Translate

Translate

Monday, February 24, 2014

පාහියන්ගලින් 2012 වසරේ හමුවූ අස්ථි කොටස් වසර 47000ක් පැරණියි - පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්

පාහියන්ගල ඓතිහාසික ලෙනේ පසුගිය 2012 වර්ෂයේදී ජුනි මාසයේදී පුරාවිද්‍යා කැණීම්වලින් හමුවූ මානව අස්ථි අවශේෂ අදින් වසර හතළිස් හත්දහසක් තරම් පැරණි ඒවා බවට ඒ පිළිබඳ බ්‍රිතාන්‍යයේ කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලය සිදු කළ පර්යේෂණවලින් තහවුරු කර ඇතැයි පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතා කියයි.
මීට වසර 37000ක මානව අවශේෂ මීට පෙර ඓතිහාසික පාහියන්ගල ලෙනේ සිදු කළ ප්‍රාග් ඓතිහාසික කැණිම්වලින් හමුවූ අතර පසුගිය 2012 වසරේ ජුනි මස සිදු කළ කැණීම්වලින් හමුවූ මානව අවශේෂවල කාබන් පිටපත් අනුව ස්ථිර වශයෙන්ම වසර 47000ක ප්‍රාග් ඓතිහාසික මානව තොරතුරු බවට තහවුරු වී ඇතැයි පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා කියයි.
නූතන මානවයා පිළිබඳ ලංකාවේ හමුවූ පැරණි සාධක මෙසේ වුවත් මෙම කැණිම් සිදු කළ ස්ථානයේ ඇති ගල් පතුර පාහියන්ගලෙන් ගැලවී වැටී ඇති එකක් බවත් එම නිසා එම ගල් පතුර ඉවත් කර ඊට යට ඇති පස් ස්ථර පිළිබඳව පර්යේෂණ සිදු කිරීම මගින් මීටත් වඩා ඉපැරණි ප්‍රාග් ඓතිහාසික තොරතුරු සොයාගැනීමට හැකි වෙතැයි පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා කියයි.
මෙරට සිදු කරන ලද ප්‍රාග් ඓතිහාසික කැණීම්වලදී පළමු වතාවට සම්පූර්ණ ඇටසැකිල්ලක් හමුවූයේ පාහියන්ගල සිදු කළ කැණීමේදීය. එම ස්ථානයේ වසර 28ක් පමණ පැරණි පස් තට්ටුවකට යටින් මෙම ඇටසැකිල්ල හමුවූ බව අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.
මෙම ඇටසැකිල්ල වසර 42000ක් පමණ පැරණි යැයි මෙරට පුරාවිද්‍යාඥයන් උපකල්පනය කළ අතර එය තහවුරු කර ගැනීම සඳහා පස් තට්ටුව පිටින් ගොඩට ගෙන බ්‍රිතාන්‍යයට යැවීය.
මේ පිළිබඳ පාහියන්ගල විහාරාධිකාරී පුරාවිද්‍යාවේදී පාහියන්ගල ආනන්ද සාගර හිමියන් කීවේ මෙවැනි ඓතිහාසික තොරතුරු හමුවූ පාහියන්ගල ලෙන පිළිබඳව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවත් වගකිවයුතු බලධාරීනුත් කිසිම සැලකිල්ලක් නොදැක්වීම ඉතාම අවාසනාවන්ත බවයි. අවම වශයෙන් මෙවැනි තොරතුරක් තහවුරු වූ පසු ඒ බව පාහියන්ගල වෙනුවෙන් වෙහෙසෙන පිරිසට හෝ දැනුම් දීමට තරම් හෝ කටයුතු නොකළ බවයි. ඊටත් වඩා කනගාටුදායක ලොවම මවිත කරන මෙවැනි තොරතුරු  හමුවූ ලෙනට කිසිම ආරක්ෂාවක් රැකබලාගැනීමේ අවශ්‍යතාවක් පිළිබඳව වගකිවයුත්තන්ට නොමැතිවීම යැයි පාහියන්ගල විහාරාධිකාරී හිමියෝ කීහ.
වයි. ආරියතිලක - බදුරලිය

No comments:

Post a Comment