Translate

Translate

Saturday, June 7, 2014

වරක්‌ නොව දෙවරක්‌ම විනාශ වූ යාපනයේ මහා පොත් දේවාලය

වරක්‌ නොව දෙවරක්‌ම 
විනාශ වූ යාපනයේ මහා පොත් දේවාලය

යාපනයේ පුස්‌තකාලය ගිනි තබා විනාශ කරනු ලැබ මේ මාසයට වසර 33 ක්‌ සම්පූර්ණ වෙයි. 1981 මැයි 31 වැනිදා සහ ජුනි 1 වැනිදා අතර මධ්‍යම රාත්‍රියේදී එම ගිනි තැබීම සිදු කරන ලදී. යාපනේ පුස්‌තකාලයට ගිනි තබනු පිණිස එහි පළමුවන මහලට පෙට්‍රල් කෑන් එකක්‌ වත් කළ බවත් ඉන්පසු ගිනිකූරක්‌ ගසා ගිනි ඇවිලවූ බවත් පොලිස්‌ සාර්ජන්ට්‌වරයකු විසින් ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරිවරයකුට මෙයට කලකට පෙර පාපොච්ඡාරණය කර තිබිණ. එහෙත් ඉතා උස්‌ වහල සහිත තට්‌ටු තුනකින් සමන්විත යාපනේ පුස්‌තකාල ගොඩනැඟිල්ල පෙට්‍රල් කෑන් එකක පෙට්‍රල්වලින් සම්පූර්ණයෙන්ම ගිනි ගෙන විනාශ වූයේ කෙසේද යන්න ප්‍රශ්නයකි. ගින්න පළමු මහලට ඇවිලීමත් සමගම දෙවන මහලද වහා ගිනි ගත් බවට සාක්‌ෂි තිබේ. ගින්නක්‌ පඩි පෙළත් නැගගෙන යැමට බොහෝ වේලාවක්‌ ගතවන නමුත් යාපනේ පුස්‌තකාලයේදී එය වහ වහා සිදුවිය. විනාශ වන අවස්‌ථාවේදී මේ පුස්‌තකාලය තුළ අත් පිටපත් සහ පොත් 9500 ක්‌ විය. උදාහරණයක්‌ වශයෙන් ශ්‍රීමත් ආනන්ද කුමාරස්‌වාමිගේ a "මධ්‍යකාලීන සිංහල කලා" පොතෙහි ඉංග්‍රීසි අත්පිටපතද ඔහු ලියූ පොත් රැසක අත් පිටපත්ද එහිදී ගින්නට බිලි විය. පුස්‌තකාලය එහි ආරම්භයේදී පවත්වාගෙන යන ලද්දේ පුස්‌තකාලයකට අමතරව ලේඛනාගාරයක්‌ද ලෙසය. උතුරු පළාත දෙමළ නිජ බිමක්‌ බවට ලේඛන ගත ඉතිහාසයක්‌ සකස්‌ කර දෙනු පිණිස 1736 දී යාපනේ සිටි ඕලන්ද ආණ්‌ඩුකාරයා වූ සාන් වකාරාගෙන් කොන්තරාත්තුවක්‌ ලබාගත් දෙමළ කවියකු වූ මයිල්වාගනම් පුලවර් ලියූ යාල් පාන වෛපවමාලෛ නමැති පොතෙහි අත් පිටපතද යාපනයේ ගොවිතැන් කටයුතු සඳහා ඕලන්ද පාලකයන් විසින් තමිල්නාඩුවේ සිට ගෙන්වන ලද වන්නියාර් නමැති ප්‍රජාවගේ ඉතිහාසය ඇතුළත් ලේඛනවල මුල් පිටපත්ද මෙහිදී පිළිස්‌සී විනාශයට පත් විය. මේ ලේඛනවල ඓතිහාසික වැදගත්කම මිල කළ නොහැකි අතර යාපනේ පුස්‌තකාලයට පෙට්‍රල් වත්කළ සහ ගිනි තැබූ නීචයා හෝ නීචයන් කළ විනාශය සමස්‌ත ජාතියටම සිදුවූ කැළලකි. ගින්නෙන් පසු එවකට සිටි නියෝජ්‍ය පොලිස්‌පතිවරයකු වූ එඩ්වඩ් ගුණවර්ධන විසින් සකස්‌ කරන ලද රහස්‌ වාර්තාවකට අනුව මේ ගිනි තැබීම සංවිධානය කළේ කොටි සංවිධානයය. එය ප්‍රභාකරන් නිකුත් කළ අණකි. යාපනේ දෙමළ ජනයා වෙත ජාත්‍යන්තර අනුකම්පාව ලබා ගනු පිණිස මෙය කරවූ බව එම වාර්තාවෙහි සඳහන් විය. එයට සමගාමීව කොටි සංවිධානය විසින් නිකුත් කරන ලද වාර්තාවකට අනුව ගින්න ඇති කළෝ යාපනේ එවකට සිටි පොලිස්‌ නිලධාරීහුය. ඒ දෙමළ ජනයාගෙන් පළිගනු පිණිසය.

යාපනේ පුස්‌තකාලය එම පළාතේ විසූ දෙමළ මහතකු වන කේ. එම්. චෙල්ලප්පා විසින් 1933 දී ඔහුගේ නිවසේ කාමරයක පටන් ගන්නා ලද්දකි. එය පටන් ගන්නා දවසේදී ඔහු සතුව තිබුණේ පුවත්පත් සහ සඟරා ස්‌වල්පයක්‌ පමණි. යාපනේ ජීවත්වූ පොත් ලෝලීන් පිරිසක්‌ එක්‌ව 1934 දී චෙල්ලප්පාගේ පුස්‌තකාලය සංවර්ධනය කිරීමට තීරණය කළහ. ඒ සඳහා ආධාර කිරීමට යාපනේ දෙමළ පුස්‌තකාල සංගමයද පැමිණියේය. ඒ අනුව 1934 මාර්තු 11 වැනිදා යාපනේ රෝහල් වීථියේ පිහිටි ගොඩනැඟිල්ලකදී පොත් 844 ක සහ පුවත්පත් /සඟරා 30 ක එකතුවෙන් යාපනේ පුස්‌තකාලය පටන් ගන්නා ලදී. උදේ 8 ට විවෘත කළ එය සවස 7.30 ට වසන ලදී. සම්පූර්ණ අවුරුද්දක කාලයක්‌ යාපනේ පුස්‌තකාල සංගමය විසින් නඩත්තු කරන ලදුව මේ පුස්‌තකාලය 1935 දී යාපනේ නගර සභාවට භාර කෙරිණ. එහි පළමුවන පුස්‌තකාලයාධිපතිගේ නම ඩී. එස්‌. රාජරත්නම්ය. එතැන් සිට 1959 දක්‌වා මේ පුස්‌තකාලය පස්‌ පොළකට ගෙන යැමට සිදුවූ අතර එම වසරේදී යාපනේ ඕලන්ද කොටුව ඉදිරිපස පිහිටි ගොඩනැඟිල්ලෙහි තහවුරු කෙරිණ. එවකට යාපනේ පුරපති වූ ඇල්µ්‍රඩ් දොරේඅප්පා එය විවෘත කළේය. පුස්‌තකාල ගොඩනැඟිල්ල නිර්මාණය කළේ මදුරාසියේ සිට ලංකාවට පැමිණි ගෘහ නිර්මාණ ශිල්පියකු වූ නරසිංහම්ය. ඔහු සුප්‍රකට ශ්‍රී ලාංකික ගෘහ නිර්මාණ ශිල්පියකු වූ ජෆ්රි බාවාගේ හිතවතෙකි. ඔහු ජෆ්රි බාවා සමග හවුලේ කොළඹ මෙන්ම මදුරාසියේදී ගොඩනැඟිලි කිහිපයක්‌ සැලසුම් කර තිබිණ. 1959 දී යාපනේ පුස්‌තකාලයේ විශේෂ පුස්‌තක භාරකරු ලෙස කටයුතු කළේ ඉන්දියාවේ සිට පැමිණි ප්‍රවීණ ගණිතඥයකු සහ පුස්‌තකාලයාධිපතිවරයකු වූ මහාචාර්ය එස්‌. ආර්. රන්ගනාතන්ය. ඔහු කොතරම් අද්විතීය මිනිසකුද යත් ඉන්දියාව තම රටේ ජාතික පුස්‌තකාල දිනය ලෙස සමරන්නේ ඔහුගේ උපන් දිනයය. 

1981 මැයි 31 වැනිදා ඉරිදාවකි. මේ කාලයේදී මෙරට තිබූ වඩාත් ජනප්‍රිය දෙමළ පක්‍ෂය අප්පාපිල්ලේ අමිර්තලිංගම්ගේ නායකත්වයෙන් යුතු දෙමළ එක්‌සත් විමුක්‌ති පෙරමුණය. එදින එම පක්‍ෂයේ රැළියක්‌ යාපනේ ඇල්µ්‍රඩ් දොරේඅප්පා ක්‍රීඩාංගණයේදී පැවැත්විණ. එහිදී හටගත් වෙඩි තැබීමකදී සිංහල පොලිස්‌ කොස්‌තාපල්වරුන් තිදෙනෙක්‌ මියගියහ.

එදින රැය ඉතා නපුරු රැයකි. දෙමළ එක්‌සත් විමුක්‌ති පෙරමුණේ යාපනේ පක්‍ෂ කාර්යාලයට එදා රෑ ගිනි තබන ලදී. ගෙවල්වල සිටි දෙමළ මිනිස්‌සු හතර දෙනකු එළියට ඇද මරණ ලදී. යාපනේ මන්ත්‍රී වී. යෝගේස්‌වරන්ගේ නිවසට පහර දෙන ලද අතර එය විනාශ විය. පුස්‌තකාලයට ගිනි තබන්නේ ඉන් පසුවය. ද්‍රවිඩ එක්‌සත් විමුක්‌ති පෙරමුණේ රැලියේදී සිංහල පොලිස්‌ කොස්‌තාපල්වරුන් මැරීමේ පලිය ගැනීමට පොලිසිය මේ අපරාධය කළ බව යාපනේ වැසියෝද වාමාංශික ක්‍රියාකාරිකයෝද කල්පනා කළහ. මේ කාලයේදී ලංකාව තුළ විදේශික මූලයක්‌ සහිත රාජ්‍ය නොවන සංවිධාන පැවතුනේ නම් ඒ ඉතා ස්‌වල්පයකි. ඒ බැවින් අද හඬ නගන ආකාරයෙන් හඬ නැගීමක්‌ එදා තිබූ රාජ්‍ය නොවන සංවිධාන නැගුවේ නැත. ඒ වන විට යාපනේ පුස්‌තකාලය ආසියාවේ තිබූ හොඳම පුස්‌තකාලවලින් එකකි. ලන්ඩන් පුස්‌තකාලයේ තිබෙන පුස්‌තකාල පොත් එකතුව හැරුණු විට ඊළඟ හොඳම පුස්‌තකාල පොත් එකතුව යාපනේ පුස්‌තකාලය සතු විය. ඒ සියල්ලම අළු විය. "පුස්‌තකාලය ගිනි ගන්නා විට ඒ බව දුරකථන මාර්ගයෙන් යාපනේ නාගරික කොමසාරිස්‌ ඩී. වී. කේ. සිවඥනම්ට දැනුම් දී තිබිණ. ඔහු ඒ වෙලාවේදී සිටියේ නින්දේය. වහාම යාපනේ නගර ශාලාවේ සිටි රාත්‍රි මුරකරුවන්ට දුරකථන ඇමතුමක්‌ දුන් ඔහු ආරංචිය නිර්වද්‍යභාවය වටහාගෙන යාපනේ ගිනි නිවන හමුදාවට කතා කර ගිනි නිවන රථ සහ කම්කරුවන් හය දෙනෙක්‌ එහි යෑවීය. ඇල්µඩ් දොරේඅප්පා ක්‍රීඩාංගණයේ පොලිස්‌ කඳවුරෙහි සිටි පිරිසක්‌ පුස්‌තකාලයට ගිනි තැබූ බව ඔහුට ආරංචි වී තිබිණ. ඒ බව පසුව පොලිසියට දුන් කටඋත්තරයෙහිදී ඔහු සඳහන් කළේය. (1981 ජුනි 20 ඊලනාඩු පුවත්පත) එහෙත් 1991 දී තමාට විරුද්ධව පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ දෝෂාභියෝගය පරාජයට පත් කිරීමෙන් පසු පාසලක පැවති උත්සවයකදී කතාවක්‌ කළ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස, යාපනේ පුස්‌තකාලයට ගිනි තැබීම පිටුපස ලලිත් ඇතුළත්මුදලි සහ ගාමිණී දිසානායක සිටින බවට චෝදනා කළේය. එහෙත් පොතපත ආශ්‍රයෙන් හැදී වැඩුණු විද්‍යාර්ථීන් දෙදෙනකු වූ ලලිත් හෝ ගාමිණී එවැන්නන් කළ බව කවුරුවත් පිළිගත්තේ නැත. සියලු දෙනාම පාහේ කියා සිටියේ දෝෂාභියෝගයට එම දෙදෙනා මුල්වූ නිසා ජනාධිපති ප්‍රේමදාස ද්වේෂ සහගත ප්‍රකාශයක්‌ කර තිබෙන බවය. 

මේ මහත් ව්‍යසනයෙන් පසු යාපනයේ පුස්‌තකාලය අලුතින් ගොඩනැංවිය යුතු බව නගර සභාව තීරණය කළේය. ගින්නෙන් පිළිස්‌සී ගිය ගොඩනැඟිල්ලේ නටබුන් එසේම තිබියදී ඒ පිටුපස මුල් ගොඩනැඟිල්ලේ අනුරුවක්‌ ඉදිකළ යුතු බව වැඩි දෙනාගේ මතය විය. එය මෙරට පැවති සිංහල දෙමළ ප්‍රශ්නයේ පිළිබිඹුවකි. දෙවැනි ලෝක සංග්‍රාමයේදී ඇමරිකාව විසින් ජපානයේ හිරෝෂිමා සහ නාගසාකි නගරවලට පරමාණු බෝම්බ හෙලූ විට නටබුන් වූ ගොඩනැඟිලි කිහිපයක්‌ තවත් ඒ නගරවල ඒ තත්ත්වයෙන්ම නඩත්තු කරගෙන යනු ලැබේ. එය දකින විට ජපානය ගැන අනුකම්පාවකුත් ඇමරිකාව ගැන වෛරයකුත් හටගනී. යාපනේ නගර සභාවේ අරමුණ ද මෙයම විය. එය සිංහල දෙමළ ප්‍රශ්නය චෛතසික වශයෙන් තවදුරටත් නඩත්තු කරන්නකි. 1982 දී ඉදිකිරීම් ඇරඹුනු නව ගොඩනැඟිල්ල 1984 ජුනි 4 වැනිදා පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ. අමිර්තලිංගම් විසින් විවෘත කරනු ලැබීය. එය ගාලු කොටුවට සහ මනිපාර් කෝවිලට මුහුණලා ඉදිකර තිබිණි. 

1985 දී යාපනය යුද බියෙන් ත්‍රස්‌තවී ගියේය. අලුත් පුස්‌තකාල ගොඩනැඟිල්ල වටා හමුදාව සහ කොටි වෙඩි තබා ගත්හ. බියපත් මිනිස්‌සු පණ ගලවා ගැනීම සඳහා අලුත් පුස්‌තකාල ගොඩනැඟිල්ලේ පදිංචි වූහ. වහා ක්‍රියාත්මක වූ යාපනේ නගර සභාව පුස්‌තකාලයේ තිබූ සියලු පොත්පත් නවලර් හින්දු සංස්‌කෘතික මධ්‍යස්‌ථානයට රැගෙන ගියේය. මේ අතර ෂෙල්a වෙඩි සහ රොකට්‌ වෙඩි වරුසා නිසා අලුත් පුස්‌තකාලය සිදුරු විය. ඉතිහාසය පුනරුච්ඡාරණය වෙයි. අවසානයේදී යාපනයේ පුස්‌තකාලය නැවත වරක්‌ විනාශ වි නටබුන් විය.

1981 දී යාපනයේ පුස්‌තකාලයට ගිනි තැබීමෙන් ගොඩනැඟිල්ලට සිදුවූ හානිය (පොත් සහ අත්පිටපත්වලට වූ හානිය ගණන් බැලීමට බැරි තරම් විශාලය.) රුපියල් ලක්‍ෂ 12 කි. ඒ බව නගර සභා කොමසාරිස්‌ සිවඥනම් පොලිසියට දුන් කට උත්තරයේ සඳහන් විය. 1997 දී පොදුජන එක්‌සත් පෙරමුණු රජය එය නැවත ඉදිකරන විට ගොඩනැඟිල්ලට ඇස්‌තමේන්තු කළ මුදල් රුපියල් ලක්‍ෂ 7000 ක්‌ විය. 2002 ජනවාරි මාසයේදී එය සාදා නිම කරන විට රුපියල් ලක්‍ෂ දස දහසකට වඩා වැයවී තිබිණ. මෙය අළු මතින් නැගී සිටි ගොඩනැඟිල්ලකි. එක්‌ වරක්‌ නොව දෙවරක්‌ම විනාශ වූ පුස්‌තකාලයකි. දැනුම පිළිබඳ මේ මහා දේවාලය වරක්‌ නොව දෙවරක්‌ම විනාශ වූ බව මතක ඇත්තෝ අල්පයහ. (මූලාශ්‍ර - The Jaffna Pablic Library Rises From Its Ashes by V.S. Thurairajah)

අනුර සොලමන්ස්‌

No comments:

Post a Comment