Translate

Translate

Thursday, March 6, 2014

නම කීමට අකමැති දොස්‌තර විශ්වකර්ම සැත්කමක්‌ කරයි

අජිත් අලහකෝන්
අනුරාධපුරේ දරුවාගේ පපුවේ ඇනී තිබූ කම්බි කූර
දරුවා කොළඹට ගෙනැවිත් සාර්ථකව ඉවත් කරයි

"අනුරාධපුරේ වෛද්‍යවරුන් බුද්ධිමත්ව ක්‍රියා කළා"

අනුරාධපුරයේ තුන් හැවිරිදි දරුවකුගේ පපුව හරහා සිරුර තුළට කාවැදුණු යකඩ කූරක්‌ කොළඹ ළමා රෝහලේ හෘද ශල්‍ය විශේෂඥ ඒකකයේ වෛද්‍යවරුන් විසින් සිදු කරන ලද සාර්ථක සැත්කමකින් පෙරේදා (05 දා) අලුයම ඉවත් කර ඇත.

අනුරාධපුරයේ පදිංචි මෙම දරුවා සිය සෙල්ලම් කාර් රථයේ රෝද දෙකක්‌ ගලවා ඇත. එම රෝද දෙකෙන් එක්‌ රෝදයක්‌ එය සවිකර තිබූ කම්බි කූරු සමගින් ඉවතට විසිවී ගොස්‌ ඇති අතර දරුවා එය අහුලා ගැනීමට දිවගොස්‌ තිබේ. එහිදී දරුවා එම රෝදයේ කම්බිකූර මතට ඇදවැටී ඇති අතර කම්බි කූර පපුවේ ඇනී ඇත.

දරුවාගේ මව එම කම්බි කූර ඉවත් නොකර ශරීරය තුළ තිබියදීම අනුරාධපුර මහ රෝහල වෙත පසුගිය 04 වැනිදා සවස ගෙනැවිත් තිබේ. දරුවා පරීක්‍ෂා කළ අනුරාධපුර ශල්‍ය වෛද්‍යවරුන් පරීක්‍ෂණ පවත්වා මේ බව ඒ අවස්‌ථාවේදීම කොළඹ ළමා රෝහලේ හෘද ශල්‍ය විශේෂඥ වෛද්‍යවරයාට දන්වා ඇත.

කම්බි කූර සහිතව දරුවාගේ පවුවේ එක්‌ස්‌රේ ඡායාරූප විද්යුත් තැපෑලෙන් ගෙන්වා පරීක්‍ෂා කළ කොළඹ ළමා රෝහලේ විශේෂඥ වෛද්‍යවරයා අනුරාධපුර වෛද්‍යවරු සමග සාකච්ඡා කර දරුවා වහා කොළඹ එවන ලෙසට දැනුම් දී ඇත.

වෛද්‍ය කණ්‌ඩායමක්‌ සහ හෙද නිලධාරීන් කණ්‌ඩායමක්‌ සමග 05 වැනිදා අලුයම 1.30 පමණ වන විට ළමා රෝහලට මෙම දරුවා ගෙනැවිත් ඇති අතර දරුවා ගෙන ආ වහා ශල්‍යකර්මයකට ලක්‌ කිරීම සඳහා ළමා රෝහලේදී වෛද්‍යවරුන් සහ හෙදියන් සූදානම්ව සිට ඇත.

"පාන්දර 2.30 වෙද්දී අපි දරුවාගේ ශල්‍යකර්මය සිදු කළා. මමත්, ශල්‍ය හා නිර්වින්දන වෛද්‍යවරුන්, හෘද හා පෙනහළු නිවේෂක කණ්‌ඩායමත් සෑහෙන වෙහෙසක්‌ දරලා මේ දරුවාගේ පපුව තුළට ගොස්‌ තිබූ කම්බි කූර ඉවත් කළා" යෑයි කොළඹ ළමා රෝහලේ හෘද ශල්‍ය විශේෂඥ වෛද්‍යවරයා (තම නම පුවත්පතේ පළ නොකරන්නැයි කාරුණිකව ඉල්ලීමක්‌ කළේය.) "දිවයින"ට ප්‍රකාශ කළේය.

මේ යකඩ කූර සම්පූර්ණයෙන්ම තිබුණේ දරුවාගේ ශරීරය ඇතුළේ. දරුවා හරිම වාසනාවන්තයි. ශරීරයේ ඉතාම වැදගත් අවයව කීපයක්‌ අතරින් ගිහින් මහා ධමනිය සූරාගෙන තමයි කම්බිය මතුවී තිබුණේ. අපි ඉතාම ආරක්‍ෂා සහිතව දරුවාට ප්‍රශ්නයක්‌ නොවන ලෙස මෙය ඉවත් කළා. දරුවා දැන් සුවය ලබමින් දැඩිසත්කාර ඒකකයේ ඉන්නවා. යෑයි ද විශේෂඥ වෛද්‍යවරයා කීවේය.

ඇත්තටම අනුරාධපුර වෛද්‍යවරයා ඉතා බුද්ධිමත්ව ක්‍රියාත්මක වුණා. අන්තර්ජාලයට දොස්‌ කියන මේ කාලයේ අපි මේ දරුවාගේ තොරතුරු හුවමාරු කරගත්තේ අන්තර්ජාලයෙන්. ජනතාවත් දැන් බුද්ධිමත්. කුමක්‌ හෝ දෙයක්‌ ශරීරයේ ඇනුණම එය ගලවන්නේ නැතිව ළඟම තියෙන රෝහල වෙත ගෙනයා යුතුයි. අවයවයක්‌ ශරීරයෙන් වෙන් වුණොත් අයිස්‌වල ඒ අවයව කොටස දමාගෙන රෝගියා සමග රෝහලට ගෙන ආ යුතුයි. ඒ වගේම තමන්ගේ දරුවා කෙරෙහි දැඩි අවධානයකින් දෙමව්පියන් පසුවිය යුතුයි. දරුවා සෙල්ලම් කරන්නේ මොනවා එක්‌කද කියා සොයා බැලිය යුතුයි යෑයි ද කොළඹ ළමා රෝහලේ හෘද ශල්‍ය විශේෂඥ වෛද්‍යවරයා කීවේය.

No comments:

Post a Comment