Translate

Translate

Thursday, March 6, 2014

සුරාබදු ලොක්‌කන්ගේ නිවෙස්‌වලට වෙඩි ප්‍රහාර
* කොමසාරිස්‌ගේ නිවෙසට අලුයම 2 ට :
* විශේෂ මෙහෙයුම් අධිපති නිවෙසට අලුයම 3 ට :
* එක නිවෙසක්‌ පමුණුගම; අනික්‌ නිවෙස පන්නිපිටියේ 
'ජීවිත හානි කරන්න වෙන්න ඇති'
- දෙදෙනාම කියති
හේමන්ත රන්දුණු - ලසිත දුමින්ද , කඳාන රුක්‌මන් පින්තු , පමණුගම එස්‌.කේ.ඡේ. පෙරේරා සහ පන්නිපිටිය ජගත්


සුරාබදු කොමසාරිස්‌ ජනරාල්වරයා සහ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්‌ථානාධිපතිවරයා පදිංචිව සිටින නිවාසවලට ඊයේ (06 වැනිදා) අලුයම නාඳුනන සන්නද්ධ කණ්‌ඩායමක්‌ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය පුළුල් විමර්ශනයක්‌ ආරම්භ කර ඇත.

පමුණුගම මහවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි සුරාබදු කොමසාරිස්‌ ජනරාල් වසන්ත හපුආරච්චි මහතාගේ නිවසට සන්නද්ධ පිරිස වෙඩි තබා ඇත්තේ ඊයේ අලුයම 2.10ට පමණය.

මේ අතර සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්‌ථානාධිපති රොස්‌මන්ඩ් ප්‍රනාන්දු මහතා පදිංචි රුක්‌මල්ගම පන්නිපිටිය ප්‍රදේශයේ නිවසට වෙඩි ප්‍රහාර එල්ල වී ඇත්තේ ඊයේ අලුයම 3ට පමණය.

මෙම වෙඩි තැබීම්වලින් සුරාබදු කොමසාරිස්‌වරයාට හෝ ස්‌ථානාධිපතිවරයාට කිසිදු අනතුරක්‌ සිදුවී නැත.

වසන්ත හපුආරච්චි මහතාගේ නිවසට එල්ල වූ ප්‍රහාරයෙන් ජනෙල් වීදුරු කිහිපයක්‌ සහ ඒ මහතාගේ නිල රථයට හානි සිදුවී ඇත. පතරොම් තුවක්‌කුවක්‌ යොදාගෙන වෙඩි තැබීම සිදුකර තිබේ.

සුරාබදු විශේෂ විමර්ශන ඒකකයේ ස්‌ථානාධිපතිවරයාගේ නිවසට වෙඩි තැබීමට යොදාගෙන ඇත්තේ ද පතරොම් තුවක්‌කුවක්‌ බව විමර්ශනවලදී හෙළිවී තිබේ.

මේ අතර හපුආරච්චි මහතාගේ නිවසට වෙඩි තබා විනාඩි 50කට පසු පන්නිපිටියේ පදිංචි රොස්‌මන්ඩ් ප්‍රනාන්දු මහතාගේ නිවසට වෙඩි ප්‍රහාර එල්ල වී ඇත.

ඒ අනුව පොලිසිය සැකපහළ කරන්නේ එකම සන්නද්ධ කණ්‌ඩායමක්‌ විසින් මෙම වෙඩි තැබීම් දෙකම සිදුකරන්නට ඇති බවයි.

මෙම වෙඩි තැබීම්වලට හේතුව කුමක්‌දැයි මෙතෙක්‌ අනාවරණය වී නැති බව පොලිසිය පවසයි. පොලිසිය සැක කරන්නේ ත්‍රිරෝද රථයකින් පැමිණි පිරිසක්‌ මෙම වෙඩි තැබීම කරන්නට ඇති බවයි.

වසන්ත හපුආරච්චි මහතාගේ නිවසේ සීසීටීවී කැමරා සවිකර තිබූ අතර, ඒවා පරීක්‍ෂා කිරීමට පොලිසිය කටයුතු කරමින් සිටී.

මෙම සිද්ධිය පිළිබඳව 'දිවයින' කළ විමසීමකදී සුරාබදු කොමසාරිස්‌ ජනරාල්වරයා සහ ස්‌ථානාධිපතිවරයා තමන් මුහුණ දුන් අත්දැකීම පිළිබඳව මෙසේ පැවසූහ.

සුරාබදු කොමසාරිස්‌ ජනරාල් වසන්ත හපුආරච්චි මහතා -

පාන්දර 2ට විතර ඇති වෙඩි ශබ්දයත් එක්‌කම ඇහැරුණා. ඒ වෙලාවෙ හිටියේ මමයි වැඩ කරන සේවකයයි විතරයි. නිවසේ විදුලි පහන් දල්වලා බලන විට සාලෙට හා ඉදිරිපස කාමරයකට වෙඩි වැදී තිබුණා. වෙඩි උණ්‌ඩ 10 - 15 ක්‌ විතර එල්ල වෙලා තිබුණා. මගේ ජීප් රථයටත් වෙඩි තියලා. මේක කවුරු ද කළේ කියලා හරියටම කියන්න බැහැ. නමුත් රාජකාරියට සම්බන්ධ දෙයක්‌ කියලා සැකකරන්න පුළුවන්.

සිද්ධියෙන් පස්‌සෙ අහල පහල අයත් ආවා. වෙඩි තැබීමෙන් පස්‌සෙ ඒ අය කිව්වේ ත්‍රිරෝද රථයක්‌ ගියා කියලයි. මීට පෙර මෙවැනි සිද්ධීන් වෙලා නැහැ. ජීවිත හානියක්‌ කරන්න හිතාගෙන වෙඩි තබන්න ඇතැයි විශ්වාස කරනවා.

සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්‌ථානාධිපති රොස්‌මන්ඩ් ප්‍රනාන්දු මහතා -

මමයි, බිරිඳයි දුවයි පුතයි නිදාගෙන හිටියේ. පාන්දර 3ට විතර ඇති වෙඩි ශබ්දය ඇහෙන කොට. ඇහැරිලා බලද්දී තමයි දැක්‌කෙ ඉදිරිපස කාමරයයි බිත්තියටයි වෙඩි දෙකක්‌ විතර වැදිලා තිබෙනවා. ඒ කාමරයේ හිටියේ දුව. දුවට හානියක්‌ නැහැ.

පසුගිය පෙබරවාරි 25 වැනිදාත් මගේ නිවසට නාඳුනන පිරිසක්‌ මේ වාගේම නිවසට වෙඩි තැබුවා. ඒ සම්බන්ධයෙන් මෙතෙක්‌ කිසිදු සැකකරුවෙක්‌ අත්අඩංගුවට අරන් නැහැ. මේ වෙඩි තැබීම කරන්න ඇත්තේ ජීවිත හානියක්‌ කරන්න කියා මා විශ්වාස කරනවා. වෙඩි තැබීම කරන්න ඇත්තේ රාජකාරියට සම්බන්ධ දෙයකටයි. වෙඩි තැබීමෙන් පස්‌සෙ ඇහුණා ත්‍රිරෝද රථයක්‌ පණගන්වලා යනවා. සුරාබදු කොමසාරිස්‌ ජනරාල්තුමාටත් මටත් එකම දිනයක වෙඩි තබන්න ඇත්තේ රාජකාරි දෙයකට වෙන්න ඇති.

බස්‌නාහිර උතුර නියෝජ්‍ය පොලිස්‌පති එල්. ජී. කුලරත්න, බස්‌නාහිර දකුණ නියෝජ්‍ය පොලිස්‌පති සුමිත් එදිරිසිංහ යන මහත්වරුන්ගේ උපදෙස්‌ මත පමුණුගම සහ කොට්‌ටාව පොලිස්‌ ස්‌ථාන මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්‍ෂණ පවත්වාගෙන යයි.

No comments:

Post a Comment