Translate

Translate

Wednesday, March 19, 2014

මීගහවත්තේ නිවෙසක
බෝම්බ ගබඩාව අල්ලයි
සිසුන් 5 දෙනෙක්‌ අත්අඩංගුවට

හේමන්ත රන්දුණු

ගම්පහ මීගහවත්ත නාරන්වල ප්‍රදේශයේ නිවසක පෙට්‍රල් බෝම්බ ඇතුළු අවි ආයුධ ගබඩාවක්‌ පවත්වාගෙන ගිය ගම්පහ ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක අපොස සාමාන්‍ය පෙළ අධ්‍යාපනය ලබන ශිෂ්‍යයන් පස්‌දෙනකු පානදුර වලාන දූෂණ මර්දන අංශය මගින් පෙරේදා (18 වැනිදා) අත්අඩංගුවට ගෙන ඇත.කිසියම් පිරිසක්‌ වෙත ප්‍රහාරයක්‌ එල්ලකොට මහා විනාශයක්‌ කිරීම සඳහා මේවා රැස්‌ කරන්නට ඇතැයි සැක කෙරේ. පෙට්‍රල් බෝම්බ සියල්ල නිෂ්පාදනය කර ඇත්තේ ද සැකකාර පාසල් ශිෂ්‍යයන් විසින් බවත් පරීක්‍ෂණවලදී අනාවරණය වී තිබේ.

මෙම අවි ගබඩාව පවත්වාගෙන ගිය එක්‌ ශිෂ්‍යයකුගේ මවද පොලිස්‌ අත්අඩංගුවට ගෙන ඇත. පාසල් ශිෂ්‍යයන් පවත්වාගෙන ගිය අවි ගබඩාවේ තිබී පෙට්‍රල් බෝම්බ 8 ක්‌, කඩුවක්‌, විශාල ප්‍රමාණයේ මන්නා පිහියක්‌, වෑද්දුම් කර විශේෂයෙන් සකස්‌ කළ යකඩ බට කීපයක්‌ තිබූ බව පොලිසිය පවසයි.

පොලිස්‌ මූලස්‌ථානය වෙත ලැබුණු තොරතුරකට අනුව පානදුර වලාන දූෂණ මර්දන අංශයේ නිලධාරීන් පෙරේදා සවස මීගහවත්ත නාරන්වල ප්‍රදේශයේ නිවසක්‌ වටලා තිබේ.

ඒ අවස්‌ථාවේ කඩු මන්නා පිහි සහ යකඩ ආයුධ සමග පාසල් ශිෂ්‍යයන් සිව්දෙනෙක්‌ අත්අඩංගුවට ගැනීමට හැකි විය.

පසුව මෙම ශිෂ්‍යයන්ගෙන් ප්‍රශ්න කිරීමේදී නිවස හිමිකරුගේ පුත්‍රයා නිවසේ වහළයේ සැඟවී සිටියදී අත්අඩංගුවට ගන්නා ලදී. එම ශිෂ්‍යයා වහළයේ සඟවාගෙන සිටි පෙට්‍රල් බෝම්බ 8 ක්‌ ද සොයා ගැනීමට පොලිසිය එහිදී සමත් විය.

සැකකාර ශිෂ්‍යයන්ගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළිs වී ඇත්තේ යාබද ඉඩමක අලුතින් ඉදිකරන නිවසක පෙදරේරුවන් කණ්‌ඩායමක්‌ සමග දින කීපයකට උඩදී ඔහුගේ පවුලේ සාමාජිකයන් අතර ආරවුලක්‌ හටගෙන ඇති බවයි.

එහිදී නිවස හිමිකරු ඔවුන්ගෙන් පහර කෑමට ලක්‌ව රෝහල් ගත කර තිබේ. මෙම පහරදීම සිදු කළ පෙදරේරුවන් ආපසු ගොස්‌ ඇත්තේ නැවතත් නිවසට පහර දීමට පැමිණෙන බවට තර්ජනය කරමිනි.

මෙම පෙදරේරුවන් කණ්‌ඩායමෙන් එල්ල විය හැකි ප්‍රහාරයකට මුහුණ දීම සඳහා පාසල් ශිෂ්‍යයා තම පංතියේ අධ්‍යාපනය ලබන ශිෂ්‍යයන් සමග එක්‌වී පෙට්‍රල් බෝම්බ සකස්‌ කර ඇත.

පසුව ඔහු තම මිතුරන් ද නිවසට කැඳවාගෙන දින දෙකක්‌ තිස්‌සේ රැකවල් ලාගෙන සිට ඇත්තේ පෙදරේරුවන් කණ්‌ඩායම තමන්ට පහරදීමට එනතුරුය.

පොලිස්‌ නිලධාරීන් මෙම නිවස වටලා අවි ආයුධ අත්අඩංගුවට නොගන්නට මීගහවත්ත ප්‍රදේශයේ මහා විනාශයක්‌ සිදුවීමට ඉඩ තිබිණි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ශිෂ්‍යයකුගෙන් ප්‍රශ්න කිරීමේදී ඔහු මෙසේ පාපොච්චාරණය කර ඇත.

"අපේ නිවසට යාබද ඉඩමේ ලොකු ගෙයක්‌ හදනවා. ඒ ගේ හදන බාස්‌ලා වතුර ගත්තේ අපේ ගෙදර ළිඳෙන්.

වතුර ගෙනියන්න එනහැම වෙලාවෙකදීම බාස්‌ලා අපේ ගෙදර ඉන්න ගෑනු අයට අනවශ්‍ය විහිලු කරනවා. මේ ප්‍රශ්නය දුරදිග ගිහින් ගැටුමක්‌ දක්‌වා වර්ධනය වුණා.

බාස්‌ලා අපේ තාත්තට හොඳටම ගැහුවා. එයා මේ වෙනකොට ගම්පහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගන්නවා.

අපිට ගහපු බාස්‌ලා ආපහු ගියේ ආයෙත් ඇවිත් අපේ පවුලම විනාශ කරනවා කියලා තර්ජනය කරමින්.

ඒ නිසයි අපි තීරණය කළේ බාස්‌ලා අපිට ගහන්න ආවොත් ඒ අයට පහර දෙමු කියලා" යෑයි සැකකාර පාසල් ශිෂ්‍යයා පොලිසියට ප්‍රකාශ කර ඇත.

මෙම ශිෂ්‍යයන් සකස්‌ කර තිබූ පෙට්‍රල් බෝම්බවලින් මහා විනාශයක්‌ වීමට ඉඩ තිබූ බව වලාන දූෂණ මර්දන අංශයේ ස්‌ථානාධිපති දුමින්ද බාලසූරිය මහතා පවසයි.

සැකකාර ශිෂ්‍යයන් පිරිස අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා මීගහවත්ත පොලිසිය වෙත භාරදී ඇත. මෙහිදී අත්අඩංගුවට ගත් ශිෂ්‍යයන් පස්‌දෙනා පසුගියදා මහත් ආන්දොලනයට ලක්‌ වූ ගම්පහ පාසලේ නොව වෙනත් පාසලක අධ්‍යාපනය ලබන අය බව පොලිසිය පවසයි.

පානදුර වලාන දූෂන මර්දන අංශයේ ස්‌ථානාධිපති දුමින්ද බාලසූරිය මහතාගේ මෙහෙයවීමෙන් පරීක්‍ෂණ පැවැත්වේ.

No comments:

Post a Comment