Translate

Translate

Tuesday, March 25, 2014

වැඩිම මනාප ගන්නේ ගීතාද අනර්කලීද නදීෂාද?

වැඩිම මනාප ගන්නේ ගීතාද අනර්කලීද නදීෂාද?


බස්නාහිර හා දකුණු පළාත් සභා මැතිවරණවලට තව ඇත්තේ දින කීපයකි. ඒ දින කීපයෙන් පසුව ඉහළම මනාප ලබා ගනිමින් ජයග්‍රහණය කරන්නේ කුමන අපේක්ෂකයින් දැයි සැකහැර දැන ගැනීමට අපට හැකිවනු ඇත.කෙසේ වෙතත් මෙවර පැවැත්වෙන මැතිවරණයෙදී කාගෙත් අවධානයට පාත්‍රවී සිටින අපේක්ෂකයන් කීප ‍පොළක්ම සිටිති.ඔවුන් අතරිනුත්  වැඩිකතාබහක් පවතින්නේ ජනප්‍රිය කලාකරුවන් කලාකාරියන් ගැනය. එයිනුත් පසුගිය කාලයේ විශාල කතාබහකට ලක් වූයේ මැතිවරණයට තරග කරන ජනප්‍රිය නිළියන්ය. දකුණු පළාත් සභාවට තරග කරන ජනප්‍රිය නිළි ගීතා කුමාරසිංහ, එමෙන්ම අනර්කලී ආකර්ෂා සහ නදීෂා හේමමාලි මේ දිනවල පුවත් මවන්නියන් බවට පත්ව සිටින්නෝය. මේ තිදෙනා අතරින් වැඩිපුර මනාප ගනු ඇත්තේ ගීතා කුමාරසිංහද, අනර්කලී ආකර්ෂාද එසේත් නැතිනම් නදීෂා හේමමාලි ද යන්නද කාගේත් කුතුහලයට පාත්‍ර වූ කාරණාවක් බවටද පත්ව තිබේ. ඒ ගැන නිශ්චිතව යමක් පැවසීම පහසු කටයුත්තක් නොවේ. 
මන්දයත් ඔවුන් තිදෙනාම එකම මට්ටමේ ජනප්‍රිය නිළියන් තිදෙනෙකු වන නිසාය.
ගීතා, අනර්කලී සහ නදීෂා අතරින් වඩා ප්‍රවීණ මට්ටමක සිටින්නේ ගීතා කුමාරසිංහය. ඇය සිනමා ක්‍ෂේත්‍රය තුළ අත්දැකීම් සම්භාරයක් ඇති තැනැත්තියකි. ගීතා  පවසන ආකාරයට ඇය දේශපාලනය කළේ අද ඊයේ නොවේ. සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියගේ කාලයේ සිටම ඇය දේශපාලනයට සම්බන්ධව සිට ඇත. වෙනසකට තිබුණේ ප්‍රසිද්ධියේ දේශපාලනය නොකිරීම පමණකි.
කෙසේ හෝ දැන් ඇය පවසන ආකාරයට ඇය ඒ දවස්වල සිටි ‘නිළි ගීතා’ නොවේ. තම බල ප්‍රදේශය එසේත් නැත්නම් දකුණේ බෙන්තර, ඇල්පිටිය ආසනයේ දියුණුව වෙනුවෙන් වැඩ කරන්නට ආ දේශපාලනඥවරියකි. සමාජ සේවිකාවකි. සමාජ ප්‍රශ්න හඳුනාගත් තැනැත්තියකි. ජනතාවගේ දුක හඳුනන කාන්තාවකි.
ගීතා මේ පණිවුඩය රැගෙන යමින් ගමට යන්නීය. තම ඡන්ද දායකයින්ට කතා කරන්නීය. එහෙත් මෙම පළාත් සභා මැතිවරණයේදී ඇය හමුවේ අභියෝග බොහොමයක් ඇති බවද රහසක් නොවේ.
“ගීතා කුමාරසිංහ මහත්මියට විරුද්ධ පක්ෂයේ අයට වඩා පහර දෙන්නේ තමන්ගේම පක්ෂයේ අය. ඒකයි ප්‍රශ්නේ. හැබැයි ඇයත් ‍ලේසියෙන් අරින්නේ නැහැ. ඒවාට උත්තර දෙමින්, අභියෝග වලට මුහුණ දෙමින් ඉදිරියට යනවා” 
මෙසේ පවසන්නේ බෙන්තර ඇල්පිටිය ප්‍රදේශයේ ඡන්දදායකයෙකි.
දකුණේ ඡන්දදායකයින් සමග කතා කිරීමේදී බොහෝ අය පවසන්නේ ගීතා කුමාරසිංහ මෙවර පැවැත්වෙන මැතිවරණයෙන් ඉහළින්ම ජය ගන්නා බවය.Anarkaliඑමෙන්ම වැඩිම මනාප ලබා ගන්නා පස් දෙනා අතරට ඇය පැමිණෙන බවද බොහෝ දෙනාගේ විශ්වාසය වී ඇති බව පෙනේ.
“හැබැයි ඇය තව ටිකක් ඉවසීමෙන් වැඩ කටයුතු කරන්න ඕන. සමහර වෙලාවට ඇයට ටිකක් කේන්ති යනවා.  ප්‍රසිද්ධ රැස්වීම්වලදීත්  කේන්තියෙන් කතා කරන අවස්ථා තියෙනවා. ඒක ඇයට අවාසියි. ගැහැනියක් හැටියට ඇය ඡන්ද දායකයන්ගේ අනුකම්පාව ලබා ගන්න කටයුතු කළා නම් ජයග්‍රහණය තවත් තහවුරු වෙයි කියල කියන්න පුළුවන්.”
ගීතා කුමාරසිංහ පසුගිය මහ මැතිවරණයට තරග කොට පරාජයට පත්වූවාය. නමුත්   එම පරාජය ගැනද ඇයට කියන්නට යමක් තිබේ. ගීතා පවසන්නේ එදා තමන්ගේ මනාප සොරකම් කළ බවයි. කුමන්ත්‍රණකාරී ලෙස තමා පරාජයට පත්කළ බවයි. 
ඒ මොන කුමන්ත්‍රණ සහ යටිකූට්ටුකම් තිබුණත් ගීතා  බෙන්තර ඇල්පිටිය බල ප්‍රදේශය අතහැර දැමුවේ නැත. ඇය එකදිගට සමාජ සේවයේ නිරත වූවාය. “මම දේශපාලනයට ආවේ හම්බ කරන්න නමෛයි. මට ජීවත් වෙන්න ඕන තරම් සල්ලි තියෙනවා. මට ඕන මිනිසුන්ට සේවයක් කරන්නයි.” ගීතා එසේ පවසයි. ඇයගේ මේ කියුම් කෙරුම්වලට ජනතාව කෙසේ පිළිතුරු දේ දැයි අපි බලා සිටිමු.
ගීතා කුමාරසිංහ හැරුණු කොට මැතිවරණයට තරග කරන ඉතිරි නිළියන් දෙදෙනාම ඉදිරිපත්ව සිටින්නේ මාතර දිස්ත්‍රික්කයෙනි. එම ජනප්‍රිය නිළියන් දෙදෙනා එක්සත් ජනතා නිදහස් සන්ධානය හා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් තරග කරන බව අපි දනිමු. ඒ අනර්කලී ආකර්ෂා සහ නදීෂා හේමමාලිය.
අනර්කලී මාතරට එන්නේ ගාල්ලෙනි. ඇය පසුගිය වතාවේ දකුණු පළාත් සභාවේ මන්ත්‍රීවරියක් ලෙස ජය ලබන්නේ ගාල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරමිනි. මේ නිසාම අනර්කලීට ඇත්තේ බලවත් අභියෝගයකි. ඒ ඇය මතෛක් සේවය කළ, එමෙන්ම පුරුදු පුහුණු ඡන්ද බලප්‍රදේශය අතහැර අලුත්ම ප්‍රදේශයකට පැමිණීම නිසාය.
“අනර්කලීට මේ ප්‍රදේශය අලුත්. එයා කතාබහ කරන විදිහ පවා අපේ පළාත්වල අයට අලුත්. මේක මේ පළාතේ ඡන්දදායකයන් කොයි විදිහට පිළිගනීද කියලා අපිට බලන්න සිද්ධ වෙනවා. ඒ වගේම අපේ පළාත්වල පරණ පුරුදු දේශපාලනඥයන් පවා ඇයව එක දිගට විවේචනය කරනවා. වාග් ප්‍රහාර එල්ල කරනවා”. අප සමග අදහස් දැක්වූ මාතර ප්‍රදේශයේ ඡන්දදායකයෙක් පැවසීය. “මේ තත්ත්වය අවබෝධ කරගත් නිසාදෝ ඇය හැසිරෙන්නේ බොහොම ඉවසීමෙන්”.  මාතර දිස්ත්‍රික්කයේ මැදහත් ඡන්දදායකයෝ පවසති.
“බල්ලෝ කොයි තරම් හඳට බිරුවත්, හඳ කඩා ගෙන වැටෙන්නේ නැහැ. මමත් එහෙමයි. මට කොයි තරම් දෙනා බැන්නත් මම ඒ අය සමග රණ්ඩු කර ගන්න යන්නේ නැහැ. අනික මම දකුණට උඩින් පාත් වුණු කෙනෙක් ‍නෙවෙයි. මගේ අම්මා තාත්තා දෙන්නම කඹුරුපිටියේ. ඉතින් මට මාතරට එන්න nadeeshaඅයිතියක් තිබෙනවා”අනර්කලී පවසයි.  තමන්ගේම පක්ෂයේ අය විවිධ ප්‍රශ්න මතුකරද්දී ඇයද නොසැලී ඉදිරියට යමින් සිටින බව පෙනේ. ඒ සටනින් ඇයට කුමන ප්‍රතිඵලයක් ලැබෙනු ඇත්ද යන්න තව දින කිහිපයකින් දැකගත හැකි වනු ඇත.
මාතරට ඉදිරිපත්ව සිටින අනෙක් ජනප්‍රිය නිළිය වන්නේ එජාපයෙන් තරග වදින නදීෂා හේමමාලිය. පළමුවරට මැතිවරණයකට ඉදිරිපත් වන නදීෂාට ඡන්දදායකයින් කුමන ප්‍රතිඵලයක් හිමි කරදෙනු ඇත්ද යන්න ගැනද බොහෝ දෙනා කුතුහලයෙන් බලා සිටියි.
“මමත් දකුණේ කෙනෙක්. එහෙම නැතිව පැරෂුට් එකකින් මෙහාට පාත් වුණු කෙනෙක් ‍නෙවෙයි. අනික මම පබා වගේ කොබා පෙන්නන්නේ නැහැ. මම කැපුවත් කොළ. කවදාවත් පක්ෂය මාරු කරන්නේ නැහැ”. නදීෂා හේමමාලි මේ ආකාරයට පවසන්නේ ඇයද එජාපයෙන් ඡන්ද ලබා පසුව ආණ්ඩුවට එක්වනු ඇතිද යන සැකය බොහෝ දෙනකු විසින් පසුගිය කාලයේ මතුකරන ලද නිසාය. සැබැවින්ම මේ ආකල්පය නදීෂා විසින් ජයගත යුතුව ඇති ප්‍රබල අභියෝගයකි.
“හැබැයි ඇය බොහොම අපූරුවට ජනතාවට සමීප වෙලා මේ කාරණය පැහැදිලි කර දෙනවා. ඇය වටා බොහෝ ජනතාවක් එක්වී සිටින බවක් පෙනෙන්නට තිබෙනවා.  දකුණේ කාන්තාවන් ඇයගේ රැස්වීම්වලට එන බව පෙනෙනවා. ඒ වගේම ඇයට හොඳ කථිකත්වයක් තිබෙන බවත් පෙනෙනවා” එසේ පැවසුවේ අප සමග අදහස් දැක් වූ මාතර ප්‍රදේශයේ ඡන්දදායකයෙකි.
තත්ත්වය මෙසේ වුවත් ගීතාට, අනර්කලීට හා සමානව නදීෂාටද තම පිලෙන් ප්‍රබල විරෝධතා හා කෙනෙහිලිකම් මතුව තිබෙන බව පෙනෙන්නට තිබේ. නාම යෝජනා බාර දීමෙන් පසු නදීෂා ප්‍රසිද්ධියේ කළ “මමත් මංගල මන්ත්‍රීතුමාගේ කුරුඳු ‍පොලු හමුදාවට බැඳුනා” යන ප්‍රකාශයට රනිල් හා මංගල විරෝධී පිල ප්‍රබල ප්‍රචාරයක් ලබා දෙමින් ඇගේ ජයග්‍රහණයට අකුල් හෙළන ආකාරය පෙනෙන්නට තිබෙන බවද වාර්තා වෙයි.
මේ සියලු අභියෝග ජයගනිමින් ගීතා කුමාරසිංහ, අනර්කලී ආකර්ෂා සහ නදීෂා හේමමාලි කවර ප්‍රතිඵලයක් ලබා ගනිවිද යන්න ලබන 30 වැනි දින වනවිට  ජනතාවට දැනගන්නට හැකි වනු ඇත.
සමන් ප්‍රියංකර නම්මුනිගේ

No comments:

Post a Comment