Translate

Translate

Monday, February 24, 2014

නීති විද්‍යාලයට බඳවාගැනීමේදී සිංහල සිසුන්ට ආසාධාරණයක් - ජාතික හෙළ උරුමය කියයි

නීති විද්‍යාලයට බඳවා ගන්නා සිසුන් සංඛ්‍යාව අසාමාන්‍ය ලෙස අඩු කිරීමෙන් මෙවරත් සිංහල සිසුන්ට බලවත් ආසාධාරණයක් සිදුවී ඇතැයි ජාතික හෙළ උරුමය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
ඊයේ (23) දින ජාතික හෙළ උරුමයේ මාධ්‍ය ප්‍රකාශක නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතාගේ අත්සනින් යුතුව නිකුත් කොට ඇති එම නිවේදනයේ මෙසේ ද සඳහන්ය.
මෙරට පමණක් නොව දකුණු ආසියාතික කලාපයේ වඩාත් තරගකාරී විභාගයක් වන ශ්‍රී ලංකා නීති විද්‍යාල ප්‍රවේශ විභාගයට අදාළව පසුගිය වසරේ මහත් ආන්දෝලනයක් ඇති වූයේ මුස්ලිම් සිසුන් ඇතුළත් කරගැනීම සඳහා දූෂණ අක්‍රමිකතා රැසක් සිදුවූ බව අනාවරණය වීමත් සමගය.
ඊට පිළියමක් ලෙස පසුගිය වසරේ නීති විද්‍යාලයට ශිෂ්‍යයන් 551ක් බඳවා ගැනීමට කටයුතු කළේය. ඒ අනුව සිදුවූයේ අක්‍රමිකතා පිළිබඳ නිසි පරීක්ෂණයක් සිදුකිරීම වෙනුවට එය සඟවමින් ඒ සමගම අසාධාරණයට ලක්වූ සිංහල සිසුන්ට ද යම් සහනයක් ලබාදීමකි. එහෙත් මෙවර සිදු කර ඇත්තේ එවර සිංහල සිසුන්ට ලබාදුන් සහනය පවා කනපිට හරවන අන්දමේ බලවත් අසාධාරණයකි. එනම් ඉතිහාසයේ කිසිදු දිනක නොවූ විරූ ලෙස නීති විද්‍යාලයට බඳවා ගන්නා ශිෂ්‍ය සංඛ්‍යාව අසාමාන්‍ය ලෙස පහත දැමීමයි. සාමාන්‍යයෙන් නීති විද්‍යාලයට ශිෂ්‍යයන් 225ත් 250ත් අතර බඳවා ගැනුනද මෙවර බඳවා ගෙන ඇත්තේ 177ක් පමණකි. දූෂණ අක්‍රමිකතා සිදු වූ 2011 සහ 2012 වසර දෙකේ නීති ප්‍රවේශ විභාග දෙක හැරුණු විට අන් සෑම සාධාරණ නීති ප්‍රවේශ විභාගයකදීම ඉහළ ප්‍රතිශතයක් සමත්ව ඇත්තේ සිංහල සිසුන් වන බැවින් මේ කප්පාදු කිරීමෙන් අසාධාරණයට ලක්ව ඇත්තේ ඔවුන් බව ඉතා පැහැදිලිය.
දැනට ක්‍රියාත්මක වන විෂය නිර්දේශය යටතේ පැවැත්වෙන අවසාන විභාගය මේ වන බැවින් මෙවර අසාධාරණයට ලක්වූ සිසුන්ට තමන් උගත් විෂය නිර්දේශය යටතේ යළි විභාගයට පෙනී සිටිය නොහැකි බව සැලකිය යුතු කරුණකි. එබැවින් මෙවැනි විෂය නිර්දේශ වෙනස් කිරීමකට පෙර හැකි උපරිම සිසුන් සංඛ්‍යාවක් බඳවා ගැනීමට කටයුතු කිරීම සම්මත ක්‍රමවේදයයි. මේ වන විට සිසුන් විශාල පිරිසක් දැඩි කලකිරීමටත් දැඩි කම්පනයටත් පත්ව ඇත. උද්ගත වී ඇති ගැටලුව විසඳීමට ඇති එකම පිළියම වන්නේ 1981 සිට මේ දක්වා පැවැති විභාගයන්ගෙන් සමත් වූ සමස්ත ශිෂ්‍ය සංඛ්‍යාවේ සාමාන්‍ය අගය වන ශිෂ්‍යයන් 288ක ප්‍රමාණයවත් අවම වශයෙන් බඳවා ගැනීමට කටයුතු කිරීමයි.
අධිකරණ අමාත්‍ය රාවුෆ් හකීම් මහතා විසින් සිදු කරගෙන යන මෙම වර්ගවාදී පිළිවෙත නිසා අධිකරණ අමාත්‍යාංශයේ තනතුරු පිරිනැමීම, සමවිනිසුරු පත්වීම් ලබාදීම ඇතුළු සෑම අංශයකම විශාල අසමතුලිතතාවක් හටගෙන ඇත. අධිකරණ ක්ෂේත්‍රය වැනි අතිශය සංවේදී වැදගත් ක්ෂේත්‍රයකට අදාළ අමාත්‍යාංශය මෙවැනි අන්තවාදී දේශපාලනඥයින්ට ලබාදීම පිළිබඳව රජය සිය දැඩි අවධානය යොමු කළ යුතුය යන්න අපගේ විශ්වාසයයි.

No comments:

Post a Comment