Translate

Translate

Tuesday, February 4, 2014

නෑයින්ගේ මස් නොකමු!


මිනිසා සහ සතුන් අතර ඇති බැඳීම බුදු රජාණන් වහන්සේ තරම් මනා ව පැහැදිලි කළ ශාස්තෘවරයෙක් මේ විශ්වයේ නැත. උන් වහන්සේ නොයෙක් බෝධිසත්ත්ව ආත්මවලදී පවා තම වර්ගයාට සහ මිනිසාට උදව් කළ අවස්ථා ජාතක පොත් වහන්සේ තුළ ද මනා ව පැහැදිලි කර ඇත. බුදු රජාණන් වහන්සේ දේශනා කර ඇති පරිදි මේ සෑම සතා-සිව්පාවෙක් ම අපගේ ම ඥාතියෙකි. බුද්ධ වචනය අනුව “මගේ අම්මා නොවුණ, මගේ තාත්තා නොවුණ, මගේ දුවක දරුවකු නොවුණ, මගේ ඥාති නොවුණ කෙනෙක් නැත” යනුවෙන් වේ.
මේ අනුව අපට පෙනෙන්නේ දේව ආත්මවල සිටින අය ද, සතා-සිව්පාවුන් ද, යක්ෂ, ප්‍රේත, භූත, පිසාච ආත්මවල පවා ඉන්න අය ද අපගේ ම ඥාතීන් වන බව යි. එසේ නම්, බුද්ධ වචනය අනුව කුකුළා, ගවයා, ඌරා, එළුවා සහ මාළුවා ද අපගේ ම අය වේ. මාංස අනුභව කරන්නන් නිසා තම ජීවිතයෙන් වන්දි ගෙවන මේ සත්තු ද අප මෙන් ම තම ජීවිතයට ආදරය කරන අහිංසක ජීවීහු ය. අප රස කර-කර කෑමට ගන්නා මස-මාංසය අයිති අය ද අපගේ ම අය නේද?
ඔබ අනුභව කරන කුකුළු මස අයිතිකරු එක ආත්මයක සිටි ඔබගේ ම මව හෝ පියා හෝ විය හැකි ය. ඔබ රස කර-කර කන මාළුවා අයිතිකරු ඔබගේ ම පෙර ආත්මයක සිටි දරුවකු වීමට පුළුවනි. එසේ නම්, සිතා බලන්න: දුක් විඳ, මනුෂ්‍යත්වයක් ලබාගෙන උසස් මනසක් හිමි ඔබ විසින් දැන-දැන කරනු ලබන්නේ මහා පාපයක් නො වේ ද? ඔබගේ ම අයගේ මාංස ඔබට ම කාදැමිය හැකි ද? එසේ කිරීමට කොතරම් දරුණු සිතක් ඔබ තුළ පැවතිය යුතු ද?
මරණයට කැප වන හැම සතෙක් ම තම ජීවිතයට අප වගේ ම ආදරය දක්වති. කිසිදු සතෙක් කැමැත්තෙන් ම මරණයට කැප නො වේ; තම ජීවිතය බේරාගැනීමට අවසාන මොහොත දක්වා ම සටන් කරයි. සතුන් මරණ වධකයා මන්නය අමෝරාගෙන එන විට තිරිසන් සතා වුව ද තමා මරාදැමීමට එන බව දනී. සිතා බලන්න: අප හට කකුලක කටුවක් ඇනුණ විට කොපමණ නම් වේදනාවක් දැනෙනවා ද කියා. ඒ වගේ කී ගුණයකින් නම් වේදනාවක් මරණ මොහොතේ මරණයට කැප වන සතාට ඇති වන්නේ ද?
අත්-පා එකට ගැටගසමින්, නොයෙකුත් දස වධ දෙමින් බෙල්ලෙන් කඳ වෙන් වන්න කපාදමද්දී කරුණාවක් මේ සතුන් තුළ ඇති වේවි ද? මරණ භයෙන්, ජීවත් වීමට ආශාවෙන්, වේදනාවෙන් තිරිසන් සත්තු හඬාවැලපෙති; වෛරයෙන්, ක්‍රෝධයෙන් මුසපත් වෙති. දරු සෙනෙහස කාටත් පොදු ය. එය තිරිසන් සතාට වුව ද දැනේ. මරණයට ලක් වන සතුන් අතර මාළුන්ගේ ප්‍රමාණය ඉහළ වේ. මරණයට ලක් වන මාළු අම්මලා, තාත්තලා “අනේ මගේ දරුවෝ” යනුවෙන් වේදනාවෙන්, දරු සෙනෙහසින්, විශ්වයට වෛරය මුදාහැර ජීවිතයෙන් සමුගනිති.
මෙතරම් වේදනාවෙන්, වෛරයෙන් තම ජීවිතය අහිමි වන සතුන්ගේ මාංසය අනුභව කිරීමෙන් අපටබලාපොරොත්තු වන විටමින්, කැල්සියම් ලැබේවි ද? නැත. අපට ලැබෙන්නේ ද නරක ම පමණි. එනම් මිනිසාගේ සිත් තුළට වෛරය, ඉරිසියාව, ආත්මාර්ථය, කපටිකම, දැඩි බව මෙන් ම රෝග ගණනාවක් ද නොමිලේ ම ලැබේ. ඒ අතර පිළිකා, ලේවල සීනි, ලේවල තෙල්, හදවත් රෝග ආදි නොයෙකුත් රෝගාබාධයන්ට ගොදුරු වීමට සිදු වේ.
කොතරම් ගුණදායි නිර්මාංස ආහාර වර්ග මේ විශ්වයේ තිබුණත් මාංසවලට මිනිසා ඉතා දැඩි ලෙස ලොල් වී ඇත. ඔබ මස් මාංසවලින් තොර වූ විට අහිංසක සතුන්ට ද මේ මිහිතලය මත නිදහසේ ජීවත් වීමට ලැබේ. මිනිසාට මෙන් ම සතුන්ට ද ජීවත් වීමේ අයිතිය ඇත. ඔබ ද සතකුට ජීවත් වීමේ අයිතිය අහෝසි කරන්නෙක් නො වන්න. පන්සිල් පද පහෙන් පළමු ශික්‍ෂා පදය දිවි හිමියෙන් ආරක්ෂා කරන්නකු වන්න. පරපණ නැසීමෙන් මෙන් ම වක්‍ර ව නැසීමට සම්බන්ධ වීමෙන් ද වළකින්න. එවිට ඉතුරු ශික්‍ෂා පද ද ඔබ නොදැනුවත් ව ම ආරක්ෂා කරනු ඒකාන්ත යි.

No comments:

Post a Comment