Translate

Translate

Sunday, June 15, 2014

පළාත් සභා ඡන්දෙ අයවැය කියන්න දැන් රටේ ‘මූඞ් එක’ හොඳ මදි

පළාත් සභා ඡන්දෙ අයවැය කියන්න දැන් රටේ ‘මූඞ් එක’ හොඳ මදි

පළාත් සභා ඡන්දෙ අයවැය කියන්න දැන් රටේ ‘මූඞ් එක’ හොඳ මදිපසුගිය පළාත් සභා මැතිවරණය සඳහා තමන්ට වියදම් වූ ගණන් හිලව් ටික කියන්න දැන් රටේ තියන Mood එක හරි තැනි බව බස්නාහිර පළාත් අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.
‘මම සේරම නූලට ගණන් හිලව් නම් හදලා ඉවරයි. ඒත් මේ දවස්වල මේ ගැන කතා කරන්න සුදුසු වාතාවරණයක් රටේ නැහැ. මොකද හැමෝම කතා කරන්නේ ජනාධිපතිවරණයයි.පොදු අපේක්ෂකයා ගැන. මට අවශ්‍ය විදේශ රටවල වගේ ඡුන්දයෙන් පසුව අය-වැය සහ මුදල් දෙන්නේ කවුද කියලා රටට කියන තැනට අනෙක් අයවත් තල්ලූ කරන්න. මේ මොහොතේ රටේ තිබෙන වාතාවරණය එක්ක මම කරන්න යන අර්ථවත් වැඬේට අවශ්‍ය අවධානය ලැබෙන්නේ නැහැ. මගේ අරමුණ මේ සම්බන්ධයෙන් නීතියක් හැදෙන තැනට රට තල්ලූ කිරීම. ඒත් ඒකට දැන් රටේ තියන Mood එක හරි නෑ’ යයිද ඒ මහතා අදහස් පල කලේය.

සත්තු වත්තේ කුරු හිපපොටේමස් හා සිංහයෙක් මියයයි

සත්තු වත්තේ කුරු හිපපොටේමස් හා සිංහයෙක් මියයයි

සත්තු වත්තේ කුරු හිපපොටේමස් හා සිංහයෙක් මියයයිදෙහිවල සත්තු වත්තේ සිටි සංරක්ෂිත සත්වයෙකු ලෙස සැලකෙන කුරු හිපපොටේමස් සත්වයෙකු සහ  සිංහයෙකු මියගොස්  ඇත.
අවුරුදු 6 පමණ තරුණ වයසේ පසුවූ කුරු හිපෝ සත්වයා දින දෙකක  තුනක සිට අසනීපයෙන් පසුව සිටියදී  පින්නවල අලි අනාථගාරයේ සිට පැමිණි වෛද්‍යවරයෙකු සහ සත්වෝද්‍යානයේ   අඩු  පළපුරුද්දක් ඇති වෛද්‍යවරයෙකු ප‍්‍රතිකාර කළද රෝගය හදුනා ගෙන ප‍්‍රතිකාර නොකිරීම නිසා සත්වයා මියගොස් ඇති බව දැනගන්නට ඇත.
සත්වෝද්‍යානයේ  සිටි එකම මුහුදු සිංහයාද අසනීප වී ඇති බැවින් මුහුදු සිංහයාගේ දර්ශනය අත්හටුවා ඇත.

බොදු බල සේනා රැස්වීමෙන් පසු ධර්ගා නගරය උණුසුම්.. නැවත දන්වන තුරු පොලිස් ඇඳිරි නීතිය

බොදු බල සේනා රැස්වීමෙන් පසු ධර්ගා නගරය උණුසුම්.. නැවත දන්වන තුරු පොලිස් ඇඳිරි නීතිය

බොදු බල සේනා රැස්වීමෙන් පසු ධර්ගා නගරය උණුසුම්.. නැවත දන්වන තුරු පොලිස් ඇඳිරි නීතියබොදු බල සේනා සංවිධානය විසින් අලූත්ගම ධර්ගා නගරයේදී පැවැත්වු රැස්වීමෙන් පසුව නොසන්සුන්කාරී තත්වයක් පාලනය කිරීම සඳහා පොලීසිය කඳුළු ගෑස් සහ ජල ප‍්‍රහාර එල්ල කර ඇත.
ඉන් පසුව නැවත දන්වන තුරු දර්ගා නගරයට පොලිස් ඇඳිරි නීතීය පනවා ඇත.

කැනඩාවේ ඉල්ලීමට පයින් ගැසූ හෙළ ඉසිවරිය ඩෙංගු රෝගීන්ට නොමිලේ බෙහෙත් කරයි.. බස් ගාස්තුත් දෙයි…

කැනඩාවේ ඉල්ලීමට පයින් ගැසූ හෙළ ඉසිවරිය ඩෙංගු රෝගීන්ට නොමිලේ බෙහෙත් කරයි.. බස් ගාස්තුත් දෙයි…

කැනඩාවේ ඉල්ලීමට පයින් ගැසූ හෙළ ඉසිවරිය ඩෙංගු රෝගීන්ට නොමිලේ බෙහෙත් කරයි.. බස් ගාස්තුත් දෙයි…අපි කුඩා කල ‘හීන් සැරය’ කියෙව්වෙමු. අලි හොඬෙන් රිංගගත් චූටි කටුස්‌සා, සද්දන්ත අලියාට දස වදයම දුන්නේය. අද අප අත්විඳින හීන් සැරයක්‌ වෙයි. ඒ ඩෙංගු මදුරුවාය. ලෝකයම අතැඹුලක්‌ කරගන්නට තරම් දක්‍ෂ වූ මනුෂ්‍යයාට මේ පුංචි මදුරුවා කරන ලතැවුල සුළු පටු නැත. ඩෙංගු මදුරුවා යනු ‘හීන් සැරයක්‌’ නොව ‘මාරක සැරයකි’. අද ශ්‍රී ලංකාවේ පාසල් වල නිවාඩු පනවන්නටද, අධිකරණවලට නඩු ගෙනෙන්නටද, නඩු නැතිවම මරණ දණ්‌ඩනය ක්‍රියාත්මක කිරීමටද ඩෙංගු මදුරුවාට හැකිය. මොන්ටිසෝරියට යන ළදරුවාද, පරිපාලන නිලධාරියාද, ඇමැතිද, අගමැතිද කියා කිසිදු භේදයකින් තොරව මේ සියලුදෙනා මත සිය ආඥාව පැතිරීමට ‘ඩෙංගු’ට හැකිව තිබේ. ඩෙංගු මර්දනයට රටේ පාලනය ගත් උත්සහයක්‌ වේ නම් ඒ සියල්ල පරාජය කරමින් දැන් ඩෙංගු යළිත් හිස ඔසවා ඇත. සමස්‌ත රටම ඩෙංගුට හිස නැමිය යුතු තත්ත්වයක්‌ උදාවී ඇත. එහෙත් ඩෙංගු මදුරුවාට පාලනය කළ නොහැකි එකම එක මනුෂ්‍ය දුවක්‌ මේ සිරිලකෙහි සිටින්නීය. ඩෙංගු විසෙන් මරණය පෙනෙන මිනිසුන් සිය ගණනකගේ ජීවිත බේරාදුන්, අම්බලන්ගොඩ වෙසෙන, තරංගා කුමාරි වික්‍රමසූරිය නම් මේ යොවුන් වෛද්‍යවරිය දිව්‍ය ඔසු තනන මනුෂ්‍ය දියණියකි. 
මේ දිනවල නැවතත් දිගින් දිගටම ඩෙංගු මරණ වාර්තා වන්නේය. සිය ගණනින් ඩෙංගු රෝගීන් වාර්තාවන්නේය. එය ජාතික ව්‍යසනයක්‌ බවට පත්ව ඇත්තේය. එහෙත් ඇගෙන් ප්‍රතිකාර ගත් කිසිවෙකු ඩෙංගු මාරයට ගොදුරු වූ බවක්‌ අපි අසා නැත්තෙමු. ඒ ප්‍රතිකාරය අත්දුටුය. ප්‍රත්‍යක්‍ෂය. නමුත් මොකක්‌ හෝ කරුමයක්‌ හේතුවෙන් මේ සා ජාතික ව්‍යසනයකදී ඒ සා වටින ඇගේ ප්‍රතිකාරය ජාතික මට්‌ටමෙන් යොදාගැනීමට අප තවමත් අපොහොසත්ය. ඇගේ බෙහෙත බටහිර වෛද්‍ය විද්‍යාව මත රැඳුණු රජයේ රෝහල් පද්ධතියට ‘වහ කදුරුය’. ඩෙංගු රක්‌තපාතයට ගොදුරුව ශරීරය අභ්‍යන්තරයට රුධිරය කාන්දුවද්දී ජීවිතය යදින රෝගියාට ජීවිතය ලබාදෙනු වෙනුවට බටහිර වෛද්‍ය විද්‍යාවෙන් අන්ධ වූ සමහරක්‌ වෙදැදුරෝ සම්බාධක පනවති. මේ ඉසිවර වෙදදුවගේ බෙහෙත ‘අරහං’ ඔවුහු එය ලබාගතහොත් තමන් රෝගියාට වගකියන්නේ නැතැයි තර්ජනය කරති. සැබැවින්ම එය මරණ තර්ජනයකි. අවසානයේ අසරණ රෝගීන් මරුට බිලිවෙයි. එහෙත් එහිදී ප්‍රතිකාර වලකමින් ‘මරු කියවූ’ පොල්පොට්‌ දොස්‌තරලා බකන් නිලා සිටිති. උන් මාරයාට කත් අදිති. ජීවිත බිලිදෙති. බක පණ්‌ඩිත කතා කියමින් ප්‍රතිකාර වැලකූ මේ පොල්පොට්‌ දොස්‌තරලා වගේ වගක්‌ නැතිව මාරයාගේ ඊළඟ බිල්ලට රෝගියෙකු සූදානම් කරති. 
මේ සියල්ල මෙසේ සිදුවද්දී ආණ්‌ඩුව ‘වෙන දෙයක්‌ වෙන්නට දී’ කිසිවක්‌ නොදුටු අයුරින් ඔහේ සිටියි. මේ කුමන ‘මළ විකාරයක්‌ ‘දැයි අපටත් සිතාගත නොහැකිය. දිනෙන් දිනම ඩෙංගු රෝගයට ගොදුරුවන ජාතියේ මළගම ඉදිරියේ ආණ්‌ඩුවත් ගත යුතු පියවර අමතක කොට (මළ) විකාර කරමින් සිටින්නේ ඇයිදැයි ඇයවත් දන්නවා ඇතිද? 
අපි වෛද්‍ය තරංගා කුමාරිව ඇමතීමු. ඇගේ ජංගම දුරකථනය ක්‍රියාත්මකය. එහෙත් පිළිතුරු රහිතය. දිගින් දිගටම එසේය. බැරිම තැන කෙටි පණිඩුයක්‌ තැබීමු. පසුදින ඇය අප ඇමතුවාය. ‘අනේ මම හරියටම හවස 6 ට ගන්නද?’ වෙහෙසකර කටහඬින් පණිවුඩයක්‌ ලැබිණි. කියූ වේලාවට ඇමතුමක්‌ නොලද තැන අපි නැවතත් ඇය ඇමතීමූ. ‘අනේ අමතක වුණා නෙමෙයි. කථාකරගන්න ඉස්‌පාසුවක්‌ නැහැ. තරහ නැතිනම් මට හතහමාර වෙනකම් කල් දෙනවද?’ දැන් ඇගේ හඬ තවත් මළානිකය. අවසානයේ වෛද්‍යවරියට ඉස්‌පාසුවක්‌ ලැබෙන විට රෑ 8 ත් පසුවී තිබුණි. ඇගේ කටහඬ කෙඳිරියක්‌ බඳුය.
‘හොඳටම මහන්සි පාටයි…..’ 
අපි කථාවට පිවිසුනෙමු.
‘ඒ ගැන මොනවා අහනවද. හුඟක්‌ දවස්‌වල උදේ 5.30 ට පටන් ගත්තහම රෑ 10 වෙනකනුත් බෙහෙත් දෙනවා. ඒ කරලා ඇවිල්ලා නිදියගන්නවත් නෑ. දුර පළාත්වල ඉඳලා බෙහෙත් හොයාගෙන සමහරු රෑ 12 ටත් එනවා. ලෙඩෙක්‌ මැරෙන්න වැටිලා ඉන්නවා කියල මං ළඟට ඇවිත් කිව්වහම මම කොහොමද බලාගෙන ඉන්නේ. ඉතින් රැයක්‌ දවාලක්‌ නැහැ. නිදහසක්‌ නෑ. සාමාන්‍ය ජීවිතයක්‌ නෑ. සමහරක්‌ වෙලාවට ජීවිතයම එපා වෙනවා. ඒත් ඉතින් කොච්චර වෙහෙස වුණත් ‘මගේ දරුවා බේරුණා’ කියලා අම්මා කෙනෙක්‌ ඇවිත් කිව්වහම මට ආයෙත් පණ එනවා’ 
ඇගේ ස්‌වරයේ අතිශෝක්‌තියක්‌ නම් නැත්තේය. ඇත්තේ ඇගේ යථාර්ථයම පමණි.
‘ඇයි ඔබතුමිය ඔය විදිහට වෙහෙසෙන්නේ? මොකද මේ බෙහෙත ලංකාවේ ඕනෑම තැනකින් ගන්න පුළුවන් විදිහට බෙදාහරින්නේ නැත්තේ? එහෙම කළා නම් ඔබතුමියට මෙතෙක්‌ කරගෙන ආපු සර්වාංග වෙදකම සාමාන්‍ය විදිහට කරගෙන යන්න පුළුවන්නේ?’

මේ වන විට ඇයට සර්වාංග වෛද්‍යවරියකගේ කාර්යයට කල් වේලා නැති තරමටම ඩෙංගු වෙනුවෙන් වෙහෙසෙන්නට සිදුව තිබේ.
‘මට දැන් මේ බෙහෙතට ආයුර්වේද වෛද්‍ය සභාවේ අනුමැතිය ලැබිලා තිබෙනවා. පේටන්ට්‌ එකත් ලැබිලා තිබෙනවා. ඇත්තටම මේක ලංකාවෙ µdමසි වලින් බෙදන්න ක්‍රමයක්‌ හදන්න පුළුවන්. ඒත් එහෙම නෙමෙයි. සල්ලි නැති දුප්පත් මනුස්‌සයෙක්‌ට ලංකාවෙ ඉස්‌පිරිතාලයකින් මේ බෙහෙත නොමිලේ ගන්න පුළුවන් තැනට එන්න ඕනා. මම මේ බෙහෙත µdමසිවලට දැම්මොත්, කවදාවත් මේක ඉස්‌පිරිතාලෙකින් ගන්න තියෙන එක වැලකිලා මේක හැමදාම මුදලට විකිණෙන බෙහෙතක්‌ වේවි. මම ඒකට කැමති නැහැ. ඒකයි මම මේ බලාගෙන ඉන්නේ’ 
කිසිවිටෙකත් මුදලට යට නොවූ, විටෙක ප්‍රතිකාර බලාගෙන එන රෝගියාට ගමන් වියදම පවා දෙන මේ ‘පිංවතිය’ ඒ දිනය එනතුරු බලා සිටියි.
එහෙත් කොපමණ කලක්‌ එසේ බලා සිටින්නද? මේ බෙහෙත රජයේ රෝහලක සාමාන්‍ය බෙහෙතක්‌ නොවෙන්නේ මන්ද? 
‘ඒ වෙනුවෙන් ‘සායනික පරීක්‍ෂණය’ කියලා දෙයක්‌ පළමුවෙන්ම කරන්න ඕනේ. ඒ කියන්නේ රෝහලක ඉන්න ලෙඩ්ඩු 60 ක්‌ අරගෙන ඒ අයගෙන් භාගයකට (30 කට) බටහිර ඖෂධ දීලා, අනෙක්‌ 30 ට අපි හොයාගත්තු බෙහෙත දෙන්න ඕනා. ඊට පස්‌සෙ ඒ අය සුවවන ස්‌වභාවය සටහන් කරගන්න ඕනේ. අපේ බෙහෙතේ ප්‍රතිඵල වැඩියි නම් ඒ ගැන බටහිර වෛද්‍ය සභාවට වාර්තා සහිතව දන්වන්න ඕනේ’
මේ කියන සායනික පරීක්‍ෂණය කිසිවෙකු ඇයට ලබාදෙන්නේ නැත. සෞඛ්‍ය ඇමතිතුමාගේ පෞද්ගලික ලේකම්වරියක්‌ද මේ බෙහෙතේ ප්‍රතිඵල ලබා ඇති සෞඛ්‍ය ඇමතිතුමාද මේ බෙහෙත ගැන ‘නෑසූ කන්ව’ සිටියි.. මේ ගැන යෝජනාවක්‌ ලිතව ගොනුකර, ඇය ජනපතිතුමාටම දී මාසයක්‌ පමණ කල් ගතව තිබේ. නමුත් ප්‍රතිචාර නැත.
‘ඇයි මෙහෙම වෙන්නේ. බටහිර වෛද්‍යවරුන්ට මේ බෙහෙත ‘වහ කදුරු’ වගේ නේද?’ 
අපි සෘජුවම ඇගෙන් ඇසීමු.
‘හැම කෙනෙක්‌ටම එහෙම නෙමෙයි. මං ළඟට රෝගීන්ව එවන බටහිර වෛද්‍යවරුත් ඉන්නවා. ඒත් සමහරු එහෙම නෙමෙයි. පහුගිය දවසක අවුරුදු දෙකහමාරක දරුවෙක්‌ට මේ බෙහෙත අරගෙන ගියා. ඒත් දොස්‌තර මහත්තුරු බෙහෙත දෙන්න දීලා නැහැ. එහෙම කළොත් ඒ අය වගකියන්නේ නෑ කීවලු. අන්තිමේදි දරුවා නැතිවුණා. එතකොට ඒ මරණයට වගකියන්නේ කව්ද? අනික මරණයකට වගකියලා ඇති වැඩේ මොකක්‌ද?’
හිපොක්‍රටීස්‌ගේ වෛද්‍ය උපාධිය ලැබ, සාතන් ඉදිරියේ දිව්රුම් දුන් එහෙව් වෛද්‍යවරුන්ට මේ බෙහෙත නොරිස්‌සීම අරුමයක්‌ නොවේ. එහෙත් මේ ඔසුවේ අගය දත්තෝ ජීවිතය රැකගනිති.
‘ඇත්තටම දැනට ඔබතුමියගේ බෙහෙතෙන් ජීවිත කීයක්‌ විතර බේරලා තියෙනවද?’
ඇය දුන්නේ සෘජු පිළිතුරකි.
‘බෙහෙත පාවිච්චි කරපු එක්‌කෙනෙක්‌වත් මැරුණේ නැහැ කියලා හොඳටම විශ්වාසයි’
එය මාරයාට කළ අභියෝගයක්‌ බඳුය.
‘සමහරු එනවා ප්ලේට්‌ලට්‌ 3000 දක්‌වා බැහැලා. ළඟදි දවසක රත්නපුරේ ප්‍රසිද්ධ ඉස්‌කෝලෙක විදුහල්පතිවරයෙක්‌ ඒ තත්ත්වෙන් ආවා. ඒත් මේ හැමකෙනෙක්‌ම බේරුණා’
මේ අතරවාරයේ අප කථාවට බාධාවක්‌ වන්නේය.
‘අනේ මගෙන් බෙහෙත් ගත්තු කෙනෙක්‌ කෝල් එකක්‌ දෙනවා. විනාඩි කීපයක්‌ දෙනවාද?’
අපේ දුරකථන ඇමතුම අතරින් ලද එම ඇමතුම පත්තරයකට කථා කරනවාට වඩා ඇයට වැදගත් විය. ඇය රෝගියකුට මොන තරම් ප්‍රමුඛත්වයක්‌ දෙනවාද යන්න අපට දැන් තහවුරුය. ඇය නැවත විනාඩි කිහිපයකින් නැවතත් අපේ දුරකථනයට සම්බන්ධ වූවාය.
‘මනමාලියෙක්‌ කථා කළේ. එයාගෙ වෙඩින් එක ළඟටම ඇවිත් එයාට ඩෙංගු හැදුණා. බෙහෙත් වලට සුවවෙලා එයා වෙඩින් එකත් අරගෙන’
ඒ ඉසිවරියගේ තවත් ආශ්චර්යකට ලද ප්‍රතිචාරයකි.
‘පිට රටවලින් එහෙම ආරාධනා ලැබෙන්නේ නැද්ද මේ බෙහෙතට?’ 
අපි එසේ ඇසුවේ අපට නොවටිනා අපේ දේ පිටරැටියන්ට අගේ බව දන්නා බැවිනි.
‘නැත්තේ නැහැ. පහුගිය කාලේ කැනඩාවේ මහාචාර්ය කෙනෙක්‌ ලංකාවට ඇවිත් සති කීපයක්‌ නැවතිල ඉඳගෙන උත්සහ කළා මාව ඒ රටට ගෙන්වගන්න. ජෙට්‌ එකක්‌ එවන්නම් කිව්වා එහෙට එනවා නම්. ඒත් මේක මගෙ රට. මගෙ වෙද පරපුර රැඳුණු තැන. මට එහෙම යන්න ඕනේ නැහැ. මේ බෙහෙත ලෝකෙට විකුණගන්න තැනට ලංකාවට එන්න පුළුවන් වුණොත් හිතාගන්නත් බැරි තරම් විදේශ විනිමයක්‌ අපේ රටට ගෙනෙන්න පුළුවන්. ඒ දවස එනකම් මම බලාගෙන ඉන්නවා’
මාරයාට අභියෝග කරන ඖෂධයක ජාත්‍යන්තර වටිනාකම කොපමණක්‌ද? එහෙත් මේ වටිනාකම දන්නා එක මොළගෙඩියක්‌වත් දියවන්නාවේ වන රැස්‌වීම් ශාලාවේ සිටිත්ද? ඒ උන්ගේ බඩගෙඩිය වඩා ගන්නට තරම් දෙයක්‌ මේ බෙහෙත තුළ නැති නිසාද?
‘ඇමැතිවරු ඕනේ තරම් ඇවිත් ඒ අයගෙ රෝගීන්ට බෙහෙත් අරගෙන යනවා. උදව් කරන්නම් කියලත් කියනවා. ඒත් සාලින්ද දිසානායක ඇමැතිතුමා විතරයි උපකාරයක්‌ කළේ. ආයුර්වේද වෛද්‍ය සභාවේ අනුමැතිය ගන්න එතුමා ගොඩක්‌ උපකාර කළා’
ඇගේ බෙහෙතේ ගුණය පමණක්‌ නොව කෙළෙහි ගුණයද ඇය සතුය. එහෙත් ජාතියට ඇය සොයාදුන් දිව ඔසුව වෙනුවෙන් ජාතිය ඇයට කෙළෙහි ගුණ දැක්‌වුවාද යන්න අපට පැනයකි. එහෙත් ඇය විශ්වාසය තබා සිටියි. ජනාධිපතිතුමාට භාරදුන් යෝජනාවට එතුමා ඉක්‌මන් ප්‍රතිචාර දක්‌වනු ඇතැයි මේ ඉසිවර දියණිය බලාපොරොත්තු තබා සිටින්නීය. ජනපතිතුමා පමණක්‌ නොව කාන්තාවන් සහ දරුවන් වෙනුවෙන් නිහඬව අනගි මෙහෙයක්‌ කරන ජනපති ආර්යාවද ඇගේ පරපුරේ මේ දියණිය වෙනුවෙන් පෙනී සිටිනු ඇතැයි අපි විශ්වාස කරමු.
එක්‌දහස්‌ හත්සිය ගණන්වලින්ද ඔබ්බට ගිය මව්පස වෙද පරම්පරාවක සහ සර්ප වෙදකමෙහි කෙළපැමිණි පියපස වෙද පරම්පාරවක උරුමය මිටින් ගෙන උපන් මේ ඉසිවර දියණිය ඇගේ මුළු ජීවිතයම මරණීය ලෙඩරෝග වලට ප්‍රතිකාර පිණිස කැපකර ඇති සැටියකි. ඇය අප සමග සංවාදය අවසන් කළේ විසඳාගත නොහැකිව සිටි පිළිතුරට ධර්මය සමග සැබැවින්ම සැසඳෙන පිළිතුරක්‌ දෙමිනි.
‘අපිට බෙහෙත කරන්න පුළුවන් වුණත් බෙහෙතක්‌ තියාගෙන මිනිස්‌සු මැරෙන්නේ, කර්මය වෙනස්‌ කරන්න අපිට බැරි නිසා වෙන්න ඇති’
සැබැවි. බෙහෙතක්‌ තබාගෙන මිනිසුන් මියයන්නේ කරුමයටමය. අපි තවමත් කරුමක්‌කාර රටකි.
(වෛද්‍ය තරංගා කුමාරි වික්‍රමසූරියගේ ප්‍රතිකාර ලබාගැනීම සඳහා දුරකථන අංක 091-7914202 ඔස්‌සේ විස්‌තර විමසිය හැක.)
ඉන්ද්‍රජිත් සුබසිංහ
දිවයින

කොළඹ සහ කාන්තන්කුඩි ‘තලේබාන් තිප්පොලක්’ – ඉන්ටර්පෝල්

කොළඹ සහ කාන්තන්කුඩි ‘තලේබාන් තිප්පොලක්’ – ඉන්ටර්පෝල්

කොළඹ සහ කාන්තන්කුඩි ‘තලේබාන් තිප්පොලක්’ – ඉන්ටර්පෝල්
ශ‍්‍රී ලංකාව තලේබාන්  ත‍්‍රස්තවාදින් රැකවරණය සලසා ගන්නා ප‍්‍රධාන රටක් යයි අන්තර්ජාතික පොලීසිය හෙවත් ඉන්ටර්පෝල් මෙරට බුද්ධි අංශ වෙත දන්වා තිබේ.
ව්‍යාජ ලියකියවිලි භාවිතා කර තලෙයිබාන් ත‍්‍රස්තවාදීන් මෙරටට  ඇතුළු වී විවිධ ව්‍යාපාර  කරන බවද හෙළි වී තිබේ.
ආසියානු සහ මැදපෙරදිග රටවලට ශ‍්‍රී ලංකාවේ සිට යාමට ඇති පහසුව මත මොවුන් මෙසේ කටයුතු කරන අතර එහි ප‍්‍රතිඵලයක් ලෙස ඔවුන් මෙරට ජාවාරම්කරුවන් සමග නීතිවිරෝධී ව්‍යාපාරවල යෙදීම ආරම්භ කර ඇති බවත් කොළඹ සහ කාත්තන්කුඩි යන නගරවල මේ ත‍්‍රස්තවාදීන්  වෙසෙතැයි බුද්ධි අංශ සැකපහළ කරයි.

මැති-ඇමති අටකගේ කළු සල්ලි රට බැංකු හතරක.. ඇතැමුන් නෞකා අයිතිකාරයෝ

මැති-ඇමති අටකගේ කළු සල්ලි රට බැංකු හතරක.. ඇතැමුන් නෞකා අයිතිකාරයෝ

රහසිගත ක‍්‍රම ඔස්සේ මුදල් උපයාගත් මැති ඇමතිවරුන් පිරිසක් විදේශ රටවල අතිශයින්ම රහස්‍ය බැංකුවල සිය මුදල් තැන්පත් කර ඇතැයි විශේෂ විමර්ෂණ කණ්ඩායමක් විසින් අනාවරණය කරගෙන තිබේ.
මැඩගස්කරය, බෲනායි, ස්විට්සර්ලන්තය, චැනල් අයිලන්ඞ්ස් රාජ්‍යවල මොවුන් විසින් මෙම රහසිගත ගිණුම් පවත්වාගෙන යයි.
මැති ඇමතිවරුන් අට දෙනෙකු විසින් මෙම ගිණුම් පවත්වාගෙන යන බවට වාර්තාවන අතර ඔවුන් අතර මධ්‍යම රජයේ මෙන්ම පළාත් සභා ප‍්‍රධානීන් දෙදෙනෙකුද වන බව පැවසේ.
මෙසේ විදේශ බැංකුවල ගිණුම් පවත්වාගෙන යන ඇතැම් දේශපාලඥයන්ට වෙළඳ නෞකා පවා හිමි බව වැඩි දුරටත් වාර්තා වෙයි.

Thursday, June 12, 2014

ඩෙංගු මඩින අලූත් උපායක්.. බිත්ති ආලේපනයක්..

ඩෙංගු මඩින අලූත් උපායක්.. බිත්ති ආලේපනයක්ඩෙංගු මඩින අලූත් උපායක්.. බිත්ති ආලේපනයක්..


..වේගයෙන් පැතිරී යන ඩෙංගු වසංගතය පාලනය කිරීම සඳහා අවදානම් කලාප ආශ‍්‍රිතව ප‍්‍රදේශවල අඩු ආදායම් ලාභීන් වෙසෙන නිවාස හා වතු නිවාස වල බිත්ති මත ඩෙංගු මදුරු කීට විනාශ කරන රසායනිකයක් ආලේප කිරීමේ නවතම ක‍්‍රම වේදයක් කොළඹ මහ නගර සභාවේ ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් හදුන්වා දී ඇත.

කිරුළපන, මෝදර හා මට්ටක්කුළිය ප‍්‍රදේශවල එම රසායනය අලේප කිරීමේ වැඩ පිළිවෙල මේ වන විට ආරම්භ කර ඇතැයි ද මෙවැනි වැඩ පිළිවෙළක් කොළඹ නගරයේ හදුන්වා දෙන ප‍්‍රථම අවස්ථාව මෙය බව ද එහි ප‍්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි වෛද්‍ය රුවන් විජයමුණි මහතා පැවසීය.
ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කර ඇති LAMBDA CYHALOTHRIN˜ ^ICON& නමින් හදුන්වන මේ රසායනිකය එක් නිවෙසකට ආලේප කිරීම සඳහා රුපියල් 1000 ක් පමණ පිරිවැයක් දැරීමට සිදු වන බව ද විජයමුණි මහතා කීවේය.
මෙම රසායනිකය බිත්ති මත මාස 6 ක පමණ කාලයකට බල පවත්වන බව ද හෙතෙම සඳහන් කළේය.

ආණ්ඩුව ඇතුළේ මහින්ද-වීරවංශ, මහින්ද-චම්පික, හකීම්-දී.මු විරෝධතා පුපුරලා ගිහින්

ආණ්ඩුව ඇතුළේ මහින්ද-වීරවංශ, මහින්ද-චම්පික, හකීම්-දී.මු විරෝධතා පුපුරලා ගිහින්

ආණ්ඩුව ඇතුළේ මහින්ද-වීරවංශ, මහින්ද-චම්පික, හකීම්-දී.මු විරෝධතා පුපුරලා ගිහින්
පොදු අපේක්ෂකයෙකුගෙන් හෝ ආණ්ඩුව ඇතුළේ ඇතිවන අභ්‍යන්තර අර්බුද වලින් ජනතාවගේ ප‍්‍රශ්න විසදාගත නොහැකි බවත් කල යුත්තේ සංවිධානය වී සටන් කිරීම පමණක් යැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික පුබුදු ජයගොඩ මහතා පවසයි.
‘ආණ්ඩුව ඇතුළෙම මහින්ද-වීරවංශ, මහින්ද-චම්පික, හකීම්-දී.මු වගේ එක එක ප‍්‍රතිවිරෝධතා පුපුරලා ගිහිල්ලා ආණ්ඩුව වැටෙයි කියලා පිරිසක් බලාගෙන ඉන්නවා.තව කට්ටියක් බලාගෙන ඉන්නේ විපක්ෂය ගේන පොදු අපේක්ෂකයා තමයි සර්ව බලධාරී ගැලවුම්කාරයා,එයා ආවට පස්සේ අපේ ඔක්කොම ප‍්‍රශ්න විසෙදයි කියලයි. නමුත් මෑත අත්දැකීම් පෙන්වමින් තිබෙන්නේ මේ දෙගොල්ලන්ටම ජනතාවගේ ප‍්‍රශ්න විසදන්න බැරි බවයි’
යයිද ජයගොඩ මහතා අදහස් දැක්වීය.

‘උතුරුකරෙන් එන්න.. දකුණුකරෙන් එන්න..’ ගීතයේ මෙතෙක් නොකී රහස විමල් කියයි…

‘උතුරුකරෙන් එන්න.. දකුණුකරෙන් එන්න..’ ගීතයේ මෙතෙක් නොකී රහස විමල් කියයි…

‘උතුරුකරෙන් එන්න.. දකුණුකරෙන් එන්න..’ ගීතයේ මෙතෙක් නොකී රහස විමල් කියයි…

කැසිනෝවලට බදු සහන දීම ‘පුංචි බණ්ඩා චින්තනයයි’
‘මහින්ද චින්තනය’ අනුව බදු සහන දිය යුත්තේ නව කර්මාන්ත අරඹන
දේශීය ව්‍යාපාරිකයාටයි….

කැසිනෝවලට බදු සහන දීම ‘පුංචි බණ්ඩා චින්තනය’ වුවද ‘මහින්ද චින්තනය’ නිර්මාණය වූයේ මෙරට නව කර්මාන්ත අරඹන දේශීය ව්‍යාපාරිකයාට බදු සහන ලබා දීමට යැයි ජාතික නිදහස් පෙරමුණේ නායක, අමාත්‍ය විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.
පසුගිය 10 වැනිදා මහනුවර තැපැල් ශ‍්‍රවණාගාරයේ පැවැති ‘විය යුත්තේ කුමක්ද?’ යන සම්මන්ත‍්‍රණයේ ප‍්‍රධාන දේශනය පවත්වමින් විමල් වීරවංශ මහතා මෙසේ පෙන්වා දුන්නේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේද අවධාරණය කළේය.
‘2005 වසරේදී මේ රට ‘සාමය නැමැති කුමරා’ ප‍්‍රසූත කිරීමට ප‍්‍රසව වේදනාවෙන් පෙළුණා. ඒ වෙනුවෙන් වූ වින්නඹුකම කිරීමට කැපවුණු බලවේගයන් විදියට අපට වගකීමක් තිබෙනවා ඒ ඓතිහාසික ජයග‍්‍රහණයෙන් ඔබ්බට මේ රට රැගෙන යාමට.
රට හමුවේ තීරණාත්මක අභියෝග මතු වූ සෑම විටම අපි ඒවා ජයගැනීම වෙනුවෙන් අපට හැකි උපරිම අයුරින් කැප වූ බව ඔබ දන්නවා. දුර දක්නා නුවණින් යුතුව රට හමුවේ මතුවන අභියෝග ජයගත හැකි ම`ග අපි සෑමවිටම ජාතිය හමුවේ තැබුවා. 2005 ජනවරමෙන් ඇරඹි ගමන තුළ අද වන විට යටිතල පහසුකම් සංවර්ධනයක් සහිතව රට සාමකාමී වාතාවරණයකට පැමිණ තිබෙනවා. ජනාධිපතිතුමන්ගේ ම`ග පෙන්වීමෙන් රණවිරුවන්ගේ කැපවීමෙන් මේ පොළොවට ලැබුණු යුද ජයග‍්‍රහණයේ ප‍්‍රතිඵලයක් ලෙස තමයි මේ සාමකාමී වාතාවරණය ලැබී ඇත්තේ.
2005 දී පැවැති ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්‍ෂ මහතා ජයග‍්‍රහණය කරනු ලැබුවේ වැඩි ඡන්ද 180,000කින් පමණ. ඒ ජයග‍්‍රහණයට ‘රජුන් තනන බලවේග’ සම්මාදම් වුණේ නැහැ. චන්ද්‍රිකා කුමාරතුංග නෝනාගේ අතේ තිබුණු ‘එක්සත් රාජ්‍යය’ කියන සංකල්පය අත හැරලා මේ රටේ ජාතිකවාදී බලවේග අතේ තිබුණු ‘ඒකීයභාවය’ කියන සංකල්පය පිළිඅරගෙන එදා ඒ ජනාධිපතිවරණ ජනවරම දිනා ගන්න බැරි වුණා නම්, වික‍්‍රමසිංහ මහත්තයා අතට එදා බලය ගියා නම්, රට තියෙන්නේ අපි මේ කතා කරන මාතෘකා සංවාදයට ගන්නා රටක් නොවෙයි. එහෙම නම් අද අපට කතා කරන්න වෙන්නේ ‘දෙකට බෙදුණු රට එකට එකතු කිරීම’ පිළිබඳව. අපට එදා මේ රට හමුවේ තිබුණු ‘බෙදා වෙන් කිරීම් කියන තර්ජනයෙන්’ ගැලවෙන්න හැකි වුණා. ඒ ප‍්‍රබල ජනවරම ගොඩනගන්න අපට දායක වෙන්න පුළුවන් වුණා.
මහා සමාජ සංවාදයක් ඇතුළෙයි 2005 ජනාධිපතිවරණ වැඩපිළිවෙළ හැදුණේ. මහින්ද රාජපක්‍ෂ අගමැතිතුමාට තිබුණේ ඒ සමාජ සංවාදයේ තමන්ට අදාළ ස්ථානයේ හිට ගැනීම පමණයි. එතුමා හරි තැන හිටගත්තා. එමතින්ම ජයග‍්‍රහණය ලබා ගත්තා. 2005 ජනාධිපතිවරණයට කලින් සමය කියන්නේ මහා සමාජ කතිකාවතක් තුළින් මතු වූ නිවැරදි ස්ථාවරය මත ජනාධිපතිතුමන් හිට ගැනීමක්. 1956 බණ්ඩාරනායක අගමැතිතුමා කළෙත් ඒක. ඔහු බටහිර සිට ආවා. ටයි කෝට් ගැලෙව්වා. ජාතික ඇඳුමට බැස්සා. ඒ වන විට ජාතික බලවේග විසින් ගොඩන`ගා තිබූ නිවැරදි සමාජ මතවාදය හා හිට ගත්තා. 1956 පෙරළියෙන් මේ සමාජයට විවිධ ජයග‍්‍රහණ ගෙනාවා. ඒ අනුව 1956දී හා 2005දී සමාජය තුළ ගොඩනැ`ගුණු ගැඹුරු සමාජ කථිකාවන් මගින් බිහි වන ජාතිකවාදී බලවේගයන් සමග සිටගත් නායකයන් ජයග‍්‍රහණය කළා වගේම රටට ජයග‍්‍රහණත් ලබා දුන්නා. නමුත් 2010 ජනාධිපතිවරණයට පෙර මෙවැනි මහා සමාජ කතිකාවක් නිර්මාණය වූයේ නැහැ. යුද ජයග‍්‍රහණයේ ආශ්වාදයෙන් මුළුමහත් රටම ප‍්‍රමෝදයට පත්වී සිටි නිසා එවැනි කතිකාවතක් නිර්මාණය වීමට වටපිටාවක් ද තිබුණේ නැහැ. එම ප‍්‍රමෝදය විසින් 2010 ජනාධිපතිවරණයෙන් වැඩි ඡුන්ද 18 ලක්‍ෂයක ජයක් ලැබුණා.
නමුත් යුද ජයග‍්‍රහණයේ ප‍්‍රමෝදය විසින් අත්‍යවශ්‍ය සමාජ සාකච්ඡවකට තිබුණු ඉඩකඩ අහුරා තිබුණා. ඒ නිසා පුළුල් සමාජ කතිකාවතක් තුළ ගොඩනැගන්න  ඕන ගමනක්, සිමිත සංවාදයක් තුළ ගොඩනැ`ගුණා. ඒ අනුව 2010 ජනවරම පුළුල් සමාජ කතිකාවතක් තුළ ගොඩනැගුණු තර්කානුකූල ප‍්‍රතිඵලයක් නොවෙයි. ‘දිනාගත් සාමය ඇතුළේ මව්බිම ගොඩනැගිය යුත්තේ කෙසේද? ‘ප‍්‍රමුඛතා ලැයිස්තුව කුමක්ද? උපක‍්‍රම මොනවාද?’ යන මහා කතිකාව තුළ පෝෂණය වුණු ජනවරමක් නොවෙයි එදා 2010 ජනවරම. මම මේ කරුණු පෙන්වා දෙන්නේ, විවේචනයක් හැටියට නොවෙයි, තේරුම් ගත යුතු කරුණක් විදියට.
එදා ‘මහින්ද චින්තන ඉදිරි දැක්ම’ කියා වැඩපිළිවෙළක් සකස් වුණා තමයි. නමුත් කොටි ත‍්‍රස්තවාදය පැරදවීමේ යුද්ධයට වගේ මහා මෙහෙයුමක්, නව ශ‍්‍රී ලංකාව ගොඩනැ`ගීමේ යුද්ධය වෙනුවෙන් දියත් වුණේ නැහැ. ඒක කිහිප දෙනකුගේ අදහස් උදහස් මත තීරණය වන කාරණයක් බවට පත් වුණා. ත‍්‍රස්තවාදය පැරදවීමේ සටනත් ජනාධිපතිතුමාගේ, ආරක්‍ෂක ලේකම්වරයාගේ සහ ත‍්‍රිවිධ හමුදාපතිවරුන්ගේ ඇතුළු සීමිත පිරිසකගේ අදහස් උදහස් මත පමණක් ක‍්‍රියාත්මක වුණා නම් ඒ මහා ජයග‍්‍රහණය ලබා ගැනීම දුෂ්කරයි. ඒකට මුළුමහත් සමාජයේම සහයෝගය අදහස්, උදහස් ලබාගත්තා. අවසානයේ කොටි පැරදවීමේ සටන සමාජය සමග බද්ධ වූ මහා සමාජ ක‍්‍රියාදාමයක් බව පෙරළුණා.
අපි කැමති වුණත් නැතත් මේ නූතන ශ‍්‍රී ලංකාව ජේ. ආර්. ජයවර්ධනගේ නිර්මාණයක්. 1978 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව තමයි පාර්ලිමේන්තු මැතිවරණයට කේවල ක‍්‍රමය වෙනුවට සමානුපාතික ක‍්‍රමය ආවේ. එමගින් තමයි, එහාට මෙහාට පනින පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු පිරිසක් හැදුවේ. පනින අය තියා ගන්න ඇමතිකම් ලබා දෙන්න සිදු වුණා. 1977ට පෙර එහෙම සම්ප‍්‍රදායක් තිබුණේ නැහැ. අපි යළිත් සම්පූර්ණයෙන් බැරි වුණත් කේවල හා සමානුපාතික ක‍්‍රම දෙකෙහි මිශ‍්‍ර මැතිවරණ ක‍්‍රමයක් ගෙනවිත් අතුරු මැතිවරණ ක‍්‍රමයක් සහිතව ස්ථාවර පාර්ලිමේන්තුවක් හැදිය යුතුයි. ඒ විදියට මේ ජේ. ආර්. ජයවර්ධන ගෙන ආ ව්‍යවස්ථාවේ තිබෙන හිල් වැසිය යුතුයි. මැතිවරණ ක‍්‍රමය එක උදාහරණයක් විතරයි. ජේ. ආර්. ගොඩන`ගපු රාජ්‍යයේ තියෙනවා මේ විදියට කැපිය යුතු කොඩිවින ගණනාවක්. ‘යුද්ධය’ නම් කොඩිවිනය නම් බොහොම අමාරුවෙන් කැපුවා.
ජයවර්ධන පාලන සමයේ ඉඳලා මේ රටේ ආර්ථිකය ඉදිරියට යන්නේ එක මූලික අදහසක සිට. ‘රජය යටිතල පහසුකම් සංවර්ධනය කරනවා. පෞද්ගලික අංශය ආයෝජනය කරනවා. ඒ අනුව රැකියා උත්පාදනය වෙනවා. ඒ ආයෝජනවලින් අතපල්ලෙන් වැටෙන ටිකක් දුප්පතාටත් ලැබෙනවා. එමගින් ආර්ථිකය වර්ධනය වෙනවා’ කියන එකයි ඒ අදහස. ආර්ථික වර්ධනය වේගවත් වෙන්න නම් රාජ්‍යය වැඩි වැඩියෙන් යටිතල පහසුකම් සංවර්ධනය කරන්න  ඕනෙ. මේක තමයි මේ අර්ථකරණයේ තිබෙන මූලික අදහස, මූලික සූත‍්‍රය. ඒකනේ සෑම ආණ්ඩුවක් යටතේම යටිතල පහසුකම් සංවර්ධනයට විශාල ණය මුදල් ගන්නේ, ඒ නිසානේ ණය දෙන ආයතන කර්මාන්ත සංවර්ධනයට නොදෙන ණය යටිතල පහසුකම් සංවර්ධනයට ලබා දෙන්නේ.
ඒ අනුව ආර්ථික ක‍්‍රියාදාමය සම්පූර්ණයෙන්ම යටිතල පහසුකම් සංවර්ධනයට ඌනනය වූ ක‍්‍රියාදාමයක් බවට පත් වී තිබෙනවා. මොනරාගල සම්මන්ත‍්‍රණයට මා ගියාම එතැනදී  කියවුණා, ‘1818 දී සුද්දා කඩපු වැව් තවම හදලා නැහැ’ කියලා. වැව හැදුවා නම් ගම රැකෙනවා, ගමේ වගාව සරු වෙනවා. ගමේ මිනිසාගේ අතමිට සරු වෙනවා. වැව කියන්නේ ඍජු නිෂ්පාදන ක‍්‍රියාදාමයට පණ දෙන යටිතල පහසුකමක්. වැව ප‍්‍රතිසංස්කරණය කියන්නේ සෘජු නිෂ්පාදන ක‍්‍රියාදාමයට පණ දීමක්. නමුත් පාරක් ප‍්‍රතිසංස්කරණය කළාම ගමේ ආර්ථිකයට ප‍්‍රතිලාභ එන්නේ වක‍්‍රාකාරව. වැව හැදුවොත් කෙලින්ම ප‍්‍රතිලාභය ගමට. නමුත් වත්මන් ආර්ථික න්‍යාය පත‍්‍රය තුළ එවැනි දේට ප‍්‍රමුඛතාව ලැබී නැහැ. ප‍්‍රමුඛතාව ලැබෙන්නේ යටිතල පහසුකම් සංවර්ධනයට. අපි කියන්නේ නැහැ, යටිතල පහසුකම් සංවර්ධනය අනවශ්‍යයි කියලා.
රාජ්‍ය අංශය ශක්තිමත් කිරීමට මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමන් කටයුතු කළ බව ඇත්ත. එතැනදී පමණක් මේ ආණ්ඩුව අර මූලික සූත‍්‍රය සමග ගැටෙනවා. නමුත් රාජ්‍ය අංශය ප‍්‍රසාරණය කිරීම මගින් පමණක් මේ රට ගොඩනගන්න බැහැ. ගමේ පළතුරු ගෙඩියට, කොස් මදුලට, ගමේ තිබෙන කවර හෝ කෘෂිකාර්මික නිෂ්පාදනයට මිලක් ලැබෙන කර්මාන්තශාලා ඇති වන අන්දමේ ගමනක් අපි නිර්මාණය කළ යුතුයි. අපි ඇතැම් විට හිතන්න පුළුවන් තායිලන්තය ආදායම් ලබන්නේ ඒ රටේ දැරියෝ විවෘත වෙළඳපොළේ අලෙවි කරලා කියලා. නැහැ. ඔවුන් සියලූ කෘෂිකාර්මික නිෂ්පාදන කල්තබා ගත හැකි ලෙස සකසා වෙළඳපොළට එවනවා. තැඹිලි වතුර ටිකත් ටින් කරලා වෙළඳපොළට එවනවා. මම මේ ළගදී මහා සංඝරත්නයට පූජා කිරීමට ගත් පළතුරු වට්ටියක් පරීක්‍ෂා කළ විට දැක්කේ, වට්ටියේ අපේ පළතුරු ලෙස තිබුණේ අන්නාසි ගෙඩියක් සහ කෙසෙල් ගෙඩි පමණක් බවයි. අපිට මහා පරිමාණ නිෂ්පාදන කරන්න බැරි වේවි. නමුත් කළ හැකි දේ පවා අපි කරන්නේ නැහැ.
මහ බැංකු වාර්තා අනුව මේ රටේ 40%කගේ දෛනික ආදායම ඩොලර් 02යි. රුපියල්වලින් බැලූවොත් රුපියල් 260යි. මම දැක්කා ‘පුංචි බණ්ඩා’ කියා තියෙනවා 2014 දී ශ‍්‍රී ලංකාවේ ඒක පුද්ගල ආදායම ඩොලර් 4000 වෙනවා කියලා. මේකට තමයි කියන්නේ ‘මායාකාරී සංඛ්‍යා ලේඛනවලින් ඇස් නිලංකාර කිරීම’ කියලා. ගණන හරි. නමුත් බෙදී යාමේ විෂමතාව තවත් වැඩි වෙනවා. මහනුවර ගුණපාල අයියා ගාව රුපියල් 100ක් තියෙන කොට හැරී ජයවර්ධන ළ`ග තිබෙනවා බිලියන ගණනක්. ඒක පුද්ගල ආදායම ඩොලර් 4000 වුණාට පතුලේ ඉන්න අර 40%ට ආදායම වැඩි වන්නේ නැහැ.
එක්සත් ජාතීන්ගේ සංවිධානයත් පිළිගෙන තිබෙනවා අපේ ජනතාව ගම අතහැර අගනගරයට සංක‍්‍රමණය වීමේ ප‍්‍රවණතාව අඩුයි කියලා. ඒකට හේතුව නගරයේ සියල්ල ගමේ තිබීමද? නැහැ. ගමේ මිනිහා අඩු වේගයකින් නගරයට යෑමේ රහස තමයි, ගමේ තිබෙන නිෂ්පාදන ජීවිතය. කුඹුර, හේන තියෙනවා. ඒක නැති වුණොත් තමයි, ‘ආරක්‍ෂක නියාමක’ රැකියාව හොයා ගෙන නගරයට එන්නේ. මේ විභවයට ගැලපෙන කර්මාන්ත ප‍්‍රතිපත්තියක්, ආයෝජන ප‍්‍රතිපත්තියක් හදන්න  ඕනෙ. එහෙම ප‍්‍රතිපත්තියක් තුළ රට ඉදිරියට ගියොත් තමයි අපට මේ හැදෙන පාර ගැන සතුටු වෙන්න පුළුවන් වෙන්නෙ.
ණය ආයෝජන ලෙස පිටරටවලින් ලැබෙන මුදලින් මුලදී 40%ක් යන්ත‍්‍ර සූත‍්‍ර, අමුද්‍රව්‍ය සඳහා කියලා යළිත් ඒ රටටම ගියා. මේ රට තුළ රැඳුණේ 60%ක් පමණ. නමුත් චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ පාලන කාලයේ සිට ඒ තත්ත්වය තවදුරටත් වෙනස් වුණා. දැන් ශ‍්‍රී ලංකාවට ණය ආයෝජන ලෙස පිටරටවලින් ලැබෙන මුදලින් මේ රට තුළ 30%ක් සංසරණය වන විට යළිත් ඒ රටවලට යන මුදල 70%ක් පමණ වී තිබෙනවා.
අපි ආර්ථික වර්ධන වේගයක් අත්පත් කර ගෙන ඇත්තේ, එක පැත්තකින් යුද්ධය අවසන් කළ නිසා යුදමය වාතාවරණය පැවැති ප‍්‍රදේශවලත් මේ වන විට කෘෂි නිෂ්පාදන කටයුතු සිදු වන නිසා. අනෙක් පැත්තෙන් අසීමිතව ණය ආයෝජන ලබා ගන්නා නිසා. ණය ගන්නා තරමට ඒ මුදලින් කොටසක් අපේ රට තුළ සංසරණය වෙනවානේ. අපි මේ විදිහේ ආර්ථික වර්ධනයක් අත්පත් කරගෙන අද උදම් අනනවා, ‘චීනයට විතරයි අපි දෙවැනි වන්නේ’ කියා. චීනය විශාල කැපවීමක් කරලා තමයි සැබෑ ආර්ථික වර්ධන වේගයක් අත්පත් කර ගත්තේ.
‘අද’ පත්තරයේ මුල් පිටුවේ තිබුණා, පුංචි බණ්ඩා මුදල් අමාත්‍යාංශයේ සාකච්ඡවකදී පැවසූ බව කියන කතාවක්. ‘මම නැතිව පුළුවන්නම් මාස 06ක් කරලා පෙන්වන්න’ කියලයි ඔහු එහිදී පවසා තිබුණේ. මේ ප‍්‍රවෘත්තිය මෙතෙක් ඔහු ප‍්‍රතික්‍ෂේප කර නැහැ. ඒ නිසා සත්‍ය බව අපට පිළිගන්න වෙනවා. ‘මට  ඕනෙම වෙලාවක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ රස්සාව තිබෙනවා. මම මේ ඉන්නේ ජනාධිපතිතුමාට උදව් කරන්න’ කියලයි ඔහු එහිදී පවසා තිබුණේ. ආර්ථික වර්ධන වේගය 7%ට වඩා වැඩි නම්, අපි චීනයට විතර නම් දෙවැනි වන්නේ, ඒක පුද්ගල ආදායම වැඩි වෙනවා නම් හැම දෙයක්ම හොඳ මට්ටමකට ගෙන ආවා නම් ඔහු කියන්න  ඕනෙ, ‘මගෙන් පස්සේ  ඕන කෙනෙකුට ප‍්‍රශ්නයක් නැහැ, මේක කරගෙන යන්න පුළුවන්’ කියලා. කෙනෙක් නැහැ කියලා ඒ රටේ ආර්ථිකය වැටෙනවා නම් ඒක සවිමත් ආර්ථිකයක්ද? ‘මම ඉන්නේ ජනාධිපතිතුමාට උදව්වට’ කියන එක නම් බොරු. ඒක මෙහෙම වෙනස් වෙන්න  ඕනෙ. ‘මට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජොබ් එක තියෙනවා. දැනටත් මම කරන්නේ ඒ ජොබ් එක.’ ‘චන්ද්‍රිකාගෙ ආණ්ඩුව සෘණ කළා පී. බී. ජයසුන්දර. භාණ්ඩාගාරය හිස් කළා මුදල් ඇමතිනියි, මහා භාණ්ඩාගාර ලේකමුයි. ඒ හින්දා මේකෙ ඉන්නෙ බැහැ’ කියලා එස්. බී. දිසානායකලා පරිවාසය ගැහුවාට පසුව ආණ්ඩුවෙන් යන්න ගියා. අද එස්. බී. ඇමතිතුමා ‘පුංචි බණ්ඩා’ වෙනුවෙන් ‘කඬේ ගියාට’, ඒ දවස්වල ‘පුංචි බණ්ඩාගේ’ බෙල්ලෙන් අල්ලලා ගහන්න ගියා ‘ආර්ථිකය සෘණ කළා’ කියලා. චන්ද්‍රිකාගේ පාලන කාලයේ ආර්ථිකය සෘණ කරපු නිසා, රනිල්ගෙන් පී. බී. ට ලැබුණා පර්ක් ආයතනයේ සභාපතිකම.
මට මේ ළගදී දවසක මහත්මයකු හමු වුණා. ඔහු වැව් මාළු ටින් කරලා පිටරට යවනවා. එයාට දැන් මේ වැඬේට වැව් මාළු මදි. එයාට ඒක එතැනින් එහාට ප‍්‍රසාරණය කර ගන්න බැහැ. එයාට අවශ්‍ය සහයෝගය දෙන්න ආයතනයක් තිබෙනවාද? නැහැ. මේ රටට ඒ අස්සේ සැමන් ටින් තොග පිටින් එනවා. එවැනි මහා නිෂ්පාදන විභවයක් තියෙන පිරිසක් මේ රටේ ඉන්නවා. ඔවුන්ටයි බදු සහන දිය යුත්තේ. කැසිනෝවලට බදු සහන දීමට නොවෙයි, මහින්ද චින්තනය හැදුවේ. ඒක ‘පුංචි බණ්ඩා චින්තනය’ වෙන්න ඇති. ‘පුංචි බණ්ඩා චින්තනය’ අනුව කැසිනෝවලට දෙන්නේ බදු සහන. මහින්ද චින්තනය අනුව බදු සහන දිය යුත්තේ දේශීය ව්‍යාපාරිකයාට නව කර්මාන්ත පරපුරක් නිර්මාණය කිරීමටයි.
දැන් අපි පාරක් හදාගෙන, වරාය සහ ගුවන් තොටුපළක් හදා ගෙන බලාගෙන ඉන්නවා. නමුත් නිෂ්පාදන එන්නේ නැහැ, පාර දිගේ. කොතැනක හරි පරස්පරයක් නැද්ද? මේක තමයි නිවැරදි කළ යුත්තේ. සමාජ පත්ලේ සිටින මිනිසා ළගට ආර්ථික ප‍්‍රතිලාභ ගලාගෙන යන ක‍්‍රමවේදයන් සෑදිය යුතුයි. ඒකට නිෂ්පාදන සංස්කෘතියක් හඹා ගෙන යන ජාතියක් ගොඩනගන්න  ඕනෙ. අධ්‍යාපනය මුළුමනින්ම එදෙසට යොමු කරන්න  ඕනෙ. තරුණ දරුවන්ට විෂය අධ්‍යාපනය අබිබවා යන චින්තන ශක්තියක්, නිර්මාණාත්මක දැනුමක් ලබා දිය යුතුයි.
රාජ්‍යය නැවත ගොඩනැංවීමේ ක‍්‍රියාවලියේ ආර්ථික අභියෝගය අංක එක. දේශපාලන, සමාජ, සංස්කෘතික ප‍්‍රතිසංස්කරණ ඇති කිරීම ඊට යටින් තිබෙනවා. මේ ඔක්කොම අතට ගත්තු න්‍යාය පත‍්‍රයක් අද අපට  ඕනෙ. ඒ අනුව තමයි මේ රටේ ඉදිරි ගමන තීරණය කරන්න  ඕනෙ. එහෙම නොකළොත් මොකද වෙන්නේ?
දැන් බටහිර බලවේග බලාගෙන ඉන්නවා පාලනතන්ත‍්‍රයේ වෙනසක්, ‘රෙජීම් චේන්ජ්’ එකක් කරන්න. ඔවුන්ට  ඕනෙ, යුද්ධ කරලා සාමය රැගෙන ආපු, බෙදුම්වාදය පරදවපු මේ ආණ්ඩුව වෙනුවට වෙනත් ආණ්ඩුවක් බලයට රැගෙන ඒමට. ඒ සඳහා ඔවුන් ඊළග ජනාධිපතිවරණය පාවිච්චි කිරීම ස්ථිරයි. අමතක කරන්න එපා, 2010 කියන්නේ යුද්ධය දිනුවාට පසුව පැවැති පළමු ජනාධිපතිවරණය වුණාට සාමය හොඳින්ම ස්ථාපිත වෙලා තිබුණේ නැහැ. එළඹෙන ජනාධිපතිවරණය තමයි සාමය ස්ථාපිත වුණාට පසුව පවත්වන පළමු ජනාධිපතිවරණය. ඊළග ජනාධිපතිවරණය තානාපති කාර්යාල ඇතුළු මේ වටා ඉන්න කල්ලි කණ්ඩායම් සියල්ල එකතු වෙලා කෝටි, ප‍්‍රකෝටි ගණනින් මුදල් පොම්ප කරන ජනාධිපතිවරණයක් බවට පත් කරනවා.
ඉන්දියාවේ මෝඩිගේ පැමිණීමත් ලංකාවට සුවදායක වන්නේ නැහැ. බී. ජේ. පී. පාලනයක් නම් යුද්ධය අවසන් දිනවල පැවතියේ ශ‍්‍රී ලංකාවට එල්ලවන බලපෑම වැඩියි. නමුත් කොංග‍්‍රස් පාලනයකින් ආවෙ මෘදු බලපෑම්. ඒ අනුව මේ බී. ජේ. පී. පාලනයත් මේ ‘රෙජීම් චේන්ජ්’ එකට 100%ක් අනුකූලයි. ජයලලිතා නෝනා, දෙමළ ඊළමක් ලංකාවෙ පිහිටුවන්න දෙමළ ජනතාවගේ සහ විදෙස්ගත දෙමළ ජනතාවගේ ‘ජනමත විචාරණයක් පවත්වන්න  ඕනෙ’ කියලා මෝඩිගේ ආණ්ඩුවට යෝජනා කරනවා. මෝඩිගෙ නම තියෙන්න තිබුණෙ ජයලලිතාට. අද එල්. ටී. ටී. ඊ. ය නැති වුණත් ඒහා සම්බන්ධ දේශපාලන බලවේග බලවත්ව සිටිනවා. ඒ නිසා ඔවුනට උවමනා ආණ්ඩුවේ තිබෙන දුබලතා පාවිච්චි කරලා ඔවුනට අවශ්‍ය අරමුණ ඉටුකර ගන්න.
මේ අන්තර්ජාතික බලවේගවලට  ඕනෙ, ජනාධිපතිතුමන් හා ආරක්‍ෂක ලේකම්වරයා දවසකට හෝ ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණයට රැගෙන යන්න. ඔවුන් ඒක ලෝකයට පෙනෙන්න කරනවා. ඒක තමයි ඔවුන්ගේ මූලික අවශ්‍යතාව. ඒ වගේම ඔවුනට  ඕනෙ පැරදුණු බෙදුම්වාදය, දිනවන්න පුළුවන් පාලනතන්ත‍්‍රයක් මේ රටේ හදන්න. මේ ආණ්ඩුවේ ආර්ථික ගමනේ කවර දුබලතා තිබුණත්, මේක බෙදුම්වාදයට යළි හිස ඔසවන්න ඉඩ දෙන ආණ්ඩුවක් නොවෙයි.
එදා ජේ. ආර්. ජයවර්ධන පාලනය දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකුට දුන්නා ස්වදේශ කටයුතු අමාත්‍ය ධුරය. එයා නැගනහිර පළාතේ සිතියම අලූතෙන් ඇන්දා. ඒක ජයවර්ධන ජනාධිපතිතුමාගේ අනුශාසකත්වයෙන් ඔහු සිදු කළා. ඒ වගේම උතුරු වෙරළ තීරයේ ආරක්‍ෂාව ඉවත් කළා, ඊළ`ගට දකුණු ඉන්දියාව යුද පුහුණුව සඳහා දෙමළ තරුණයන්ට. ඉඩකඩ හදලා දුන්නා. දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ දුන්නු ලයිස්තුවක් අනුව තානාපතිවරු පත්කර හැරියා. ඔවුන් දෙමළ ඊළාම් මතවාදය පිළිගන්නා අය. ඔවුන්, ‘දෙමළ ඊළාම් අරගලය සාධාරණයි’ කියන මතය ලොව පුරා රැගෙන ගියා. මේ විදියට බෙදුම්වාදයට ජේ. ආර්. ජයවර්ධන මහත්තයා උදව් කළා වගේම 1983 කළු ජූලිය ඇති කරලා වේළුපිල්ලේ පිරබාහරන්ට ‘මරාගෙන මැරෙන භටයන්’ හදා ගන්න අවශ්‍ය වාතාවරණයද හදලා දුන්නා. දෙමළ ඩයස්පෝරාවට ලෝකය පුරා ව්‍යාප්ත වීමට ඉඩකඩ හදලා දුන්නා. කළු ජූලියෙන් පසුව කුඩා කණ්ඩායමත් ලෙස සිටි කොටි සංවිධානය දැවැන්ත ලෙස නැගී සිටියා. මේ තමයි ජේ. ආර්. ජයවර්ධන සෘජු හා වක‍්‍රව බෙදුම්වාදයට උදව් දුන් ආකාරය.
ඒ වගේ බෙදුම්වාදයට උදව් කරන ආණ්ඩුවක් හදන්න අද බටහිරට උවමනායි, ඒ ආණ්ඩුව හදන්න, ඊළග ජනාධිපතිවරණයේ සිටම ඔවුන් උපරිම වෙර දරනවා. එහිදී රනිල් වික‍්‍රමසිංහට උතුරු නැගනහිර දෙමළ ඡුන්ද ටික ලබා දීමට දෙමළ ජාතික සන්ධානය කටයුතු කරාවි. ‘මුස්ලිම් ජනතාවට බොදු බල සේනා ඇතුළු සේනාවලින් සිදු වන හිරිහැර නිසා නැගනහිර මුස්ලිම් ඡුන්ද ටික ආණ්ඩුවට දෙන්න එපා’ කියලා මුස්ලිම් කොංග‍්‍රසයත් කියාවි. ඒ විතරක් නොවෙයි ඊළග ජනාධිපතිවරණයේදී දෙමළ හා මුස්ලිම් ඡන්දදායකයාගේ ඡුන්ද දැමීමේ ප‍්‍රතිශතය ඉහළ නැංවීමේ මහා මෙහෙයුමක්ද ක‍්‍රියාත්මක වෙනවා. ඒ විදියට දෙමළ ඡුන්ද හා මුස්ලිම් ඡන්ද ලබා ගන්න ගමන් ඉන්දියාවේ බලපෑමෙන් දිගම්බරන් හෝ තොන්ඩමන් මහත්වරුන් ආණ්ඩුවට විරුද්ධව යොදා ගන්නත් සැලසුම් තිබෙනවා. එවැනි තත්ත්වයක් තුළ ඊළග ජනාධිපතිවරණයේ ජයග‍්‍රහණය රඳා පවතින්නේ සිංහල ඡුන්දදායකයාගේ ඡන්දය මත. ඒක තමයි ඇත්ත. ජයග‍්‍රහණය කරන්න අවශ්‍ය 50%කුත් එක ඡන්දයක් නම්, ඒක ගන්න වෙන්නෙ සිංහල ඡන්දදායකයාගෙන් මිස අන් අයකුගෙන් නොවෙයි.
සිංහල ඡුන්දදායකයාට තමයි ආණ්ඩුවේ ක‍්‍රියාකාරීත්වය පිළිබඳ විවේචන තියෙන්නෙ. පාවෙන ඡුන්ද තියෙන්නෙත් සිංහල ඡුන්දදායකයාට. දෙමළ, මුස්ලිම් ඡුන්ද බොහෝ විට පාවෙන ඡුන්ද නොවෙයි. ‘නූතන රාජ්‍යය ගොඩනැගීම සඳහා අවශ්‍ය පියවර ගෙන නොමැත’ කියන විවේචනය ආණ්ඩුවට ඉදිරිපත් කරන්නේ මේ සිංහල ඡන්දදායකයා. ඒ නිසා ඒවාට ඇහුම්කන් දීලා වෙනස් වෙන්න ආණ්ඩුව සූදානම් විය යුතුයි.
රනිල් වික‍්‍රමසිංහ මහත්තයා ගණන් හදන්නේ, ‘දෙමළ ඡන්දවලින් 75%ක් ලැබුණොත් මට මෙච්චරයි. මුස්ලිම් ඡුන්දවලින් 75%ක් ලැබුණොත් මට මෙච්චරයි. දිගම්බරන් හරි තොන්ඩමන් හරි ගත්තොත් මට එතැනින් මෙච්චරයි. මම නොවෙයි, මොන පඹයා ඉල්ලූවත් ලැබෙන එජාප ඡන්ද මෙච්චරයි. තව මදි පාඩුව තියෙන්නේ ලක්‍ෂ 5 – 6ක් විතර. ඒකෙන් ලක්‍ෂ 2 – 3ක් කඩන්න කොන්ත‍්‍රාත් එක දෙනවා අනුරට. ඉතිරි ලක්‍ෂ දෙකෙන් එකට වඩා මම ගත්තාම මගේ වැඬේ ගොඩ’ කියලයි. මේක හිනාවට කාරණයක් නොවෙයි, මේක තමයි වික‍්‍රමසිංහ මහත්තයාගේ ගණන් සාස්තරය.
දැන් ශ‍්‍රී ලංකාවේ සිදු වූවා යැයි කියන යුද අපරාධ පිළිබඳව සොයන්න පරීක්‍ෂණ කණ්ඩායමක් දාලා. ඒ කණ්ඩායමේ එක නෝනා කෙනෙක්, සුඩානයේ සිදු වූවා යැයි කියන යුද අපරාධ ගැන සොයන්න ගිහිල්ලා පක්‍ෂග‍්‍රාහී යැයි කියලා අන්තිමට එම පරීක්‍ෂණයෙන් ඉවත් කළ කෙනෙක්. ජෝර්දාන කුමාරයකු ගැනත් කියනවානේ. එයා තමන්ගේ රටේ හමුදාවට විරුද්ධව වාර්තාවක් සකසලා දුන්නු කෙනෙක්. එයා තමයි ‘පිල්ලේ’ නෝනාට පස්සේ මානව හිමිකම් කොමසාරිස් පුටුවට එන්න ඉන්නේ. තව නියම චරිත ටිකක් මේ කණ්ඩායමට ඇතුළත්. ඒ කණ්ඩායම ළගදීම ශ‍්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි. දැන් ආණ්ඩුව මේ ප‍්‍රශ්නය පාර්ලිමේන්තුවේ සාකච්ඡුා කිරීමට සූදානමින් ඉන්නවා. අද(10* සවස 05:00ට සන්ධාන පක්‍ෂ නායකයන්ගේ සාකච්ඡුාවක් තියෙනවා කොළඹ. ඒකට අපේ පක්‍ෂයේ නියෝජිතයන් සහභාගී වෙනවා. ‘මේ පරීක්‍ෂණ කණ්ඩායමට එන්න දෙනවාද? නැද්ද?’ ආවා, නාවා කියලා ඔවුන් දෙන තීන්දුවේ වෙනසක් වෙන්නේ නැහැ. ආවොත් උන්නැහැලාගේ තීන්දුව ටිකක් ලස්සන වෙනවා. නාවොත් ඒකපාක්‍ෂික විමර්ශනයක් කියන තැනට චෝදනාව යොමු වෙනවා.
පසුගියදා පුවත්පත්වල තිබුණා ට‍්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් රාජ්‍ය නොවන සංවිධානයේ නීතිඥ වැලිඅමුණලා හලාවත හෝටලයක මේ පරීක්‍ෂණ කණ්ඩායම හමුවේ සාක්‍ෂි දීමට උතුරේ පිරිස්වලට පුහුණුව ලබා දෙන බව. ‘කොහොමද බොරු ඇත්ත විදියට කියන්නේ’ කියලයි. මෙතැනදී උගන්වන්නේ. ‘යුද අපරාධ සිදු වුණා’ කියලා කියන්නයි මේ උගන්වන්නේ.
හතුරු බලවේග සූදානම් වන්නේ දෙමළ ජාතික සන්ධානය සහ මුස්ලිම් කොංග‍්‍රසය එකට එකතු වෙලා නටවන පාර්ලිමේන්තුවක් හදන්න. ඔවුන්ගේ පදයට නටන රූකඩ ආණ්ඩුවක් හදන්න, ඊළග ජනාධිපතිවරණයට කලින් නැගනහිර පළාත් සභාවේ බලය දෙමළ ජාතික සන්ධානයේ සහ මුස්ලිම් කොංග‍්‍රසයේ ඒකාබද්ධ පාලනයකට නතු කර ගනීවි. මධ්‍යම පළාත් සභාව තොන්ඩමන් මහතාගේ සහායෙන් පෙරළන්න බලාවි. ඒ විතරක් නොවෙයි වැඩි ඡුන්ද තුනක් තිබෙන බස්නාහිර පළාත් සභාවේ බලයත් ‘සල්ලි පොම්ප’ කරලා මන්ත‍්‍රීවරු කිහිප දෙනෙක් මිලදී ගෙන ලබා ගනීවි. මේ විදියට ‘පළාත් සභාවල බලය ගිලිහී යනවා, ආණ්ඩුව දැන් වැටෙන්නයි යන්නේ’ කියන මතය හදලා තමයි ඔවුන් ඊළග ජනාධිපතිවරණයට එන්න සූදානම් වන්නේ.
ඒ සතුරු කල්ලියේ අභිලාෂයන් ඉටුකර දීමට අපට උවමනා නැහැ. නමුත් තමන්ට එල්ලවන සාධාරණ  විවේචනයන්ට ඇහුම්කන් නොදීමෙන්, නිෂ්පාදනයට පණ පොවන ආර්ථික උපායමාර්ගයකට යොමු නොවීමෙන් ආණ්ඩුව දැන හෝ නොදැන මේ කරන්නේ ඉහත සතුරු බලවේගවලට ජයග‍්‍රහණය සඳහා සහයෝගය පළ කිරීමක්. අපි මේ කරන්නේ, ආණ්ඩුවට තේ බි බී කියන දේ නොතේරෙන හින්දා ‘අයිස් මල්ලකින්’ ඔළුවට ගහලා තේරෙන විදියට ඒ දේ කියන එකයි. අපි පසුගිය මැයි 05 වැනිදා අපේ සමුළුවෙන් කළේ ඒ දෙයයි. එහෙම ගැහුවාම ප‍්‍රතිචාර දෙකක් ලැබෙන්න පුළුවන්. එකක් තමයි, අනෙක් පැත්ත හැරිලා අපට ගහන එක. ඊළ`ග එක තමයි, ‘මොකද මට හිටි ගමන් ගහන්නේ?’ කියලා අහන එක. ආන්න ඒ ප‍්‍රශ්නය අහගන්න  ඕනෙ. ‘මේකයි ගැහුවේ. මෙහෙම ගියොත් ගමනක් නැහැ. වෙනස් වෙන්න’ කියලා අපට එතකොටනේ පැහැදිලි කරලා දෙන්න පුළුවන් වෙන්නේ.
සමුළුවෙන් පසුව ජනාධිපතිතුමන් අපට එන්න කීවා, පළමු සාකච්ඡව පැවැත්වූවා. එහිදී අපි පැහැදිලි කළා, ‘ජනාධිපතිතුමනි, මෙන්න තත්ත්වය. මේකයි අපි ඉදිරිපිට තිබෙන අභියෝගය. මේකට අනුව හිට ගන්න වෙනවා. නැතිනම් ගමන කෙළවර වෙන්න හොඳ තැනකින් නොවෙයි’ කියලා. එවැනි ප‍්‍රවේශයකින් පැවසුවාමනේ බැ?රුම් විදියට ඇහුම්කන් දෙන්නේ. මම මහනුවරට එනවිට දෙවන සාකච්ඡුාව රාත‍්‍රී 08:00ට දාන්න සූදානම් වුණා. අපි පැවසුවා, ‘ඒ වෙලාවට අපහසුයි’ කියලා. ඒ අනුව ජනාධිපතිතුමාගේ බොලීවියානු සංචාරයෙන් පසුව ඒ දෙවන සාකච්ඡව පැවැත්වේවි.
දැන් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් මේ පිළිබඳව සාකච්ඡ කරන්න කණ්ඩායමකුත් පත් කර තිබෙනවා. ඇත්තෙන්ම අපි මේ යෝජනාවලිය භාර දුන්නේ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයට නොවෙයි ජනාධිපතිතුමාට. ජනාධිපතිතුමා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නායකයා හින්දා ඒ පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයන්ගේ අදහස් විමසීම නිවැරදියි. කොහොම වුණත් එක්තරා ආකාරයකට මේ ගැන සාකච්ඡවක් සිදු වෙනවානේ. ‘මේවා  ඕනෙ නැහැ’ කියලා හිතපු මනස වෙනස් වෙනවානේ. වෙනස්වීමක්  ඕනෙ කියන තැනට ක‍්‍රම ක‍්‍රමයෙන් එන්න  ඕනනෙ. එහෙම ආපුවහම වෙනස්වීම සිදු වෙනවානේ. වෙනස්වීම සිදු වන කොට අර සතුරු බලවේගවල උගුලට ජාතිය හසුකර ගන්න බැහැනේ. එහෙම නොවුණොත් අර සතුරු බලවේගවලට ‘යහපාලනය’ බලාපොරොත්තුවෙන් ඡන්දය දෙන පිරිසකුත් හැදෙනවානේ. එහෙන් ‘යහපාලනය’ ලැබෙන්නේ නැහැ. එහෙන් හැදෙන්නෙ ‘බෙදුම්වාදයට අවශ්‍ය පාලනය.’ ඒක කෙලින්ම ‘අයහපත් පාලනය.’
අපි මෙහෙම කියන කොට සතුරු කල්ලිවලට යම් ආශ්වාදයක් ලැබෙනවා තමයි. නමුත් මේ දෙය කිව යුතුයි. අපි මෙහෙම කියන කොට සමහරු බයවෙලා. ජවිපෙ සහෝදරවරු නම් බයවෙලා ඉන්නේ අපි උන්නැහෙලාගේ ‘කොඩිය’ අතට ගනියි කියලා. අනේ අපි නම් ඔය ‘කොඩියට’ තරග කරන්නේ නැහැ. තමුන්නාන්සේලාම  ඕක තනියම අල්ලාගෙන යන්න. අද ජවිපෙ බටහිරට  ඕන න්‍යාය පත‍්‍රයක යන්නෙ. ඒ දවස්වල වික‍්‍රමසිංහ බලයට එන එක වළක්වන්න පරිවාස ගැසීම, සන්ධාන හැදීම, 2005 දී මහින්ද රාජපක්‍ෂ අගමැතිතුමාට ජනාධිපතිවරණයේදී සහයෝගය ලබා දීම ජවිපෙ අද දකින්නෙ වරදක් විදියටනේ. ජවිපෙ ඒ වරද කළ නිසානේ රට අද මේ තැනට හෝ ආවේ. අපි නම් කියන්නේ එදා කළ දේ නිවැරදියි කියා.
මේ මව් පොළොව දිවි පුදා රැක දුන් රණවිරුවන් බලාපොරොත්තු වුණා, තමන් මේ සටනේදී මියගියත්, තමන්ට ඒ ගමන සඳහා ජීවය දුන් ජාතික බලවේග යුද ජයග‍්‍රහණයෙන් පසුව මේ රට ඉදිරියට ගෙන යයි කියලා. අපට ඔවුන්ගේ ඒ බලාපොරොත්තුව ඉටුකර දීමට යුතුකමක් තිබෙනවා. අප මේ අද ඉටු කරමින් ඉන්නේ අපගේ හෘදය සාක්‍ෂිය අනුව ඒ යුතුකම.
අපි මේක නොකිව්වොත් තමයි, ආණ්ඩුවේ අපාය සහායක මිත‍්‍රයෝ වෙන්නේ. අපි 2005 දී මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමන්ව කරේ තියා ගෙන ගියේ, එතුමාගේ අපාය සහායක මිත‍්‍රයෙක් වෙන්න නොවෙයි, එතුමා කාටත් වඩා හොඳින් ඒක දන්නවානේ. යුද්ධය කරන වෙලාවේ ඒකට එරෙහිව ජවිපෙ අකුල් හෙළුවා. ජවිපෙ ඇතුළෙ ඒ ස්ථාවරයට එරෙහිව මතවාදී අරගලයක් කරලා අන්තිමටම එහි ප‍්‍රතිඵලයක් විදියට එළියට බහින්න අපට සිදු වුණා. ඉන් පසුව අපි අලූත් පක්‍ෂයක් හදලා ඒ යුද්ධයට අවශ්‍ය කරන තල්ලූව, ආණ්ඩුව ඇතුළට ඇවිල්ලා දුන්නේ කිසිදු වරදානයක්, වරප‍්‍රසාදයක් බලාගෙන නොවෙයිනෙ. අපි ඉල්ලූවේ, ‘මේ රටට සාමය රැුගෙන එන්න’ කියන එක විතරනෙ. එහෙම කරපු අපි මේ දේ අද නොකරනවා නම් කවුද මේ දේ කරන්නේ? අපි මේ දේ කියන්නේ අපට එසේ කීමට තියෙන සදාචාර බලය උපයෝගී කරගෙනයි. ජනතාවට අවශ්‍ය වෙනස්වීම් සිදු කර දීම හා සතුරු බලවේග අතට බලය යාම වැළැක්වීම යන කරුණු දෙක ඉටුකර දීම අපේ අරමුණයි.
මෙහෙම නොකියා ‘අතිවිශිෂ්ටයි සර්’ කිව්වාම හරිද? එතකොට මහජනයාත් ‘අතිවිශිෂ්ටයි’ කියලා එක පාරටම කියන්න පෙළඹෙනවාද? නැහැ. ඒ නිසා මේ වෙනස සඳහා අවශ්‍ය බලපෑම කරන්න අපි සූදානම් විය යුතුයි.
මේ අපි කියන දෙය ආණ්ඩුව තේරුම් ගත යුතුයි. නිවැරදි තැනට යම් ආණ්ඩුවක් තල්ලූ කරවීම තමයි, අපේ දේශපාලන උරුමය. අපි ජනතා විමුක්ති පෙරමුණේ ඉන්න කොට 2000 දී චන්ද්‍රිකා කුමාරතුංග පාලනය විවේචනය කරමින් ආවා. එහෙම ඇවිල්ලා අංශක 180ක් හැරිලා ‘පරිවාස ආණ්ඩු යෝජනාවලියක්’ දැම්මා. ‘රනිල් ආවොත් රට බෙදෙනවා. ඒකට ඉඩ දෙන්න බැහැ. ඒ හින්දා කොපමණ අඩුපාඩු තිබුණත් චන්ද්‍රිකා සමග එක`ගත්වයකට යන්න වෙනවා. අවුරුද්දක් අපි පරිවාස ආණ්ඩුවේ ඉමු. ඉඳලා එකට ඊළ`ග මැතිවරණයට තර`ග කරලා රනිල් වික‍්‍රමසිංහ පරදවමු’ කියලයි එදා ජවිපෙ පරිවාස ආණ්ඩු වැඩපිළිවෙළක් ගෙන ආවේ. ඒක හරි. නමුත් ඒ වැඩපිළිවෙළ සාර්ථක වූයේ නැහැ. ඒක මාසයෙන් වැටුණා. ඊට පස්සේ ඡුන්දයක් ආවා. ඒකෙන් රනිල් දින්නා. ජවිපෙ හිතපු විදියටම රනිල් රට බෙදන වැඬේ පටන් ගත්තා. ඊට පස්සේ ඒ රට බෙදන රනිල්ව එළවන්න  ඕනෙ වුණා. ඒ නිසා චන්ද්‍රිකා කුමාරතුංග සමග ගැහුවා සන්ධානයක්. චන්ද්‍රිකා ‘ඒකීයභාවය’ පිළිගත්තේ නැහැ. එයා ජවිපෙට කීවා, ‘අපි එක්සත්, ඔයාලා ඒකීය වෙලා ඉන්න’ කියලා. ඒ කාලයේ ජවිපෙට ‘ඒකීයභාවය’ නැතිව නින්ද යන්නෙත් නැතිවයි හිටියේ. දැන් නම් ඒක ඒ තරම් සලකන්නේ නැහැ. 2004 දී චන්ද්‍රිකා ඒකීයභාවය පිළිනොගත්තත් ජවිපෙ සන්ධානයකට එක`ග වුණා. ඒක අපහසු එකග වීමක්. 2005 දී නම් මහින්ද රාජපක්‍ෂ මැතිතුමා ඒකීයභාවය පිළිගත්තා. ඒ නිසා එතැන තිබුණේ පහසු එකග වීමක්. 2004 දී ජවිපෙ අපහසු එකගවීමකට එළඹුණේ රනිල් තවදුරටත් ‘හිටියොත් රට බෙදෙන එක වේගවත් වන නිසා ඒක වළක්වන්න. 2004 දී එක්සත් ජනතා නිදහස් සන්ධානය ජය ගත්තා. රනිල්ගෙන් රට බේරාගත්තා. 2005 ජුනි මාසයේදී චන්ද්‍රිකා රැගෙන ආ සුනාමි සහන මණ්ඩලයට විරෝධය පළ කරලා ජවිපෙ සන්ධාන ආණ්ඩුවෙන් එළියට ආවා. නමුත් ඊට මාස කිහිපයකට පස්සේ සන්ධාන අපේක්‍ෂක මහින්ද රාජපක්‍ෂ මැතිතුමාව කරේ තියාගෙන ගියා, ඒ වෙන කිසිවකටවත් නොවෙයි, රනිල් වික‍්‍රමසිංහ ජනාධිපති පුටුවට ආවොත් රට බෙදෙන එක වළක්වන්න බැරි හින්දා. අද අපි ආණ්ඩුවට වෙනස් වෙන්න කියන්නෙත් ඒ අර්ථයෙන්මයි. අද ජවිපෙ එදා භූමිකාව අතහැරලා ඒ වෙනුවට රනිල්ට බලයට එන්න වක‍්‍රාකාරව පාවඩ දමන භූමිකාවයි ඉටු කරන්නේ.
අපි 2005 දී ‘රජුන් තනන්නන්’ නොමැතිව ‘රජෙක්’ හැදුවා. තමුන්නාන්සේලා අහලා තියෙනවානේ, ‘දකුණුකරෙන් එන්න – නැෙ`ගනහිරින් එන්න . . .’ කියන ගීතය. ඒ ගීතය මම ලියුවේ, එතුමන් සමග 2005 ජනාධිපතිවරණ ප‍්‍රචාරක කටයුතු සඳහා අම්පාරට රැුස්වීම හෙලිකොප්ටරයකින් යද්දී. මේ ගීතය ලියද්දී ‘රජකු අපට ලැබුණා – එන්න එන්න එන්න . . .’ කියලත් ලියැවුණා. මේකෙ මම මහින්ද රාජපක්‍ෂ මහත්තයාට ‘රජා’ කියලා ලිව්වා කියලා ජවිපෙ දැනගත්තොත්, ඊට පහුවැනිදාම මාව අස් කරනවා. හැබැයි ඉතිං එතැනට ‘රජා’ නැතිව වෙන වචනයක් හරි යන්නෙත් නැහැ. ‘රජෙක් ලැබුණා’ කියන තැනට ‘කබ්බෙක් ලැබුණා’ කියලා ලියන්න පුළුවන්ද? ඉතිං මම එහෙම ලියපු ගීතය, නැවත ඩලස් අලහප්පෙරුම ඇමතිතුමාගේ අත් අකුරින් ලියවලා ඊට පස්සේ ඩලස් ඇමතිතුමා ලවාම රෝහණ වීරසිංහ මහත්තයාට කතා කරවලා, ෆැක්ස් කරන්න සැලැස්සුවා. එහෙම නොකළා නම් මම ‘රජා’ කියලා ලියුවාට ‘ක‍්‍රිමිනල් කෝර්ට්’ තමයි යන්න වෙන්නේ. එදා මහින්ද රාජපක්‍ෂ මහත්තයා ජනාධිපති කරවන්න ජවිපෙ මහන්සි වෙනවා. නමුත් ‘රජා’ කිවුවොත් ලෙඩක්. ඒක මම මේ වෙලාවේ කියුවේ, ‘අපට එදා ඒ පෙළගැස්වීම හදන්න සීමා මායිම් තිබුණේ නැති බව පෙන්වන්න. එදා ඒ ජයග‍්‍රහණය වෙනුවෙන් කළ යුත්තේ කුමක්ද, ඒ සියල්ල අපි කළා. අපි එහෙම කළේ මහින්ද රාජපක්‍ෂ මහත්තයා පෞද්ගලිකවම හඳුනන හින්දා හෝ වෙනත් කිසිවක් නිසා නොවෙයි, එසේ කිරීම රටට උවමනා වූ නිසයි. රටට හතුරු ගමන වැළැක්විය යුතු නිසයි.
සන්ධාන ආණ්ඩුව හදලා, එතැනින් එහාට ජනාධිපතිවරණ දිනවලා, යුද්ධය යනකොට ජවිපෙ අනෙක් පැත්තට හැරෙන කොට, ආඩපාලි කියන කොට, ඇද කුද හොයන කොට අපි එතැනදීත් නිවැරදි ස්ථාවරයේ හිටියා. ජවිපෙන් ගැලවිලා එන එක ලේසිපහසු දෙයක් නොවෙයි. අම්මා, තාත්තා දාලා එනවාටත් වඩා අමාරුයි. නමුත් ඒක නම් භාර ගන්න වෙන්නේ, කැමැත්තෙන්, සතුටෙන් නොවෙයි, උපේක්‍ෂාවෙන් ඒකක් භාර අරන් අපි එළියට ආවා. රටට තියෙන ආදරය වෙනුවෙන් රට අ`ගලකින් හරි ඉස්සරහට ගෙන යන්න මිසක් අපි වෙන කිසිවක් වෙනුවෙන් දේශපාලන තීරණ ගත්තේ නැහැ. හෙටත් ඒක එහෙමයි.
අප ඉදිරියේ තියෙනවා ලොකු අභියෝගයක්. නිවැරදි තැනට මේ රට තල්ලූ කරන්න  ඕනෙ. මේක ආණ්ඩුවට හතුරු ප‍්‍රතිවිරෝධයක් නොවෙයි. ආණ්ඩුවට මිතුරු ප‍්‍රතිවිරෝධයක්, මේක සැබෑ මිතුරු ප‍්‍රතිවිරෝධයක්, විරුද්ධ පක්‍ෂයේ අය තාවකාලික සතුටක් ඇති කර ගනීවි. නමුත් ඒකට අපට කරන්න දෙයක් නැහැ. ඒ තාවකාලික සතුට ඇති වෙන්නේ අපේ වරදක් නිසා නොවෙයි. අපි ඇතුළේ ඉඳලා මේ වෙනස්කම් කර ගන්න කීවාට ඒවා නොකෙරෙන හින්දා, කාටත් නොඇසෙන්න කීවාට නොකෙරෙන හින්දා තමයි කාටත් ඇහෙන්න කියන්න වෙලා තියෙන්නේ. එහෙම කියනකොට සතුරන්ටත් ඇහෙනවා. ඔවුන්ටත් කාලකන්නි සන්තෝෂයක් ලැබෙනවා. නමුත් ඒ සන්තෝෂය දීර්ඝ කාලීනව තිබෙන්නේ ආණ්ඩුව අවශ්‍ය වෙනස්කම් සිදුකර නොගත්තොත් පමණයි.
ආණ්ඩුව ජනතාවට හැකි පමණ සහන ලබා දිය යුතුයි. දැන් ලෝක වෙළඳපොළේ කිරිපිටි මිල 25%කින් පමණ බැහැලා. කිරිපිටි සමාගම්කාරයො කිරිපිටි මිල නග්ගා ගත්තේ අවුරුද්දකට කලින් ලෝක වෙළඳපොළේ පැවැති මිල පෙන්නලා. ‘පුංචි බණ්ඩා’ සමාගම්කාරයො ගෙන්වලා ජනාධිපතිතුමාට ඒත්තු ගැන්වූවා, කිරිපිටි මිල නැ`ගලා කියලා. හැබැයි ඒ අවුරුද්දකට කලින්. නමුත් මේ සමාගම් ගෙන්වපු වෙලාවේ ආයෙත් ලෝක වෙළඳපොළේ කිරිපිටි මිල බැහැලා තිබුණා. එදා ඒ කෙසේ වෙතත් ආණ්ඩුව ගහපු බද්දෙන් භාගයක් අඩු කළා. ඊට අමතරව කිරිපිටි කිලෝ ග‍්‍රෑමයක් මිල රු. 152කින් නග්ගන්න දුන්නා. කිරිපිටි සමාගම් අයුතු ලාභයක් විශාල වශයෙන් ගත්තා. දැන් 25%කින් මිල බැහැපුවහම අඩු කරනවාද? නැහැ. දැන් කියනවා, කලින් ගෙනාපු කිරිපිටි තොග තවම තියෙන්නේ කියලා. අවුරුද්දකට කලින්නෙ මේ මිලට කිරිපිටි නැග්ගේ. එහෙම නම් ලංකාවෙ දැන් විකුණන්නේ අවුරුද්දකට කලින් ගෙන්වපු පරණ කිරිපිටිද? එහෙම නම් ඒ පරණ කිරිපිටි බොන්නත් හොඳ නැහැ. ලෝක වෙළඳපොළේ කිරිපිටි මිල නැග්ගා කියලා කිරිපිටි සමාගම් ජනාධිපතිතුමන් හමුවට ගෙනාපු පුංචි බණ්ඩා අද මේ ‘තවමත් තියෙන්නෙ පරණ ස්ටොක්’ කියමින් කිරිපිටි මිල අඩු නොකරන සමාගම් ජනාධිපතිතුමන් ළගට රැගෙන එනවාද? නැහැනේ. යන්තම් අර බදු මුදල වැඩි කරනු ලැබුවා. ඒත් මහජනයාට සහනයක් නැහැනේ.
දෙන්න තියෙන සියලූ සහන මහජනයාට දෙන්න  ඕනෙ. ජනාධිපතිතුමා කැබිනට් මණ්ඩලයේදී ආපු අදහස් අනුව තීන්දුවක් ගත්තා, ‘ඒකක 60ට අඩුවෙන් භාවිතා කරන විදුලි පාරිභෝගිකයාගේ විදුලි බිල ඉහළ නොදමන්න’ නමුත් දැන් සොයලා බලනකොට ඒ අයගෙත් බිල වැඩිවෙලා. ජනාධිපතිතුමන් රටට කිව්වේ එහෙම වෙන්නේ නැහැ කියලා. පුංචි බණ්ඩලා ඒක ගණන් ගන්නේ නැහැ.
මේ රටේ ජනතාව පීඩා විඳින ගැටළුවලට හේතු කාරණා හොයලා ඒවාට පිළියම් යොදන්න  ඕනෙ. නව කෘෂිකර්මාන්තයත් සමග බැඳුණු කර්මාන්ත සංස්කෘතියකට රට ගෙනෙන්න  ඕනෙ. අලූත් ආයෝජක පරපුරක් මේ රටේ හදන්න  ඕනෙ. ඔවුන්ට සහන ලබා දෙන්න  ඕනෙ. නව ව්‍යවස්ථාවක් ගෙනෙන්න  ඕනෙ. ඊට අදාළ කෙටුම්පතක් හදන්න  ඕනෙ. ඒකට මහජන අදහස් ලබා ගන්න  ඕනෙ. මාස තුනක් පමණ ඒ පිළිබඳ සංවාදයක් කරන්න  ඕනෙ. අවශ්‍ය වෙනස්කම් කරලා, ඒ නව ව්‍යවස්ථාව ක‍්‍රියාවට නගන තැනට මේ රට ගෙන එන්න  ඕනෙ.
ජයවර්ධන හදපු නූතන රාජ්‍යය වෙනුවට දිනාගත් සාමය යටතේ නව රාජ්‍යයක් ගොඩනගන්න  ඕනෙ. උතුරට උතුරු වසන්තය ගියා. නැගනහිරට නැගනහිර උදානය ගියා. ඒ සමගම නව ගොඩනැගිලි, පාලම්, කාපට් පාරවල්, විදුලි යෝජනා ක‍්‍රම ගියා. නමුත් ඡුන්ද දෙමළ ජාතික සන්ධානයට ගියා. ඒ කියන්නේ, උතුරු වසන්තය සහ නැගනහිර උදානයට ජනතා හදවත් දිනාගන්න බැරිවෙලා තියෙනවා කියන එකයි. ඒ හදවත දිනන්න පුළුවන් වන විදියේ ව්‍යායාමයක් මේ රටට  ඕනෙ. ඒ ජන සමාජයේ අධ්‍යාත්මය වෙනස් කරන මහා සංස්කෘතික පෙරළියක් මේ රටට අද  ඕනෙ. ඒ පෙරළිය අද සාකච්ඡුා මේසයේ නැහැ. එක්කෙනෙක්, දෙන්නෙක් ඒවා බදා ගත්තා කියලා මේ දැවැන්ත වෙනස කරන්න බැහැ.
ඒ නිසා අපට අපට තියෙනවා ලොකු වගකීමක්. ඒ ජනතා හදවත් දිනාගැනීමේ මෙහෙයුම් මේ වෙනසට ඇතුළත් කරන්න  ඕනෙ. ඒ හැම ක‍්‍රියාදාමයක්ම එක්කෙනෙක්, දෙන්නෙක් අතේ හිරවෙලා තියෙන ක‍්‍රමවේද වෙනුවට වැඩ කටයුතු බෙදා හදා ගෙන, සාමූහිකව යන ගමනකට පරිවර්තනය විය යුතුයි.
මෙතැනට මේ රට හරවන්න  ඕනෙ. ඒ දිශාවට ආණ්ඩුව පොළොඹවන්න  ඕනෙ. ඒක වෙනුවෙන් අපි අපට කරන්න පුළුවන් සෑම බලපෑමක්ම සිදු කරනවා. ‘බල්ලො නාවනවා’ වගේ හරි අමාරුවෙන් හෝ ඒ දෙය කරන්න  ඕනෙ. බල්ලා නාවන එක නම් අමාරුයි. ‘එක කකුල් දෙකක් මෙහාට අදිනකොට, අනෙක් කකුල් දෙකෙන් එහාට අදිනවා.’
එසේ නමුත් රට හමුවේ තිබෙන මේ අභියෝගය ජය ගන්න අවශ්‍ය සියලූ කැප කිරීම් කරන්න අපි සූදානම්. පරීක්‍ෂණ එනවා, එක එක මඩ ගැසීම් එනවා. අපෙන් කවුරු හරි කඩා ගන්න බලනවා. ඒ මොනවා කළත් කමක් නැහැ. මේක ‘කායික රෝග විශේෂඥයන්ට’ තේරෙන දෙයක් නොවෙයිනේ. ඔය ‘කායික රෝග විශේෂඥයෝ’ සමාජයේ ජන අධ්‍යාත්මයේ තියෙන ප‍්‍රශ්නවලට උත්තර දෙන්න ගියාම මෙහෙම වෙනවානේ. අපි මේ කියන්නේ ගමනේ ප‍්‍රශ්නයක්. මේ ප‍්‍රශ්නයට පිළියම් යොදන්න  ඕනෙ, ‘කායික රෝග විශේෂඥයෝ’ නොවෙයි, අපෙන් දෙතුන් දෙනෙක් එහාට ඇද්දාම ‘ලෙඬේ’ හොඳ වෙයි කියලා එයා හිතනවා. ඒක හරි යන්නේ නැහැ. ලෙඬේ එකක්, බෙහෙත වෙන එකක්. මේ තියෙන්නේ සමාජයෙන් ආපු ලෙඩක්. අපි හදපු එකක් නොවෙයි.
ඒ නිසා මෙතැන තියෙන ඇත්ත අභියෝගය ඉදිරියේ ජනාධිපතිතුමාට සහ ආණ්ඩුවට හිටගන්න පුළුවන් වෙන්න  ඕනෙ. එතුමා යුද්ධය දිනන්න රටට නායකත්වය දුන්නා. ඒ අවදානම භාර අරන් ඒ යෝධ වගකීම සාර්ථකව ඉටු කළා. එතුමාගේ පාලන කාලය තුළ නූතන රාජ්‍යය ගොඩනගන්න පුළුවන් වෙන්න  ඕනෙ. ඒක පාරවල් හෝ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමෙන් පමණක් ගොඩනගන්න පුළුවන් රාජ්‍යයක් නොවෙයි. ජනතාවගේ අධ්‍යාත්මය ගොඩනගන දිසාවට, සංස්කෘතික පෙරළියක් ඇති වෙන දිසාවට, සිංහල, දෙමළ, මුස්ලිම් ජන සමගිය ඇති කරන දිසාවට, ජාතිය ඉදිරියේ ඇති ඇත්ත අභියෝග දිනන දිසාවට, ආර්ථිකයේ මහා නිෂ්පාදන සංස්කෘතියක් ගොඩනගන දිසාවට, ඒකට අවශ්‍ය දරුවකු අධ්‍යාපනයෙන් හදන දිසාවට සමස්තයක් ලෙස සිදු වන පරිවර්තනයක්  ඕනෙ. ඒ සඳහා ආණ්ඩුව පොළොඹවන්න අවශ්‍ය කුමක්ද? ඒ සියල්ල අපි කරනවා. ඒක කරන්න තමයි මේ යෝජනා 12ක් දුන්නේ. යෝජනා 12 පිළිගත්ත ගමන් මේ සියල්ල සිදු වන්නේ නැහැ. යෝජනා 12ට එකග වීමෙන් එක දෙයක් පැහැදිලි වෙනවා. ඒ තමයි ‘වෙනසකට සූදානම්’ කියන එක. දැන් අපි අහන්නේ ‘ඒ වෙනස කරා යොමු වෙන්න සූදානම්ද? නැද්ද? කියලයි. මේකට ලැබෙන පිළිතුර රටේ අනාගතය කෙරෙහි බලපාන පිළිතුරක්. කොහොම වුණත් අපි විශ්වාස කරනවා, ‘මේ රට අවාසනාවන්ත නැහැ’ කියලා. මේ රට වැටිලා තිබුණු ප‍්‍රපාතයෙන් ගොඩට ආවා. ඉතිං ඉතිරි ‘කොඩිවින’ ටිකත් කපන්න  ඕනෙ. ‘මවාගත්තු සංවර්ධන මොඩලය’ වෙනුවට ‘ජාතියට උවමනා නිෂ්පාදන සංස්කෘතියක් සහිත ආර්ථික මොඩලයක්’ ඇතුළෙ මේ රට ස්ථානගත කරන්න  ඕනෙ. ඒ සඳහා ඔබ සියලූ දෙනාගේ දායකත්වය, සහභාගීත්වය හා ශක්තිය අපට අවශ්‍යව තිබෙනවා.
මහජනතාවගෙන් ලැබෙන බලය හා ශක්තිය තමයි අපි රට වෙනුවෙන් ආයෝජනය කරන්නෙ. අපි ඒ බලය හා ශක්තිය ආයෝජනය කළේ රට නැහැ අපේ බඩ තරකර ගන්න. අපි පෙරළා ඒක ආයෝජනය කළේ රට නැවත ශක්තිමත් කරන්න. ඒ නිසා ඔබ සැම ලබා දෙන ශක්තිය ඉතාම වැදගත්. අපි එකට එකතු වෙමු. මේ අන්තරාය දකිමු. මව්බිමට සතුරු බලවේග ‘මව්බිමේ සුක්කානම’ සියතට ගැනීමේ මෙහෙයුම වළක්වන්න නම් ජාතියේ අභිලාෂයන්ට අනුව ආණ්ඩුව නැවත ස්ථානගත කළ යුතුයි. ඒ සඳහා මහා බලපෑම ගොඩනගන දැවැන්ත ජනතා බලවේගය ගොඩනගමු.. ඒ සඳහා පෙරමුණ ගනිමු…!’
මෙම සම්මන්ත‍්‍රණයේ මුලසුන ජාතික නිදහස් පෙරමුණේ මහනුවර දිස්ත‍්‍රික් නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී නිමල් පේ‍්‍රමවංශ මහතා විසින් දරනු ලැබීය.
මාධ්‍ය ඒකකය
ජාතික නිදහස් පෙරමුණ

Tuesday, June 10, 2014

සල්ලි කන්දක් යට කළ චන්ද්‍රිකාව කෝ ?

සල්ලි කන්දක් යට කළ චන්ද්‍රිකාව කෝ ?

සල්ලි කන්දක් යට කළ චන්ද්‍රිකාව කෝ ?
නවසිය හැට ගණන්වල  අග භාගයේදී මුළු ලෝකයම උද්දාමයට පත් කළ පුවතක් වාර්තා විය . හඳ මතට මිනිසෙකු ගොඩ බසිනවාය යන ඒ පුවත ඒ දිනවල මහත් ආන්දෝලනයකට තුඩු දුන්නකි . ආන්දෝලනයට තුඩු දුන්නේ මේ ව්‍යාපෘතිය  ඇමෙරිකානු එකක් වීමය. ලෝකයටම ලොකු අයියා වීමට කැස කවෙමින්  සිටි “සෑම් මාමා” මේ වතාවේදීත් තමන්ගේ ඇස්  බැන්දුමකට   ලෝකයා හසු කර ගත්තාද යන්න පිළිබඳ වූ  එකී සැකය  ආන්දෝලනයට හේතු විය . එදා පමණක් නොව අදත් මේ මොහොත වනවිටත් ලෝකයේ බොහෝ දෙනා මතු නොව ඇමෙරිකාවේ සමහර අයද සඳ ගමන මුලාවක් යැයි සිතති.
සුවිශාල මාධ්‍ය සංදර්ශනයකින් යුතුව ඇරඹුණු ලංකාව අභ්‍යාවකාශය ජය ගැනීමේ ආශ්චර්යයවත් ව්‍යාපෘතිය ගැන ද දැන් මතුවී ඇත්තේ මෙවැනි සංශයවාදී ආන්දෝලාත්මක මත ගැටුමකි .
ලංකාව ඇත්තටම චන්ද්‍රිකාවක් යැව්වාද ? යැවූ චන්ද්‍රිකාව ලංකාවට අයිතියි ද ? එයින් අපට ඇති වාසිය කුමක්ද ? වෙනකක් තියා එය යහතින් ක්‍රියාත්මක වෙනවාද ? යන කරුණු ගැන හුදී ජනයා තුළ සැකයක් මතුවීම සාධාරණය . ස්වාභාවිකය . මක් නිසාද යත් මහා අභ්‍යවකාශ යුද්ධයක් මෙන් මහා මාධ්‍ය සමඟින් ඇරඹුණ මෙකී වැඩ පිළිවෙල අහස වෙඩිල්ලක් මෙන් ක්‍ෂණිකව ඉහළ නැඟ එක්වරම පුස් වෙඩිල්ලක් මෙන් කිසිඳු හාවක් හූවක් නැතිවම නිහඬ වී ඇති හෙයිනි . ලංකාවේ චන්ද්‍රිකා වැඩ පිළිවෙල  පිළිබඳ කතා බහ 2009 වසර දක්වා අතීතයට ඇදී යන්නකි .  ලියෝ නමින් හැඳින් වූ එකි මුල් වැඩසටහන ද දැඩි කතා බහකට ලක් වී පසුව හේබා   ගියේ ය .
මේ අතර කොළඹ මැද අලුතෙන් පිහිට වූ ලංකාවේ උපත ලද කෝටි පතියෙකුට අයත්  සුප්‍රීම් සැට් නමැති පෞද්ගලික සමාගමක් 2012 වසර මුලදී තමන් අභ්‍යවකාශයට මුල් පියවර  තැබීමට සූදානම් බව ප්‍රකාශයට පත් කළේ ය . මේ ආයතනයේ ප්‍රකාශයට ලොකු තැනක් ලැබුණේ ආණ්ඩුවේ ප්‍රබලයෙකුගේ පුත්‍රයෙකු ද සමාගමේ ප්‍රධාන තනතුරක් උසුලන බව බවට ප්‍රකාශයට පත් වීමත් සමඟිනි . අභ්‍යවකාශය ජය ගැනීමේ මුල් පියවර වශයෙන්  ලංකාවට අයත් චන්ද්‍රිකා යුගලයක් පෘථිවී භූස්තාවර කක්ෂයේ රැඳවීම මෙකී සමාගමේ පිඹුරුපත් අතර මුල් තැන ගෙන තිබුණි. ඒ අනූව චීනයේ ග්‍රේට්වෝල්  කර්මාන්ත සමාගමේ අනු ආයතනයක් වන චයිනා  සැට්කොම්  සමාගම හා එක් වී ලංකාවේ සුප්‍රීම් සැට් මුල්ම චන්ද්‍රිකාව අහස ගත කිරීමට තමන් සමත් වූ බව සුප්‍රීම් සැට් සමාගම නිවේදනය කළේ ය . මුලින්ම සුප්‍රීම් සැට් 1 නමින් හැඳින් වූ එම චන්ද්‍රිකාව ලංකාවේ ධජයේ සලකුණ යටතේ උඩු ගුවනට යැවූ බව වාර්තා කෙරිණි . චන්ද්‍රිකාව උඩු ගුවනට යැවීමට සැලසුම් කර තිබු දිනයට , එනම් 2012 නොවැම්බර් 27 පැය 15 :  43 ට එය චීනයේ සිචුවාන් පළාතේ ශිචැන්ග් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේදී ගුවන් ගත කළ බව වාර්තා කෙරිණි .
>> සුප්‍රීම් සැට් 1 ලෙස ලංකාවේ ආයතනය මේ චන්ද්‍රිකාවට නම ලබා දුන්නද චීනයේ පාර්ශවය එහි නිල නාමය ලෙස යොදා ඇත්තේ චයිනා සැට් 12 ලෙසිනි . චීනයේ චන්ද්‍රිකා තෝම්බුවේද සඳහන්ව ඇත්තේ එකී නමයි <<
කෙසේ හෝ වේවා ලංකාවට සන්නිවේදන චන්ද්‍රිකා තාක්ෂණයේ  අඩ අයිතියක් හෝ හිමිකර දීමට මේ මූලික පිම්ම සමත් වූවායැයි සිතා බොහෝ දෙනා එදා සැනසුම් සුසුම් හෙළුහ .
ලංකාවේ මේ කියන අභ්‍යවකාශ  ව්‍යාපෘතිය උදෙසා  ඇමෙරිකානු ඩොලර්  මිලියන 320 ක විශාල සල්ලි කන්දරාවක් වැය වන බව  ඒ දිනවලදීම  ප්‍රකාශ විය . එයින් අඩක් චීන ණය අධාර ලෙස ද , කොටසක් රජයේ වියදමින් ද දරන බවට ප්‍රකාශයට පත් විය . පසුව වාර්තා කෙරුනේ ඉහත සමාගම් මඟින් එය දරන බවටය . අවුරුදු 5 ක කාලයක් තුළ  ක්‍රියාත්මක කිරීමට නියමිත්  වූ මෙකි ව්‍යාපෘතිය මඟින් මූලික අදියර තුනකදී අභ්‍යවකාශ ජය ගැනීමේ පියවර ඇරඹීමට ඉහතකී සුප්‍රීම් සැට් සමගම පිලින දී තිබුණි ..
එකී මුල් අධියර වූයේ ඉහත කී සුප්‍රීම් සැට් 1 ( චයිනා සැට් 12  ) චන්ද්‍රිකාව ඒකාබද්ධ ව්‍යාපෘතියක්  ලෙස  2012 අග භාගයේදී උඩු ගුවනට යැවීමයි . ඒ අනූව 2013 ජුලි පමණ වන විට එහි වානිජමය කටයුතු ආරම්භ වීමට නියමිතව තිබුණි .
මෙහි දෙවැනි අරමුණ හෙවත්  අදියර වශයෙන්  සඳහන්ව තිබුණේ ද සිදුවෙන්නවානම් ඉතා වාසිදායක සහ ලංකාවේ අනාගත පරපුරට සුභදායි අවස්ථා රැසක් අභ්‍යවකාශ  ක්ෂේත්‍රයේ  හිමි කරදීමට  සමත් වූවකි . එනම් ,  අභ්‍යවකාශ තොටුපොළක් ( teleports )  සහ අභ්‍යවකාශ විද්‍යාපීඨයක් පල්ලේ කැලේ ආයෝජන මණ්ඩල කලාපයේ ආරම්භ කිරීමය . එය ද 2013 වසරේ මැද භාගයේ දී ඇරඹීමට නියමිතව තිබිණි .
මෙහි තුන්වන අධියර ලෙස සඳහන්ව තිබෙනේ ලංකාවටම තනි අයිතිය හිමි සුප්‍රීම් සැට් දෙක චන්ද්‍රිකාව 2016 මැද භාගය වන විට උඩු ගුවනට යැවීමයි . කෙසේ  වුවද 2012 නොවැම්බර 27 මහා අඩහැරයෙන් පසු මෙකි ව්‍යාපෘතිය   තෙරක් නොපෙනෙන අඳුරු අභ්‍යවකාශයේම දියවී ගියාක්  බඳු නිහඬ ස්වභාවයක් මතුව තිබිණි .
මුල් චන්ද්‍රිකාව ගුවන් ගත් කිරීමෙන් පසු වූ දීර්ඝකාලීන නිහැඬියාව තුළ රටේ නොයෙකුත් අංශ වල විද්වතුන් පමණක් නොව පාර්ලිමේන්තුව තුළද මෙකි චන්ද්‍රිකාවේ උපත මෙන්ම දැන් එයට සිදු වූ දේ පිළිබඳවද විවිධ කතා බහ එළිදැක්විණි . විපක්ෂයේ තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා මේ ගැන දැඩි විවේචනයක් එල්ල කරමින් කියා සිටියේ රාජ්‍ය අනුග්‍රහය ලද මේ ව්‍යාපෘතිය අනාගත පරපුර චීනයේ ණයකරුවන් බවට පත් කරන එකක් බවටය .
චන්ද්‍රිකාව පිළිබදව කතා බහ ඇරඹුණු මුල් යුගයේ සිටම එය ගැන කියවුනේ මෙය ආණ්ඩුවේ ව්‍යාපෘතියක් හැටියට ය .
>> ආණ්ඩුව චීනයෙන් ණය ගෙන ඒ මුදල චීනයටම  ගෙවා ලංකාවේ ජාතික ධජය චන්ද්‍රිකාවක පින්තාරු කර අමුතු නාඩගමක් නැටීමට සැලසෙන බවට කතා බහක් ඒ දිනවල පැතිර තිබුණි.<<
ඇත්තටම මේ කියන වකවානුවේදී  බොහෝ දෙනා  විශ්වාස කළ කාරණාවක් වූයේ මෙය ආණ්ඩුවේ ව්‍යාපෘතියක් බව ය . මේ නිසා මෙකි ව්‍යාපෘතියට ආණ්ඩුව ජනතාවගේ මුදල් යොදවන බවට  ද  ඒවා පෞද්ගලික සමාගමකට යුතු ලෙස ලබා දෙන බව ද චෝදනාවක් කෙරිණි .  ඒ කාලයේ ඒකි චෝදනා ප්‍රතික්ෂේප කිරීමට කිසිවෙකුත් උත්සාහ දැරුවේ නැත . කෙසේ වුවද අදාළ සුප්‍රීම් සැට් සමාගම මෙන්ම රජයේ ජ්‍යෙෂ්ට ඇමතිවරයෙකු වන මහාචාර්ය තිස්ස විතාරණ ද මෑතකදී පෙන්වා දී ඇත්තේ මෙය මුලින්ම පෞද්ගලික ආයතනයක් හා චීන රජය සම්බන්ධ වැඩ කටයුත්තක් බවයි . කෙසේ හෝ වේවා , මිලියන 22ක් වූ ලාංකේය ජනතාවගේ හේබා ගිය ජනතාවගේ ජීවිතවලට මහත් අමන්දානන්දයක් ලබා දෙන්නට සමත් උද්වේගී විද්‍යා ප්‍රබන්ධ කතාවක් බවට පත්වන්නට තිබු  ලාංකේය අභ්‍යවකාශ වැඩ පිළිවෙල පිළිබද මහා හා හෝව දැන් නැවතී තිබේ .
ඩොලර් මිලියන ගණනක මුදල් අහසට විසි කර දැමු පසුව එයට සිදු වූයේ කුමක් දැයි හැරී නොබලනට තරම් අපේ රට හදීසියේම සශ්‍රීක බවට පත්ව තිබේ ද ?
>> සුප්‍රීම් සැට් සමාගමේ වෙබ් අඩවිය තුළ ද චන්ද්‍රිකාවට සිදු වූ දෙය පිළිබද ප්‍රගති සටහනක් දක්නට නොලැබේ . <<
2013 වසරේ විවිධ වාණිජ කටයුතු සඳහා යොදා ගන්නා බව කීව ද මෙකි චන්ද්‍රිකාව පිළිබඳව හෝ කිසිඳු තොරතුරක් ඔවුන් සඳහන් කරන්නේ නැත . එසේ  වුවද 2013 අවසන් භාගය වන විට සුප්‍රීම් සැට් සමාගම ඇමෙරිකානු ඩොලර්  මිලියන 215ක  අලුත් කොන්ත්‍රාත්තුවකට එළඹී බව වාර්තා වෙයි. ඒ අනූව 2016 දී සුප්‍රීම් සැට් දෙක ලෙස ඔවුන් හඳුන්වා දෙන ශ්‍රී ලංකාවටම අයිති උරුමය වූ චන්ද්‍රිකාව උඩුගුවනට යැවීමට බලාපොරොත්තු වේ.
මේ අතරම පල්ලේ කැලේ ආරම්භ කිරීමට නියමිතව තිබූ අභ්‍යවකාශ තොටුපොළ සහ අභ්‍යවකාශ ඇකඩමියට සිදු වූයේ කුමක්ද යන්න පිලිබඳවද කතා බහක් මතු වී තිබේ . එයද 2013 වසරේදී මැද භාගයේදී ඇරඹීමට නියමිත වූවකි . දැනට වාර්ථාගත අන්දමට මේ ආයතන දෙක උදෙසා අවශ්‍ය මුල් ගල්  පිහිටුවීමට කටයුතු කර තිබේ . එපමණකි .
සුප්‍රීම් සැට් 1 චන්ද්‍රිකාව මඟින් ලංකාවේ ජනතාවට සහනය සලසමින් අඩුමිල චන්ද්‍රිකා සේවා , රූපවාහිනී චැනල් , අන්තර්ජාල පහසුකම්  , සන්නිවේදන මාර්ග බඳු මෙකි නොකී  සේවාවන් රැසක්ම සැලසෙන බව චන්ද්‍රිකාව ගුවනට යාමටත් පෙර සිටම ප්‍රකාශ වී තිබිණි.  මේ පහසුකම් 2013 මැද භාගය වන විට සැපයෙන බව ප්‍රකාශ වුවද අද මේ වන තුරු ද එවැනි දෙයක් සිදුවන බවට හොදුවාවක්වත් දක්නට නැත.
ආයතනයේ ප්‍රකාශිකාවක් මේ ගැන අදහස් දක්වමින් කීවේ ආයතන මේ දවස්වල තවත් සමාගම් දෙකක් සමග සාකච්ඡා පවත්වමින් සිටින බවයි . චීනයේ චන්ද්‍රිකාව සිය සන්නිවේදන කටයුතු සිදුකරන කලාපය නැගෙනහිර අංශක 87.5 ය. අ අනූව ඒකි කලාපයේ සිට ලැබෙන තොරතුරු ග්‍රහණය කර ගැනීම උදෙසා අවශ්‍ය අන්දමට ඇන්ටෙනා දීප ව්‍යාප්තව පිහිටවිය යුතුව ඇති බවත් , එය එක් රැයකින් සිදුකළ හැකි ප්‍රතිහාර්යක් නොවන බවත් ඇය පෙන්වා දෙයි . මේ දින වල සාකච්ඡා සිදු වන්නේ එකී යටිතල පහසුකම් සලසාගැනීමට බව මේ අනූව ගම්‍ය වෙයි . තවත් වසර එක්කක් හෝ දෙකක් මේ අනූව අපේම චන්ද්‍රිකාවකින් සන්නිවේදන කටයුතු කර ගැනීමට කල් බැලිය යුතු බව   මේ පිළිබඳව  දැන ගන්නට ඇති අලුත්ම තත්ත්වයයි .. එසේ වුවද අභ්‍යවකාශ ඇකඩමිය හෝ අභ්‍යවකාශ තොටුපොළ හෝ පිළිබදව මුල් ගල්වලින් එහාට ගිය ප්‍රගතියක් තාම සිදු වී නැත. මේ ප්‍රශ්නවලට වග කිවයුතු අංශවලින් ද ලැබෙනුයේ අඳුරු අභ්‍යවකාශයේ නිහඬතාව බඳු මහා නිහඬතාවකි .
- ‘දේශය’ පුවත්පතිනි