Translate

Translate

Tuesday, March 25, 2014

හම්බන්තොට මැතිවරණ ව්‍යාපාරය නතර කළා

හම්බන්තොට මැතිවරණ ව්‍යාපාරය නතර කළා
- ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂ නායක සරත් ෆොන්සේකා

නිමල් හේමසිරි - රදම්පල සිසිල් රුවනාර - වලස්‌ගල අතිරේක

තම පක්‍ෂයේ ආධාරකරුවන්ට පහර දෙමින් ජීවිත හා දේපළ විනාශ කරන බවට තර්ජනය කරමින් හම්බන්තොට දිස්‌ත්‍රික්‌කය තුළ රාජ්‍ය ත්‍රස්‌තවාදය මුදා හැර ඇති නිසා එම දිස්‌ත්‍රික්‌කයට මැතිවරණ ව්‍යාපාරය සඳහා ඇතුළු නොවීමට තම පක්‍ෂය තීරණය කළ බව (24 දා) දහවල් දික්‌වැල්ලේ පැවැති මාධ්‍ය සාකච්ඡාවක්‌ අමතමින් ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයේ නායක හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා පැවසීය.

ඒ මහතා තවදුරටත් අදහස්‌ දක්‌වමින් - අපි පළාත් සභා මැතිවරණය සඳහා හම්බන්තොට දිස්‌ත්‍රික්‌කයේ රැස්‌වීම් 12 ක්‌ තියන්න තීරණය කළා. මීට පෙර රැස්‌වීම් 9 ක්‌ සඳහා අපි නීත්‍යනුකූලව අවසර ඉල්ලුවත්, අපට අවසර ලැබුණේ නෑ. අපි ගුලුගහ හන්දියේ රැස්‌වීමක්‌ තියන්න අවසර ඉල්ලුවා ලැබුණේ නෑ. බෙලිඅත්තේ ගැටමාන්නේ රැස්‌වීමක්‌ තියන්න හදන කොට එතැනට ආපු මේ රටේ පාලකයාගේ හා ඔහුගේ පුත්‍රයාගේ අනුගාමිකයෝ අපේ ආධාරකරුවන්ට පොලිසිය බලා සිටියදී පහර දෙමින්. ජීවිත තර්ජන එල්ල කරමින් ආයුධ සන්නද්ධව කටයුතු කළා. පොලිසිය කිසිදු පියවරක්‌ ගත්තේ නෑ. ජ්‍යෙෂ්ඨ පොලිස්‌ නිලධාරීන්ද එහි සිටියා.

මේ තත්ත්වය තුළ අපේ ආධාරකරුවන්ගේ ජීවිත හා දේපළ විනාශ කරන බවට තර්ජන දිගින් දිගටම පැමිණියා. අපි පොලිස්‌පතිතුමාට පැමිණිලි කළත් එයා කියනවා, සාමාන්‍ය තත්ත්වය යටතේ දේශපාලනඥයන්ට දෙන ආරක්‍ෂාව දෙන්න පුළුවන් කියලා. අපිට මැතිවරණය භාර නි. පොලිස්‌පතිවරයා කියනවා ආරක්‍ෂාව දෙන්නම් කියලා. නමුත් ලිතව ඉල්ලුවාම එය ප්‍රතික්‍ෂේප කළා. ඒ ගැන ඔහුට විශ්වාසයක්‌ නෑ.

මේ තත්ත්වය තුළ අපි දකුණේ හා බස්‌නාහිර ජනතාවගෙන් ඉල්ලා සිටියා. මෙම මැතිවරණයේදී රාජ්‍ය ත්‍රස්‌තවාදය ප්‍රතික්‍ෂේප කරමින් තම ඡන්දය පාවිච්චි කරන ලෙස රජය කිසිසේත්ම සාධාරණ මැතිවරණයක්‌ තියන්නේ නෑ. පක්‍ෂවලට සමාන ලෙස සලකන්නේ නෑ. රාජ්‍ය දේපළ හා මාධ්‍ය අයුතු ලෙස යොදා ගනිමින් කටයුතු කරනවා.

මෙම මාධ්‍ය සාකච්ඡාවේදී නියෝජ්‍ය නායක ජයන්ත කැටගොඩ, ප්‍රජාතන්ත්‍රවාදී භික්‌ෂු සංවිධානයේ මහලේකම් බියගම සුසීල හිමි, මාතර දිස්‌ත්‍රික්‌ නායක ජනිත් විපුලගුණ, හම්බන්තොට දිස්‌ත්‍රික්‌ නායක දේවක වීරසිංහ යන මහත්වරු ද අදහස්‌ දැක්‌වූහ. අනෝමා ෆොන්සේකා මහත්මියද මෙම අවස්‌ථාවට සහභාගි වූවාය.


No comments:

Post a Comment