Translate

Translate

Friday, February 14, 2014

විජයගේ ජීවිතයේ අවසන් පැය 24 ගතවුණේ කොහොමද?

පද්මසිරි කොඩිකාරගෙන් “ඉරිදා ලක්බිමට” විශේෂ හෙළිදරව්වක්
27විජය කුමාරතුංග කලාකරුවා ඝාතනය කළේ 1988 වසරේ පෙබරවාරි 16 වැනිදා දහවල් කාලයේදීය. ඊට පෙර දින, එනම් පෙබරවාරි 15 වැනි දින විජය කුමාරතුංග සහ පද්මසිරි කොඩිකාර යම් අවශ්‍යතාවකට ගොස් ආපසු කොළඹ බලා පැමිණෙන විට මධ්‍යහ්නය වී තිබිණි. නුවර පාරෙන් පැමිණබණ්ඩාරනායක වටරවුමෙන් රථය හරවන විට පද්මසිරි විජය කුමාරතුංගව අමතා ඔහුගේ ආරක්ෂාව ගැන අවධානය යොමු කරන ලෙස අවධාරණය කළේ, ඒවන විටත් ශ්‍රී ලංකා මහජන පක්ෂයේ සාමාජිකයන් වෙඩි තබා ඝාතනය කර තිබූ නිසාය.
එහෙත් ඒ මොහොතේදී විජය කුමාරතුංග පද්මසිරිගේ අවවාදය ගැන තැකීමක් කළේ නැත. එදා ඔහු “ඔයා කිව්ව අනතුර මට තිබෙනවා නම් මෙ ෆිල්ම් කටවුට් මේ විදිහට තියෙවිද?”යනුවෙන් පද්මසිරිගෙන් විමසුවේ ඊට නුදුරින් තිබූ චිත්‍රපට දැන්වීමක විශාල කටවුට් එකකට අත දිගු කරමිනි. 
විජය කුමාරතුංගට එසේ පවසන්නට හේතුවක් තිබිණි. ඒ 1982 පැවැත්වූ ජනාධිපතිවරණයේදී හෙක්ටර් කොබ්බෑකඩුව මහතා පරාජය වීමත් සමගම මරදානේ ප්‍රදර්ශනය කරමින් තිබූ චිත්‍රපට කටවුට් එකක විජය කුමාරතුංගගේ බෙල්ල කඩා ‍පොල්කටු මාලයක් කරට පළඳා තිබිමය.
එහෙත් එදා තිබූ තත්ත්වය 1988 වන විට වෙනස් වී ඇති බවත් එදා කටවුට්වලට තර්ජන තිබුණු නමුදු අද තර්ජන තිබෙන්නේ ජීවිතවලට බවත් පද්මසිරි පැහැදිලි කළේය. ඉන් නිශ්ශබ්ද වූ විජය කුමාරතුංග කල්පනාවේ නිමග්න වෙමින් පැමිණියේය. දෙදෙනාම ‍පොල්හේන්ගොඩ විජයගේ නිවසට පැමිණි පසුව පද්මසිරි කොඩිකාර යළි පක්ෂ කාර්යාලයට ගියේ මේ වන විට ඔවුන් ඉතා කාර්යබහුල ජීවිත ගත කළ නිසාය. ඔවුන්ගේ කාර්ය බහුලත්වයට හේතු වූයේ පෙබරවාරි 21 වැනි දින එක්සත් සමාජවාදී පෙරමුණු පිහිටුවීමේ සංවිධාන කටයුතු යෙදී තිබිමය. පක්ෂ කාර්යාලයේ කටයුතු සොයා බලා පද්මසිරි යළි ‍පොල්හේන්ගොඩ විජයගේ නිවසට පැමිණියේය. ඔහු එහි පැමිණෙන විට විජය කුමාරතුංගගේ රථය නිවස ඉදිරිපිට නවතා තිබුණි. පද්මසිරි ඔහුගේ රථය විජයගේ රියට පිටුපසින් පල්ලමකට දමා නැවැත්වූවේ පද්මසිරිගේ වාහනයේ බැටරියේ 
දෝෂයක් තිබූ නිසාය. 
මේ මොහොතේදී විජය කුමාරතුංග සූදානමින් සිටියේ රාජගිරියේ ඔබේසේකරපුර වේදිකා නාට්‍යයක මුහුරත් උළෙලකට පිටත්වීමටය. ඊට සහභාගි වන මෙන් විජය කුමාරතුංග පද්මසිරිට ආරාධනා කළේය. පද්මසිරි ඊට කැමැත්ත පළ කළේය. 
ඒ සමගම එම මුහුරත් උළෙල සඳහා පද්මසිරිගේ වාහනයෙන් පිටත් වීම සුදුසු යැයි විජය කුමාරතුංග යෝජනා කළේය. 
එහෙත් ඔහුගේ වාහනයේ දෝෂයක් 
පවතින බැවින් ඔහු ඊට කැමැත්ත පළ කළේ නැත. නමුත් විජය කුමාරතුංග යළි යළි පැවසුවේ පද්මසිරිගේ රථයෙන් එහි පිටත්වීම සුදුසු බවය. එදින දහවල් කාලයේ තමා දුන් උපදෙස් කෙරෙහි විජය සැලකිල්ලක් දක්වන්නේ යැයි සිතූ ඔහු විජය සමග රාජගිරියේ ඔබේසේකරපුරයට පිටත් වූවේ පද්මසිරිගේ රථයෙනි.
එහි ගිය විජය කුමාරතුංග ‍පොල්තෙල් පහන දල්වා උත්සවය ඇරඹීමෙන් අනතුරුව නාට්‍යයේ නම අළලා දීර්ඝ දේශනයක් පැවත්වූයේ එකී නාට්‍යයේ නම “යුක්තිය උදෙසා” වූ බැවිනි. මෙම උත්සවය පැවැත්වෙන අවස්ථාවේදී පද්මසිරි කොඩිකාර පිටත රැඳී සිටියේය. එම උත්සවය පැවැත්වූ නිවසේ සිටි අයෙකු පද්මසිරිට කතා කළේ මේ අතරේදීය. ඔහුව ඇමතූ තැනැත්තා සිටි කාමරය අසලට පද්මසිරි ළඟා වූයේ පිටතින්මය. එහිදී පද්මසිරිට දැක ගත හැකි වූයේ බිත්තිය නොපෙනෙන සේ එහි අලවා තිබූ විජය කුමාරතුංගගේ පින්තූර සිය දහස් ගණනකි. එය දුටු විජය කුමාරතුංග පද්මසිරි සමග පැවසුවේ ඔහුට අමතක ඡායාරූප පවා බිත්තියේ අලවා තිබෙන බවය.
මෙම උත්සවය අවසාන වී විජය කුමාරතුංග සහ පද්මසිරි කොඩිකාර කෙළින්ම පිටත් වූයේ ලංකාදීප කාර්යාලයටයි. ඒවන විට වේලාව සවස 5.30ට පමණ ඇත. 21 වැනි දින පැවැත්වෙන උත්සවයේ ප්‍රචාරක ‍පෝස්ටර් මුද්‍රණය කිරීම සඳහා අවශ්‍ය “ප්‍ලේට්” හතර ලංකාදීප කාර්යාලයෙන් ලබාගත් ඔවුන් දෙදෙනා මරදානේ පිහිටි පක්ෂ කාර්යාලයට පැමිණියහ. එතනින් යායුතුව තිබුණේ ‍පෝස්ටර් මුද්‍රණය කිරීමට අවශ්‍ය ප්‍ලේට් භාරදිය යුතු මුද්‍රණාලය පිහිටි කොටහේනටය. මෙම අවස්ථාවේදී පක්ෂ කාර්යාලයේ සිටි පක්ෂයේ උප‍ලේකම් වූ ප්‍රේමසිරි පෙරේරාද ඔවුන්ගේ වාහනයට ගොඩවූයේ ආමර්වීදියෙන් බැස ගැනීමටය.
විජය කුමාරතුංගත් පද්මසිරි කොඩිකාරත් කොටහේනේ පිහිටි බර්නාඩ් ගුණසේකරගේ මුද්‍රණාලයට ගොස් ‍පෝස්ටර් මුද්‍රණයට ඇණවුම් භාර දුන්හ. මෙම අවස්ථාවේදී බර්නාඩ් ගුණසේකර ඔවුන්ට රාත්‍රී කෑමට ඇරයුම් කිරීමට අමතක කළේ නැත. එහෙත් ඉතා 
කාර්යබහුල බැවින් ඇරයුම කාරුණිකව ඉවත දැමූ විජය කුමාරතුංග, පද්මසිරි සමග යළි පක්ෂ කාර්යාලට පැමිණයේය. මේ වන විට මිතුරන් කීපදෙනෙකුද පක්ෂ කාර්යාලයට පැමිණ සිටියේ විජය හමුවනු පිණිසය. මෙම මිතුරන්  සමග විජය කුමාරතුංග බැහැර ගිය මොහොතේදී පද්මසිරි කොඩිකාර ‍පොල්හේන්ගොඩ විජයගේ නිවසට පැමිණියේ රෑ බෝවී ඇති බැවිනි.
ඊට පසුදින, එනම් පෙබරවාරි 16 වැනි දින විජය කුමාරතුංග හලාවත බලා යෑමට නියමිත තිබුණි. ඒ, එහි දේශපාලන සංවිධාන කටයුතු දේව බණ්ඩාර සේනාරත්නට පැවරීමටය. විජය හලාවත බලා යෑමට පෙර පද්මසිරිට ඔහු සමග සාකච්ඡා කළ යුතු කරුණු කීපයක් තිබිණි. එබැවින් පද්මසිරි කොඩිකාර විජය එනතුරු ‍පොල්හේන්ගොඩ නිවසේ කාලය ගත කළේය. එහෙත් විජය නිවසට පැමිණෙන විට රාත්‍රී 10.00 පසු වී තිබිණි. එබැවින් පද්මසිරි ‍පොල්හේන්ගොඩ නිවසේ රාත්‍රිය ගත කළේ. විජය සමග කතාබහ කිරීම පසුදිනට කල් තබමිනි.
පෙබරවාරි 16 වැනි දින පද්මසිරි අවදිවූයේ විජය කුමාරතුංගගේ හ¾ඩිනි. ඒ සිය දියණියව පාසල් යැවීම සඳහා අවදි කිරීමේ හ¾ඩිනි. එවිට නිවසේ මෙහෙකාරිය එදින රජයේ නිවාඩු දිනයක් වන බැවින් දියණියට පාසල් නොමැති බව විජයට දැන්වූවාය. එම සංවාදයෙන් අවදි වූ පද්මසිරි මුහුණ කට සෝදාගෙන පක්ෂ කාර්යාලයට පැමිණියේ විජය හලාවත යෑමට පෙර දේව බණ්ඩාර සේනාරත්න කැටුව යෑම සඳහා එහි පැමිණෙන බව හොඳාකාරව දන්නා බැවිනි. 
නොබෝ වේලාවකින් විජය කුමාරතුංග සිය රථයෙන් පක්ෂ කාර්යාලයට පැමිණියේ තනිවමය. විජයගේ රියදුරු එදිරිතිලක නොමැති දැයි පද්මසිරි විමසුවේ තනිවම ගමන් බිමන් යෑම හිතකර නොවන නිසාය. ඔහු නිවසේ කටයුත්තකට නතර වූ බව පැවසිණි. හලාවත යෑමට පද්මසිරිට විජය සමග පැමිණිය හැකි බව දැන්වූ විට විජය පැවසුවේ ඔහුට තනිවම යා හැකි බවයි. පද්මසිරිට එහි නැවතී පක්ෂ කටයුතු බලා ගන්නා ලෙස විජය කුමාරතුංග උපදෙස් දුන්නේය. මෙම අවස්ථාවේදී විජයගේ රථය අසලට වී ඔහු සමග කතාබහ කළේ පද්මසිරි කොඩිකාර පමණක් නොවේ. වයි.පී. ද සිල්වා සහ ටියුඩර් දයාරත්නද ඒ අසල වූහ.  මේ අතරේදී කෝට්ටේ ආසන සංවිධායක ලෙස්ලි පෙරේරා බ්‍රවුන් පේපර් බෑග් කීපයක් දෑතට ගෙන ඔහුගේ රථයෙන් බැස්සේය. එය දුටු විජය කවරවල මොනවාදැයි විමසූ විට ඔහු පැවසුවේ පක්ෂයේ කොල්ලන්ට කෑම රැගෙන ආ බවය. ඔහුව සිය රථය අසලට ගෙන්වා ගත් විජය කුමාරතුංග කවරවලින් මාළු පාන් ගෙඩියකුත් කට්ලට් එකකුත් දෑතට ගෙන එය ආහාරයට ගනිමින්ම අසල රැස්ව සිටි අය සමග කතා කළේය. ඉන් අනතුරුව දේව බණ්ඩාර සේනාරත්නව නංවා ගත් විජය ඔවුන්ගෙන් සමුගෙන ගියේ දහවල් 12.30ට පක්ෂ කාර්යාලයේදී හමුවන ලෙස පවසමිනි.
මරදානේ පක්ෂ කාර්යාලයෙන් පිටත් වූ විජය කුමාරතුංග ඔහුගේ රථයෙන් කෙළින්ම හලාවත බලා ගියේ නැත. ඔහු කෙළින්ම පැමිණියේ ජා-ඇල ෆීලික්ස් පෙරේරාගේ නිවසටය. විජයගේ රථය එහි දමා ෆීලික්ස් පෙරේරාගේ රථයෙන් විජය සහ දේව බණ්ඩාර හලාවත බලා පිටත් වූවේ යම් අනතුරක සේයාවක් දැනුණු නිසා විය හැකිය. 
දේව බණ්ඩාරව හලාවතින් බස්සවා විජය යළි කොළඹ බලා පිටත් වූවේ ෆීලික්ස් පෙරේරාගේ රථයෙනි. වාහන මාරුව සඳහා ඔහු ජා-ඇල නැවතුණේ නැත. කෙළින්ම ‍පොල්හේන්ගොඩ නිවසට පැමිණි විජය කුමාරතුංග මුහුණ කට සෝදාගෙන ඇඳුම් මාරු කරගත්තේ ඔහු හමුවීමට පැමිණි පිරිස දහවල් 12.30ට පක්ෂ කාර්යාලයේ රැස්ව සිටින බැවින් ඉක්මණින් ඔවුන් මුණ ගැසීමේ අරමුණෙනි.  මේ වනවිට ‍පෝස්ටර් මුද්‍රණය කිරීමේ රාජකාරිය ගැන සොයා බලන්නට ගිය පද්මසිරි පක්ෂ කාර්යාලයට පැමිණ එම ‍පෝස්ටර් රාත්‍රී 10.00 වන විට ලැබෙන බව වයි.පී. ද සිල්වාට දැනුම් දුන්නේය. ඒ අතරවාරයේදී ඔවුන්ට ආරංචි වූයේ විජය කුමාරතුංගට වෙඩිතබා ඝාතනය කර ඇති බවය.
පද්මසිරි වහාම ‍පොල්හේන්ගොඩ විජයගේ නිවසට පිටත් වූවේය. ඒ වන විට ‍පොල්හේන්ගොඩ උද්‍යාන පාර අසලින් මාර්ගය වසා තිබුණි. පද්මසිරිගේ වාහනය ඒ අසල පිහිටි රෝයි ද සිල්වාගේ නිවසේ දමා ඔහු විජයගේ නිවසට පයින්ම දිව ගියේය. එහි සිටි ‍පොලිස් නිලධාරියකු වූ ජෙරාඩ් ඉග්නේෂස්ගෙන් පද්මසිරි විමසුවේ එකම පැනයකි. ඒ “කොහාටද වෙඩි තියලා තියෙන්නේ?” යනුවෙනි. ඔහු දුන් පිළිතුරෙන් විජය පිළිබඳව අල්ප මාත්‍රයක හෝ බලා‍පොරොත්තුවක් තබා ගත නොහැකි බව පද්මසිරිට පසක් විය. ඔහු විජයගේ නිවස තුළට ගොඩ වැදුණේ පියවි සිහියෙන් නොවේ.
ඒ මොහොතේදී මුළු නිවසම නිහඬතාවේ ගිලී තිබුණි. දොර ජනේල් විවෘත වී තිබුණි. කිසිම කෙනෙකු කිසිවක් ගැන කතා කළේ නැත. සිනමාවේ සක්විති ගාමිණී ෆොන්සේකා සහ නිළි රැජින වන මාලිනී ෆොන්සේකා නිසොල්මනේ එහි රැඳී සිටියේ සිදුවූයේ කුමක්දැයි සිතා ගැනීමට නොහැකිවය. විජය කුමාරතුංග ලබාගත් සම්මාන පෙළ පමණක් එහි විරාජමානව තිබිණි. පද්මසිරිව බදාගෙන වැළපෙන ෆීලික්ස් පෙරේරා සමග දුක බෙදා හදා ගැනීමට අවශ්‍ය වුවද ඒ මොහොතේදී පද්මසිරිගේ දුක් වේදනා සියල්ල උගුරේ සිර විය. 
සිය කලණ මිතුරා තමා සමග ගත කළ අවසාන පැය 24 පිළිබඳව සිහිපත් වූ පද්මසිරිට ඒ මොහොතේ දැනුණ වේදනාව අපමණය. 
ඒ පිළිබඳව වසර 26කට පසුව ඔහු ආවර්ජනය කළේ කාලය විසින් ශේෂ කළ දුක් සුසුම් සහ මතකයන් යළි පාරවමින් බව අමුතුවෙන් කිව යුතු නැත.
හර්ෂා සුගතදාස

No comments:

Post a Comment