Translate

Translate

Sunday, February 16, 2014

පොලිසියට වැඩ පෙන්වන්නට ගිය ගාල්ලේ අජිත්
බස්‌නාහිර සහ දකුණු පළාත් සභා මැතිවරණය සඳහා මේ වන විට නාම යෝජනා භාරදී අවසන් අතර පසුගියදා වන විට අපේක්‍ෂකයන් හට මනාප අංක ලබාදීම සිදුකර හමාරය. ඉදිරියට ඇත්තේ මැතිවරණ සටනය. මේ සඳහා රටේ ප්‍රධාන පක්‍ෂ, ස්‌වාධීන කණ්‌ඩායම් සටන් පෙරමුණු කීපයක්‌ යටතේ මැතිවරණ සටන ආරම්භ කොට ඇති අතර එහි උණුසුම මේ වන විටත් අදාළ පළාත් සභා බල ප්‍රදේශවලට පමණක්‌ සීමා නොවී මුළු රටම කතා බහට ලක්‌ කරන මාතෘකාවක්‌ බවට පත්ව ඇත.

අදාළ පළාත් සභා දෙක සඳහා මහජන නියෝජිතයන් 155 දෙනකු තෝරා ගැනීම වෙනුවෙන් මෙවර අපේක්‍ෂකයන් 3794 දෙනකු තරග වැදීමට නියමිත අතර අනෙක්‌ මැතිවරණවලදී මෙන් මෙම මැතිවරණයේදීද අපේක්‍ෂකයන් බොහෝ දෙනකුගේ අරමුණ වී ඇත්තේ ජයග්‍රහණයෙන් තම තමන්ගේ මැතිවරණ සටන හමාර කොට මන්ත්‍රීවරයෙක්‌, පළාත් සභා ඇමැතිවරයෙක්‌, එසේත් නැත්නම් පළාත් සභා මැතිවරණය නමැති සංසාරයේ නිර්වානය ලෙස දකින මහ ඇමැතිවරයෙක්‌ වීම සහ තවත් නහුතයක්‌ සිහින සැබෑ කර ගැනීමය. ඒ අතර ජනතාව ජනතාව වෙනුවෙන් සේවය කිරීමද ප්‍රධාන තැනක්‌ ගන්නේය.

එහි පියවරක්‌ ලෙස පසුගිය 06 දා පැවැති නාම යෝජනා භාරදීමේ අවස්‌ථාවේදී නාම යෝජනා භාරදී අවසන් වීමටත් පෙර ගාල්ල දිස්‌ත්‍රික්‌ ලේකම් කාර්යාලය අසලදී මෙවර දකුණු පළාත් සභාව සඳහා තරග වදින එක්‌තරා අපේක්‍ෂකයෙක්‌ පොලිසියත් සමග ගැටුමකට මුල පුරන්නේය. තමන්ගේ මැතිවරණ සටනේ ප්‍රවිෂ්ටය ලෙස කලහකාරී හැසිරීම් රටාවක්‌ අදාළ අපේක්‍ෂකයා විසින් එදින ප්‍රදර්ශනය කරනු ලබන අතර එය මාධ්‍ය මගින් රට පුරා බොහෝ දෙනකුට දැකගත හැකි විය.

පොලිස්‌ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් කළහකාරී ලෙස හැසිරීමේ චෝදනාව ඇතුළු තවත් චෝදනා කීපයක්‌ යටතේ 1988 අංක 02 දරන පළාත් සභා ඡන්ද විමසීම් පනතේ 69 වන වගන්ති ප්‍රකාරව පසුගිය 09 දා කොළඹ පිහිටි එක්‌තරා පෞද්ගලික රෝහලකදී පොලිස්‌ අත්අඩංගුවට පත්වන ගැටුමට මුල් වූ මැතිවරණ අපේක්‍ෂකයා වන හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙකු, යුද හමුදා මේජර්වරයෙකු වූ නීතිඥ අජිත් ප්‍රසන්න අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අධිකරණ නියෝග මත මේ වන විට ඇප පිට නිදහස්‌ කොට අවසන් අතර නිරෝගී සුව ලැබීමෙන් අනතුරුව ඔහුට නැවතත් මැතිවරණ සටනට පිවිසීමේ වරම්ද හිමිව ඇත.

පොලිස්‌ ආරංචි මාර්ග සඳහන් කරන තොරතුරුවලට අනුව දකුණු පළාත් සභා මැතිවරණ අපේක්‍ෂක අලුත්සාල් ආරච්චිගේ අජිත් ප්‍රසන්න හේම (එ. ජ. නි. ස) නීතීඥවරයෙක්‌, ජනතා ආදරයට පත් හිටපු යුද හමුදා මේජර්වරයෙක්‌, හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙක්‌ ලෙස ඔහු ඇතුළු කණ්‌ඩායමක්‌ ඉකුත් 06 දා ගැටුමක්‌ ඇති කර ගනු ලබන්නේ ශ්‍රී ලංකා පොලිස්‌ දෙපාර්තමේන්තුව සමගය.

රටේ නීතිය සහ සාමය ආරක්‍ෂා කිරීම වෙනුවෙන් පිහිටුවා ඇති දැවැන්තම ආයතනය වන ශ්‍රී ලංකා පොලිසියත් සමග ගැටුමකට මුල පුරන දකුණු පළාත් සභා මැතිවරණ අපේක්‍ෂක අජිත් ප්‍රසන්න ඇතුළු කණ්‌ඩායම එය සිදු කරනු ලබන්නේ ගාල්ල නගර මධ්‍යයේ රැස්‌ වූ දෙනෝදහසක්‌ ඉදිරිපිටය.

පොලිස්‌ ආරංචි මාර්ගවලට අදාළව සිදුවීම පෙළ ගැසෙන්නේ මේ ආකාරයටය.

ඉකුත් 06 දා පැවැති පළාත් සභා මැතිවරණය වෙනුවෙන් නාම යෝජනා භාර දීමේ අවස්‌ථාවේදී ඇති විය හැකි යම්කිසි කළහකාරී සිදුවීම් වෙතොත් එය වැළැක්‌වීම පිණිසත් ප්‍රදේශයේ ආරක්‍ෂාව තහවුරු කිරීම පිණිසත් නාමයෝජනා භාර දෙන ස්‌ථානයත් ඒ අවටත් දැඩි පොලිස්‌ ආරක්‍ෂාවක්‌ යොදවා තිබී ඇත. උදාවන කුමන හෝ තත්ත්වයක්‌ මැඬපැවැත්වීමේ අරමුණින් මෙලෙස ආරක්‍ෂක ක්‍රියා මාර්ග අනුගමනය කිරීම එදින නාම යෝජනා බාරදෙන ස්‌ථාන සියල්ලකම පාහේ අනුගමනය කොට ඇත.

නීතිඥ අජිත් ප්‍රසන්න ඇතුළු පිරිසක්‌ පෙළ පාලියක්‌ ආකාරයට සටන් පාඨ කියමින් ගාල්ල දිස්‌ත්‍රික්‌ ලේකම් කාර්යාලය අසලින් ගමන් කිරීමට උත්සාහ ගෙන ඇත්තේ එවැනි වටපිටාවකය. ඒ වන විටද දිස්‌ත්‍රික්‌ ලේකම් කාර්යාලය තුළ නාම යෝජනා භාර දී අවසන්ව නොතිබූ අතර ඔවුන්ගේ ගමන් මග වැළැක්‌වීම පිණිස ඉදිරිපත් වන පොලිසිය අජිත් ප්‍රසන්නගෙන් ඉල්ලීමක්‌ ලෙස කර ඇත්තේ දිස්‌ත්‍රික්‌ ලේකම් කාර්යාලය අසලින් නොයන ලෙසත් ඒ සඳහා වෙනත් මාර්ගයක්‌ භාවිත කරන ලෙසත්ය. ඒ වන විටද එලෙස පැමිණි එ. ජා. ප. අපේක්‍ෂකයෙකු ඇතුළු කණ්‌ඩායමක්‌ පොලිසිය විසින් විසුරුවා හැර තිබුණි.

ගැටුම ආරම්භ වන්නේ ඉන් අනතුරුවයි. ඒ පිළිබඳව පොලිසිය සඳහන් කර සිටින්නේ මෙලෙසයි.

නීතිඥ අජිත් ප්‍රසන්න ඇතුළු කණ්‌ඩායම පොලිස්‌ අණට ඇහුම්කන් දුන්නේ නෑ. ඊට පස්‌සේ තමයි මාර්ග බාධක යොදවලා ඔවුන්ගේ ගමන වළක්‌වන්න උත්සාහ කළේ. එතනදී බහින්බස්‌ වීමක්‌ සිදු වුණා. ඒ වන විට එම පුද්ගලයා හිටියේ යුද හමුදා කැලෑ ඇඳුමට සමාන බොටම් එකක්‌ ඇඳල, බුට්‌ස්‌දාල. යූ. එන්. පී. එක ගියා නම් ඇයි අපිට යන්න බැරිද කියල ඔහු දිගින් දිගටම පොලිසියෙන් ප්‍රශ්න කළා. පස්‌සෙ බැරියර් පෙරලගෙන යැමට උත්සාහ කිරීමේදි අපේ නිලධාරියෙක්‌ව පවා ඔහු විසින් පසෙකට තල්ලු කළා. ඔහු තුළින් දක්‌නට ලැබුණේ ප්‍රචණ්‌ඩකාරී හැසිරීම් රටාවක්‌.

එලෙස පොලිස්‌ අණ පවා නොතකමින් පෙළපාලියක්‌ ලෙස ඔහු ගමන් කිරීමේ රහස තිබෙන්නට ඇත්තේ ජනතා ආකර්ෂණය ලබා ගැනීම විය හැක. මැතිවරණ ජයග්‍රහණයක්‌ සඳහා නැතුව බැරි සාධකයක්‌ වන ජනතා ආකර්ෂණය වෙනුවෙන් ඔහු විසින් සිදු කළ "රංගනය" අහිංසක විය හැක. එහෙත් රටක නීතියට පයින් ගැසීමට ඔහුට බලයක්‌ නැත. රටේ නීතිය විසින් පෙළපාලි සහ එවැනි තවත් කටයුතු සඳහා සුදුසු තැන් සහ වේලාවන් වෙන් කොට දී ඇත.

කිසිවෙකුට එහි සීමාවන් උල්ලංඝනය කළ නොහැකි සේම එසේ සිදු කරන්නන්ට දඬුවමද එම නීතියේම සඳහන්ව ඇත. 

පොලිස්‌ නිල ඇඳුම නොසලකා හරිමින් මාර්ග බාධක බිඳ දමමින් නීතිය අතට ගැනීමට යමෙකු උත්සාහ කරයි නම් එවැනි පිරිස්‌ විසුරුවා හැරීමේ හෝ නීතිය ක්‍රියාත්මක කිරීමේ බලය ඇත්තේ පොලිසිය සතුවය. නීතියේ ස්‌වභාවය විය යුත්තේ පක්‍ෂ, පාට, භේදයකින් තොරව සැමට එක සේ නීතිය ක්‍රියාත්මක කිරීමය. ඉකුත් 06 දා ගාල්ලේදී පොලිසිය විසින් උත්සාහ ගෙන ඇත්තේ එය සැබෑවක්‌ බවට පත් කිරීමටය.

හිටපු මේජර්වරයෙකු, නීතිඥවරයෙකු වන අජිත් ප්‍රසන්න පොලිසියත් සමග ගැටුමකට මුල පුරන්නේත් ඉන් අනතුරුව පොලිස්‌ අත්අඩංගුවට පත්ව අධිකරණ නියෝග මත ඇප පිට නිදහස ලබන්නේත් නීතිය පිළිබඳ නොදැනුවත් භාවය තුළ නිදහස ලබන්නේත් "නීතිය" පිළිබඳ නොදැනුවත් භාවය තුළ හිඳ නොව පැහැදිලිව එහි ඇති "ඇත්ත" පිළිබඳ දැනුවත් භාවය සමගින්ය.

හිටපු හමුදා නිලධාරියෙකු ලෙස දැඩි විනයත්, නීතිඥවරයෙකු ලෙස රටේ නීතිය පිළිබඳ දැනුවත් භාවයත්, හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙකු ලෙස එකතු කරගත් අත්දැකීම් සම්භාරයත් අපතේ යවා "දේශපාලන බලය" නැමැති නෛතික නොවන සංකල්පයක්‌ පෙරට දමමින් පසුගියදා ගාල්ල නගර මධ්‍යයේදී අජිත් ප්‍රසන්න විසින් රඟදක්‌වා ඇත්තේ නැවත නැවතත් බලයට පත්වීමේදී මහජන නියෝජිතයන් බොහෝ දෙනෙක්‌ තුළ හට ගන්නා " දේශපාලන උණ" රෝගයේ එක්‌ රෝග ලක්‍ෂණයක්‌ විය යුතුය.

ඔහු විසින් තමන්ද තමන්ගේ දේශපාලන පක්‍ෂය වන එ. ජ. නි. සංධානයටද මේ වන විටත් තරමක හානියක්‌ සිදුකොට අවසන්ය. ජන මනස තුළද අදාළ සිදුවීම නොමැකෙන ලෙස තැන්පත්ව අවසන්ය. එහි ප්‍රතිඵලයක්‌ ලෙස ඔහුගේ දේශපාලන ගමන් මග කොයි ආකාරයකට තීරණය වේදැයි මේ වන විට කිසිවෙකුට නිගමනය කළ නොහැකිය.

ඔහු දිනකට හෝ පොලිස්‌ අත්අඩංගුවට පත් වූයේ ජනතාව වෙනුවෙන් යෑයි කියන සානුකම්පිත ප්‍රකාශ සිදු කිරීමට මෙවර මැතිවරණය වේදිකාවක්‌ බවට පත් කර ගැනීමටද ඔහුට නොහැකි වනවා ඇත. ජනතා සේවය සඳහා නම්, රටේ විසඳිය යුතු බොහෝ ගැටලු ඇති අතර අජිත් ප්‍රසන්න සම්බන්ධව නීතිය ක්‍රියාත්මක වූයේ එවැනි දෑ සඳහා නොව පෞද්ගලික ආරවුලක්‌ සම්බන්ධවය.

ඉදිරි පළාත් සභා මැතිවරණයේදී අපේක්‍ෂකයෙකු ලෙස අජිත් ප්‍රසන්නට වේදිකාවට නැග " ජනතාව වෙනුවෙන් සිරගතව ලැබූ මේ අභිමානවත් කැලලට" සලකා තමන් වෙනුවෙන් ඡන්දය ලබා දෙන්නැයි කටක්‌ ඇර ජනතාවගෙන් ඉල්ලා සිටීමට නොහැකිය. මන්දයත් පසුගියදා ගාල්ලේදී ඇති කරගත් ගැටුම රට පුරා නැරඹූ මිනිසුන් අතර දකුණු ලක ගාල්ල දිස්‌ත්‍රික්‌කයේ ජනතාවගෙන් බොහෝ දෙනකුද වූ අතර දකුණු ලක මිනිසුන් ජනතා සේවයට මිස "සිල්ලර පාට්‌"වලට තම කතිරය පාවිච්චි කරන්නේද නැත.

* රුවන් ජයවර්ධන

No comments:

Post a Comment