවට සුබ පැතුම් පුද කරන්න අවස්‌ථාවක්‌ කරගන්නවා.

මේ අධිවේගී මාර්ගය මේ ප්‍රදේශයේ සංවර්ධනයට ඉවහල් වෙනවා. එමෙන්ම මේ ප්‍රදේශයේ ජනතාවට සෙත සැලසෙනවා. මම ලංකාවේ තානාපති ධුරයට ඇවිත් අවුරුදු දෙකයි. ඒ කාලය තුළ මම දැක්‌කා ශ්‍රී ලංකාව දිනෙන් දින දියුණුව කරා යන රටක්‌ කියලා. කොළඹ අග නගරය පමණක්‌ නොව රටේම විශාල සංවර්ධනයක්‌ සිදුවෙන බව මට පෙනෙනවා. බස්‌නාහිර, උතුර, නැගෙනහිර, දකුණ යන මේ සියලු පළාත් දියුණුවෙමින් තියෙනවා.

ශ්‍රී ලංකාව ලෝකයේ ඉතා ප්‍රසිද්ධියට, අවධානයට ලක්‌වූ රටක්‌ බවට පත්වෙලා. මගේ ඒ රටවල වැසියෝ නිතරම ලංකාව පිළිබඳ අලුත් තොරතුරු විමසනවා. ශ්‍රී ලංකාව වැරදි මාවතක ගමන් කරන රටක්‌ ලෙස නිගමනයකට බැහැලා. මම ඔවුන්ට පැහැදිලි කරනවා. ඔබ සිටින නිගමනය වැරදියි. ඔබ සිතනවාට වඩා හාත්පසින්ම වෙනස්‌. ශ්‍රී ලංකාව ඉතා නිවැරැදි මාර්ගයක ගමන් කරමින් වේගවත් සංවර්ධනයක්‌ කරා යන රටක්‌ ලෙස මම ඒ මගේ මිත්‍රයින්ට කරුණු පැහැදිළි කර දෙනවා. මේ රටේ තවත් ගොඩක්‌ දේවල් කරන්න තියෙන බව ඇත්තයි.

ත්‍රස්‌තවාදය තුර්න් කළාට පසු වසර හතරක්‌ වැනි සුළු කාලයක්‌ තුළ ශ්‍රී ලංකාව ආසියාවේ පමණක්‌ නොව මුළු ලෝකයේම ප්‍රසිද්ධ රටක්‌ වුණා. මේ අධිවේගී මාර්ගය ඔස්‌සේ ශ්‍රී ලංකා ආර්ථිකයේ වේගවත් සංවර්ධනයක්‌ වෙයි කියා අප විශ්වාස කරනවා.

අගමැති දි. මු. ජයරත්න, ඇමැතිවරුන් වන මහින්ද යාපා අබේවර්ධන, මහින්ද අමරවීර, එස්‌. එම්. චන්ද්‍රසේන, මහින්දානන්ද අළුත්ගමගේ, මහා මාර්ග, වරාය, නාවික ව්‍යාපෘති ඇමැති නිර්මල කොතලාවල, එම්. කේ. වී. එස්‌. ගුණවර්ධන මහත්වරු ඇතුළු මැති ඇමැතිවරුද ජනාධිපති කාර්ය මණ්‌ඩල ප්‍රධානි ගාමිණී සේදර සෙනරත් මහතා ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරු පිරිසක්‌ද මෙම උත්සවයට එක්‌වූහ.

ඡායාරූප - සුදත් සිල්වා, කනිෂ්ක හේවගේ

No comments:

Post a Comment