Translate

Translate

Monday, February 24, 2014

මීගමුව දෙකෝටියේ කොල්ලයේ සල්ලි බෙදුවේ රොයිස්ගේ නිවසේ

මීගමුව ජුවෙල් ලංකා විදෙස් මුදල් හුවමාරු ආයතනයට ඇතුළු වී රුපියල් කෝටි දෙකකට ආසන්න මුදලක් කොල්ලකෑමේ සිද්ධියට එක්සත් ජාතික පක්ෂ බස්නාහිර පළාත් සභා අපේක්ෂක සහ මීගමුව නගර සභාවේ හිටපු විපක්ෂ නායක රොයිස් විජිත ප්‍රනාන්දු සහ ඔහුගේ රියැදුරු ඇතුළු පුද්ගලයන් තිදෙනකු මීගමුව ‍පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් දෙදෙනා මෙම කොල්ලයට පැමිණි පුද්ගලයන් දෙදෙනා රැගෙන ගිය යතුරුපැදිකරුවන් බව ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇති අතර ඔවුහු එහිදී මෙම කොල්ලය රොයිස් ප්‍රනාන්දුගේ උපදෙස් මත කළ බව පිළිගෙන ඇත.
මෙම කොල්ලයට සම්බන්ධ සැකකරුවන් හඳුනාගෙන ඇත්තේ කොල්ලයට පෙර ඔවුන් මීගමුව නගරයේ පිහිටි යතුරුපැදි හිස්වැසුම් අලෙවි කරන ආයතනයකට ගොස් හිස්වැසුම් (හෙල්මට්) මිලදී ගන්නා අවස්ථාවේ ආරක්ෂිත කැමරාවක සටහන් වූ ඡායාරූපවලින් සහ එක් කොල්ලකරුවකු ඇඳ සිටි ඇඟලුම් ආයතනයක සලකුණ සහිත ටී ෂර්ට් එකකින් බව ‍පොලිසිය සඳහන් කරයි.
මෙම ඡායාරූපය අනුව අත්අඩංගුවට ගත් තරුණයන් දෙදෙනාගෙන් කළ වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී මෙම කොල්ලය එක්සත් ජාතික පක්ෂ බස්නාහිර පළාත් සභා අපේක්ෂක  රොයිස් ප්‍රනාන්දුගේ මෙහෙයවීම මත සිදුව ඇති බව අනාවරණය වී ඇත. ඔහුගේ මෙහෙයවීම මත 'ඇපල් රුවන්' නමැත්තා විසින් මෙම කොල්ලය සිදුකළ බවද ඒ සඳහා රුවන්ගේ ගෝලයකු වන කෂිනා නමැත්තා ද සම්බන්ධ වී ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
එනම් හිස්වැසුම් මිලදී ගැනීමට පැමිණ ඇත්තේ තරිඳු නමැති ප්‍රසිද්ධ ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවය කරන අයෙකි. ඔහු නිල් පැහැති ටී ෂර්ටයක් ඇඳ කොල්ලය සිදුවන 17දා උදෑසන 11.25ට පමණ හිස් වැසුම් වෙළෙඳසලට පැමිණ තිබේ. ඒ සුදු පාට ස්කූටරයකිනි. එලෙස පැමිණෙන තරිඳු අදාළ වෙළෙඳ ස්ථානය තුළට ගොස් දුරකථන ඇමතුමක් ලබාගෙන අවශ්‍ය හෙල්මටය කුමක්දැයි විමසා ඇත.
පසුව ඔහු හෙල්මට් දෙකක් මිලදී ගෙන  එක් හිස් වැසුමක් හිසේ දමාගෙන තිබේ. ඒ කළු පැහැති හිස්වැසුමය. පසුව ඔහු අනෙක් හෙල්මටය අතේ තබාගෙන වෙළෙඳසලෙන් එළියට පැමිණ තිබේ.
එහිදී තරිඳු ඇඳ සිටින්නේ ඔහු සේවය කරන ස්ථානයේ ටී ෂර්ට් එකකි. එම ටී ෂර්ටය ඇඳ සිටින තරිඳුගේ ඡායාරූපයක් ‍පොලිසිය විසින් රැගෙන ගොස් එම ප්‍රසිද්ධ ඇඟලුම් ආයතනයට පෙන්වා ඇත. ඔවුන් පවසා ඇත්තේ එවැනි ටී ෂර්ට් 30ක් පමණ නිකුත් කර ඇති බවත් එම පුද්ගලයා තමන්ගේ ආයතනයේ සේවකයකු බවත්ය. පසුව ඔහු අත්අඩංගුවට ගෙන ඇත.  එසේම කොල්ලය සිදුවන දින ඔහු ආයතනයෙන් නිවාඩු ගොස් සිට ඇත.
මොහු අත්අඩංගුවට ගැනීමත් සමග මෙම කොල්ලයට සම්බන්ධ අනෙක් පුද්ගලයා ගැන ද මොහු ‍පොලිසියට හෙළි කොට තිබුණි. ඒ රොයිස් ප්‍රනාන්දුගේ රියැදුරා වූ ඉර්ෂාන් නමැත්තා පිළිබඳවය. ඔහු රොයිස් ප්‍රනාන්දුගේ පාසල් මිතුරකු වන බවද ‍පොලිසිය සඳහන් කරයි.
එසේම මෙම කොල්ලයෙන් පසුව මුදල් බෑගය රැගෙන රොයිස් ප්‍රනාන්දු මහතාගේ නිවසට පැමිණි බවත් එහිදී පිරිස වෙනත් මලුවලට මුදල් බෙදාගත් බවත් ඒ බෙදීම රොයිස් ප්‍රනාන්දු විසින් සිදුකළ බවත් ඔවුන් ප්‍රකාශ කර ඇත. කෙසේ වෙතත් මෙම කොල්ලය සිදුකර ඇත්තේ ඔහුට මැතිවරණ වැඩකටයුතු සඳහා වියදම් කිරීමට අවශ්‍ය මුදල් ලබාගැනීමට බව සැකකරුවන් විසින් හෙළිදරව් කරනු ලැබ ඇත.
සැකකරුවන්ගේ හෙළිකිරීම මත මීගමුව ගල්කන්ද හන්දියේදී පසුගිය සෙනසුරාදා (22දා) උදෑසන 10.00ට රොයිස් විජිත ප්‍රනාන්දු මහතා සිය වාහනයෙන් ගමන් කරමින් සිටියදී ‍පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී.
අත්අඩංගුවට ගත් රොයිස් ප්‍රනාන්දු සන්තකයේ තිබි රුපියල් 183000ක මුදලක්ද තවත් සැකකරුවකු සන්තකයේ තිබි 352,000ක මුදලක්ද ‍පොලිසිය මගින් සොයාගෙන ඇත. රොයිස් ප්‍රනාන්දු සහ ඔහුගේ රියැදුරු වන ඉර්ෂාන් එකට පාස‍ලේ අධ්‍යාපනය ලැබූ බව සඳහන් වේ.
1966 උපන් රොයිස් ප්‍රනාන්දු නමැත්තා 1986 අගෝස්තු 01 දින විශේෂ කාර්ය බළකායට උප ‍පොලිස් පරීක්ෂකවරයකු ලෙස එකතු වී ඇත. පසුව 1989 දී ඔහු සේවයෙන් ඉවත්ව ගොස් ඇත.
මෙලෙස ඉවත් වූ මොහු 1991 මාර්තු 09දා පෑලියගොඩ ප්‍රදේශයේදී ආයුධ පෙන්වා රුපියල් 412,000ක් වටිනා රන් ආභරණ  සහ 32000ක් වටිනා මුදල් සොරා ගැනීම පිළිබඳ චෝදනා ලබා ඇත.
එසේම මොහු 1993 වර්ෂයේ ජනවාරි 09දා අලුයම 1.00ට පමණ වෙන්නප්පුව ප්‍රදේශයේදී රුපියල් 38,300ක් කොල්ලකා තිබේ.
මොහු ඇතුළු පස් දෙනකුගෙන් යුත් කල්ලියක් කටුනායක ප්‍රදේශයේ විදේශ මුදල් හුවමාරු කරන ස්ථානයක් කොල්ලකෑමට ගොස් එහි සේවකයකු පැහැර ගෙන තිබූ බවටද ඔහුට චෝදනා එල්ල වී තිබේ. ඒ 2012 වර්ෂයේ පෙබරවාරි මාසයේය. එම කොල්ලය අසාර්ථක වී ඇති අතර ඊට ඔවුන් ‍පොලිස් නිල ඇඳුමින් එක් පුද්ගලයකු ද යොදාගෙන තිබුණි.
මේ ආකාරයෙන් මොහුට විරුද්ධව චෝදනා රැසක් ඇති බව ‍පොලිසිය සඳහන් කරයි.
ජුවෙල් ලංකා කොල්ලය පසුගිය 17 දා දහවල් 1.38 පමණ සිදුවූ අතර මෙම කොල්ලයට පැමිණි පිරිස ඊට පසුදින 18දා ඇඳුම් සහ යතුරුපැදි මග දමා ගොස් තිබියදී ‍පොලිසිය මගින් සොයා ගන්නා ලදී.
මෙම කොල්ලයට සම්බන්ධ අනෙකුත් සැකකරුවන් සොයා පරීක්ෂණ ආරම්භ කර ඇත.
ගයාන් ගාල්ලගේ/ චාමර අමරසූරිය / එස්. ප්‍රනාන්දු - මීගමුව

No comments:

Post a Comment