Translate

Translate

Thursday, March 6, 2014

දේශීය පරීක්‍ෂණ වැඩක් නෑ.. ලංකාවට ජාත්‍යන්තර පරීක්‍ෂණයක් ඕනෑ – නවිපිල්ලේ ජිනීවා අමතයි

ශ‍්‍රී ලංකාවේ සිදුව ඇතැයි කියන මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ස්වාධීන ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වීමට කාලය එළඹ ඇතැයි ජගත් මානව හිමිකම් මහ කොමසාරිස් නවනීදන් පිල්ලෙයි මහත්මිය පවසයි.
ස්විස්ටර්ලන්තයේ, ජිනීවා නුවර පැවැත්වෙන ජගත් මානව හිමිකම් කවුන්සිලයේ 25 වන සැසිවාරය අමතමින් ඇය මේ බව කියා සිටියාය.
වගවීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකාව පැවැත්වූ කිසිදු අභ්‍යන්තර පරීක්ෂණයකින් අපේක්ෂිත ප‍්‍රතිඵල අත්කර ගැනීමට නොහැකි වී ඇති බව ඇය එහිදී පෙන්වාදුන්නාය.
යුධමය වාතාවරණය නිමාවට පත්වී වසර 5ට ආසන්න කාලයක් ගතවූවද මානව හිමිකම් කවුන්සිලය අපේක්ෂා කරන අන්දමේ ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීමට ශ‍්‍රී ලංකා රජය අපොහොසත්වී ඇති බව නවිපිල්ලේ මහත්මිය පැවසුවාය.
මේ නිසා ජාත්‍යන්තර පරීක්ෂණයක් මගින් එම අරමුණ ඉටු කරගැනීමට හැකිවනු ඇතිබව ඇය අවධාරණය කළාය.
මේ අතර යුද්ධය පැවති සමයේ එක්සත් ජාතීන්ගේ මෙරට ක‍්‍රියාකාරීත්වය පිළිබඳ සොයාබැලීමට ජගත් මහ ලේකම් බැං කි මූන් මහතා විසින් පත්කළ විද්වත් කමිටු වාර්තාව පිළිබඳව ද නවි පිල්ලෙයි මහත්මිය සිය ප‍්‍රසාදය පළ කළාය.
තම ධුර කාලය තුළ රටක මානව හිමිකම් ආරක්ෂා කිරීමට අදාළව ගත් සුවිශේෂී පියවරක් ලෙස එය හඳුන්වා දිය හැකි බවද ඇය එහිදී වැඩිදුරටත් පැවසුවාය.
මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ නියෝජිත විදේශ ඇමති ජී.එල්. පීරිස් මහතා ප්‍රමුඛ පිරිසක් ජගත් මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්වරිය ද හමුවී තිබුණි.
එහිදී විදේශ අමාත්‍යවරයා පවසා ඇත්තේ ඇතැම් රටවල මැතිවරණ ව්‍යාපාරය සඳහා ශ්‍රී ලංකාව “දේශපාලන පාපන්දුවක්“ බවට පත්කරගෙන ඇති බවයි.
උතුරු පළාතේ දැනට සිදුවන සංවර්ධන ක්‍රියාවලිය, ජාතීන් අතර සමගි සන්ධානය ගොඩ නැඟීම, වැනි කරුණු සම්බන්ධයෙන් අමාත්‍යවරයා මහ කොමසාරිස්වරිය දැනුවත් කර තිබේ.
එසේම ශ්‍රී ලංකාවට එරෙහිව ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වීම සඳහා කරන යෝජනාවද ඔහු ප්‍රතික්ෂේප කර ඇති අතර ලංකාවට එරෙහි පරීක්ෂණයක් පිළිබඳ වාර්තාව ඒකපාර්ශවීය හා දේශපාලනික එකක් බවද පවසා ඇත.

No comments:

Post a Comment