Translate

Translate

Friday, February 28, 2014

ආගම දරුවන්ට තව දුරටත් ඉගැන්විය යුතු ද? – මහාචාර්ය සරත් විජේසූරිය - 



ටේ අනාගතය සම්බන්ධව දීර්ඝ කාලීනව සිදු කළ යුතු වෙනසක් වෙනුවෙන් සංවාදයකට සිවිල් සමාජය අවතීර්ණ විය යුතුය. රටේ අනාගතය වෙනුවෙන් සංවාදය පටන් ගත යුත්තේ ‘අධ්‍යාපනය’ සහ ‘නීතියේ ආධිපත්‍යය’ මුල් කර ගනිමිනි. මේ ලිපියේ අරමුණ අධ්‍යාපනයේ පරමාර්ථ ගැන අදහසක් පළ කිරීම වන්නේය.
අප යම් යම් වෘත්තිකයන්, ලොව ඕනෑම රටකට ගොස් වැඩ කිරීමට හැකි, යම් යම් ක්ෂේත‍්‍රවල ප‍්‍රවීණතාවක් ඇත්තවුන් තනන නමුත්, අද වන විට පාසල්වලින් මෙන්ම උසස් අධ්‍යාපන ආයතනවලින් බිහි වන්නේ ‘යහපත් මනුෂ්‍ය සමාජයක’ පැවැත්මට අවශ්‍ය ‘මානව ධර්මතාවලට’ සංවේදී පුද්ගලයන් නොවන බව පැහැදිලිය. සියලූ නොපනත් කටයුතු කරන උදවිය බිහි කර තිබෙන්නේ රටේ පවතින ‘අධ්‍යාපනය’ ඔස්සේ බව කිව යුතු නැත. වඩාත් පැහැදිලිව පවසතොත් ‘නිදහස් අධ්‍යාපනය’ ඔස්සේ බව පැහැදිලිය. මෙහි වරද නිදහස් අධ්‍යාපනයේ නොව, අධ්‍යාපනය ලෙස දීර්ඝ කාලයක් තිස්සේ දරුවන්ට උරුම කරන දේවල්වල බව අප වටහා ගත යුතුය. දරුවන්ට ලබා දෙන අධ්‍යාපනය කවරාකාර විය යුතු ද යන්න පරිණත අධ්‍යාපනඥයන් ගැඹුරින් විමර්ශනය කළ යුතු කාරණයකි. මා මෙහිදී මතු කර දක්වන්නේ, පොදුවේ සියලූ දරුවන්ට ඉගැන්විය යුතු විෂයන් තුනක් ගැනයි. ඉන් පළමුවැන්න ලෙස මා දක්වන්නේ ‘සංගීතය’යි. දෙවැන්න ‘කී‍්‍රඩාව‘යි. තුන්වැන්න ‘නීතිය’ යි. මේ විෂයන් තුන ඉගැන්වීම සඳහා අද පවතින සම්මත රාමුවෙන් සහමුලින්ම වියුක්ත සංදර්භයක් තුළ අමුතුවෙන්ම සකස් කළ යුතුය. මා අවධාරණය කරන්නේ කවර ප‍්‍රධාන විෂය ධාරාවක් හදාරන දරුවන් වුව කුඩා කල සිට ක‍්‍රමානුකූලව ශික්ෂණය කළ යුතු ක්ෂේත‍්‍ර තුනක් සම්බන්ධවය.
සංගීතය ඉගැන්වීම
තමන්ට අනර්ථයක් සිදු කර නොගන්නා, අන්‍යයන්ට අනර්ථයක් නොකරන, ප‍්‍රබෝධමත් මනසකින් හා මනා සංහිඳියාවකින් දරුවෙකු වැඩිහිටි විය කරා පා එසවිය යුතුය. දරුවන්ට ආගමික අධ්‍යාපනයක් ලබා දීම නිර්දේශ කෙරෙන්නේ මේ අරමුණ ඉටු කර ගැනීම උදෙසාය. ලංකාවේ දරුවන්ට ආගම ඉගැන්වීම ඔස්සේ අපේක්ෂා කළ වටිනා දෙයක් තිබිණ. වෙසෙසින් බුද්ධාගම ඉගැන්වීම ඔස්සේ අපේක්ෂා කළේ යහ ගුණවලින් යුත් සදාචාරසම්පන්න දිවි පෙවතක් උරුම කිරීමය. එ් අරමුණ ඉටු කිරීම සඳහා බුදු දහම පොහොසත්ය. එනමුත් දරුවන්ට අද උගන්වන බුදු දහම යනු කුමක් ද? කුඩා අවධියේ දී උගන්වන කතන්දරත්, ක‍්‍රමයෙන් වැඩෙන විට දරුවන්ගේ හිත්වල රෝපණය කරන දෘෂ්ටිවාදත් ඔස්සේ බුදු දහමෙන් දරුවෙකුගේ ජීවිතයට ලබා දෙන ආලෝකය සහ දැක්ම කුමක් ද? අප දැන් කාලයක් තිස්සේ මෙරට දරුවන්ට ආගම උගන්වා තිබේ. ඉන් දරුවන්ගේ ජීවිතවලට, සමාජයට හෝ රටට සිදු වුණ යහපත කුමක් ද? බුදු දහම අද වන විට දේශපාලනයේ නිමග්න තක්කඩින්ට බල අරගලය උදෙසා පේවීමට සාරවත් ඉල්ලමක් බවට පරිවර්තනය වී තිබේ. බුදු දහමෙන් නිසි ශික්ෂණයක් කුඩා කල සිට බෞද්ධ භික්ෂුවට ලබා දුන්නේ නම් වයසින් වැඩෙන භික්ෂුව ‘ආගමික වෛරය’ රටේ පතුරුවන තත්ත්වයකට පිරිහෙන්නේ නැත. ‘බලය’ වෙනුවෙන් ආගම දඩමීමා කර ගන්නේ නැත. ආගමට මුවා වී සාහසික කටයුතු වෙනුවෙන් පෙරමුණ ගන්නේ නැත. එබැවින් ආගම ඉගැන්වීම අධ්‍යාපන කි‍්‍රයාවලිය තුළ තව දුරටත් තබන්නේ ද යන්න ගැන ගැඹුරින් සිතා බැලිය යුතුය.
මා අවංකව කල්පනා කරන්නේ ආගම වෙනුවට සංගීතය ඉගැන්වීමෙන් දරුවෙකුගේ ජීවිතයට ලබා දිය හැකි ආලෝකය වඩාත් දීප්තිමත් බවයි. මෙහිදී සංගීතය ලෙසින් මා අදහස් කරන්නේ ‘සින්දු කීම’ නොවන බව අවධාරණයෙන් පවසමි. සංගීත ශාස්ත‍්‍රය හදාරමින් සංගීත භාණ්ඩ වාදනය කිරීමට ලබන පුහුණුව සමඟ දරුවෙකු උරුම කර ගන්නා විනයක් ඇත. එ් විනය වෙනත් විෂයකින් ලැබෙන්නේ දැයි නොදනිමි. කුඩා කල සිට සංගීත භාණ්ඩයක් වාදනය මැනවින් ප‍්‍රගුණ කර, අධ්‍යාපනයෙන් ද සාර්ථක වූ පුද්ගලයන් රැුසක් ගැන මම දනිමි. ඇතමුන් වෛiවරුන්ය. ඇතමුන් ඉංජිනේරුවන්ය. තව බොහෝ දෙනෙක් වෙනත් ක්ෂේත‍්‍රවල ද සිටිති. සංගීතය මිනිස් සිත දූෂණය නොකරන බව, සංගීතයෙන් මිනිස් සිත් සතන් තුළ වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, ඇති නොකරන බව, පටු දෘෂ්ටි වාදවල පුද්ගලයන් සිර නොකරන බව මගේ අදහසයි. සංගීතය විශ්ව භාෂාවක් ලෙස ප‍්‍රගුණ කරන විට මානව ජීවිත සුපුෂ්පිත වන්නේය.
කී‍්‍රඩාව ඉගැන්වීම
අධ්‍යාපන කි‍්‍රයාවලිය තුළ කී‍්‍රඩාවට විශේෂ අවධානයක් යොමු කර තිබෙන්නේ මූලික කාරණා තුනක් මුල් කර ගෙනය. පළමු වැන්න ශාරීරික වශයෙන් දරුවෙකුගේ නිරෝගිභාවයයි. දෙවනුව දරුවෙකු කී‍්‍රඩාවක නිමග්නවීමෙන් ජීවිතයට උරුම කර ගන්නා විනයයි. තෙවනුව කී‍්‍රඩාවෙන් ජීවිතයට ලබන සතුට ප‍්‍රීතිය සහ ජීවන ආස්වාදයයි. අද අපේ දරුවන් බහුතරයක් මේ අංශ තුනෙන්ම දුර්වල බව පෙනේ. මෙහිදී කී‍්‍රඩාව ලෙසින් මා අදහස් කරන්නේ අද පවතින අප‍්‍රසන්න ‘තරඟ වෙනුවෙන් කණ්ඩායමක කෙනෙකු වීම’ නම් නොවන්නේය.
අද පාසල්වල කී‍්‍රඩා කරන්නේ සුළු පිරිසකි. කී‍්‍රඩා කරන දරුවන්ගෙන් බහුතරය ඉගෙන ගැනීමේ නිරත වන්නේම නැති තරම්ය. අනෙක කී‍්‍රඩා කිරීමට කැමති ඇතැම් දරුවන්ට සිදුව තිබෙන්නේ ප‍්‍රථමයෙන් කී‍්‍රඩා ගුරුවරුන් දිනා ගැනීම හා සතුටු කිරීමය. එතනම කී‍්‍රඩාවට අදාළ විනය පළුදු වන්නේය. කී‍්‍රඩා තරඟයක් අවසන ගහ මරා ගන්නා, ප‍්‍රතිවාදීන් දිනුවොත් මරණ තර්ජනය කරන කී‍්‍රඩකයන් කී‍්‍රඩා කෞශල්‍යයක් විදහා පෑව ද, ඔවුහු කී‍්‍රඩාවෙන් කිසිම විනයක් උරුම කර නොගත් සාහසිකයන් විනා සැබෑ කී‍්‍රඩකයන් නම් නොවන්නෝය. එවන් කී‍්‍රඩකයන් බිහි වන්නේ කෙසේ ද? ඊට හේතුව අන් කිසිවක් නොව, කී‍්‍රඩාව අධ්‍යාපනයේ පරමාර්ථවලින් වියුක්ත වීමය. විනයකින් තොරව බලය පෙරටු කර ගනිමින් අවිනීතව ධනය කේන්ද්‍ර කරගෙන කී‍්‍රඩාවට සදාචාර විරෝධීව කඩා පාත්වීමට අද හැකි වී තිබේ.
අධ්‍යාපන කි‍්‍රයාවලිය තුළ කී‍්‍රඩාව සියලූ දරුවන්ට උරුම විය යුතුය. ‘හරි පුදුම ඉස්කෝලේ’ කොබයාෂි ගුරුතුමා තම පාසලේ සිටින ශාරීරික දුබලතාවන්ගෙන් පෙළෙන ඇතැම් දරුවෙකුට පමණක් දිනිය හැකි කී‍්‍රඩා පවා නිර්මාණය කළේ හැම දරුවෙකුටම කී‍්‍රඩාවෙන් ලැබෙන වටිනා ‘විනයක් හා ජීවන කුසලතාවක්’ ඇති බැවිනි. එ් ජීවන කුසලතාවෙන් දරුවෙකුගේ පෞරුෂය උදෙසා උරුම වන අගනාම දේ වන්නේ ‘දරා ගැනීමේ ශක්තිය’යි. අද ජීවිතයේ සාමාන්‍ය ගැටලූවක්වත් බොහෝ දරුවන්ට දරා ගැනීමට නොහැකි තත්වයක් දක්නට තිබේ. ඊට හේතුව කී‍්‍රඩාව අධ්‍යාපනය හා නිසියාකාරව බද්ධ නොකිරීමයි. මෙහිදී අවධානය යොමු විය යුතු කාරණාව වන්නේ කී‍්‍රඩාවේ පමණක් නිමග්න බොහෝ දරුවන්ගේ ‘අසංයමය’ හා ‘අවිනීත’ හැසිරීම් රටාවේ ඛේදයයි. හුදු කී‍්‍ර‍්‍රඩාව උදෙසා පමණක් දරුවන් පාසල් යන එකේ අර්ථය කුමක් ද? එ් සඳහා ‘කී‍්‍රඩා පාසල්’ ටිකක් බිහි කිරීම වඩාත් හොඳ ප‍්‍රතිඵල උදෙසා සෑහේ. මෙහිදී අධ්‍යාපනය හා බද්ධ වුණ කී‍්‍රඩාව යනුවෙන් අදහස් කරන්නේ අද පාසල්වල පවතින මට්ටමේ විකෘතියක් නොවේ. නීතිය ඉගැන්වීම
නීතිය යනු මානව සමාජයේ අභිවෘද්ධිය වෙනුවෙන් සියලූ පුරවැසියන් ආරක්ෂා කළ යුතු, ගරු කළ යුතු ‘අගනාම විනය’යි. රටක සැබෑ සදාචාරය පවතින්නේ පාලකයන් මෙන්ම පුරවැසියන් නීති ගරුක නම්, විනය ගරුක නම් පමණි. 
අද රාජ්‍ය පාලනයේ ප‍්‍රධාන දෙපිරිසකි. පළමු පිරිස දේශපාලනඥයන් ය. දෙවන පිරිස නිලධාරීන් ය. රටේ පවතින අධ්‍යාපනයෙන් බිහි කළ පුද්ගලයන් මේ දෙපිරිස, රාජ්‍ය පාලනයේ නියමුවන්, රටේ පිළිගත් හා සම්මත නීතිය නිතිපතා කෙළෙසන්නේ නම් ඔවුන් ලබා ඇති අධ්‍යාපනයේ බරපතළ අඩුවක් තිබෙන බව පිළිගැනීමට සිදු වේ. රටක දරුවන්ට අධ්‍යාපනයක් ලබා දීමේ උසස් පරමාර්ථ අතර එකක් වන්නේ, ‘නීති ගරුකව හා විනය ගරුකව’ ජීවත්වීම උදෙසා අවැසි ශික්ෂණයයි. ඊට අදාළ අවබෝධය දරුවන්ට අධ්‍යාපනයෙන් නිසියාකාරව උරුම කළ යුතුය. සියලූම දරුවන්ට කුඩා කල සිට ‘නීතිය’ ඉගැන්වීම යන්න මා මෙහි දක්වන්නේ එවැනි පුළුල් අර්ථයකිනි. ජීවිතයට වැදගත් මානව ධර්මතා සෙමින් අවබෝධ කර ගන්නා දරුවා වයසින් වැඩෙන්නේ, හොඳ නරක ඳීයුක්තිය අයුක්තිය සද් ධර්මය අසද් ධර්මය පිළිබඳ අවබෝධයකිනි. අප දරුවන්ට ඉගැන්විය යුත්තේ ඊට අදාළ නීතියයි.
දරුවන්ට ඉගැන්විය යුතු නීතිය යනු කුමක් ද? එ් අන් කිසිවක් නොව රටේ අනාගත සංහිඳියාව වෙනුවෙන් උරුම කළ යුතු ශික්ෂණයකි. එ් ශික්ෂණය මානව ධර්මතා පිළිබඳ සියුම් අවබෝධයක් ලබා දෙන්නකි. එහි අගය අතීතයේ දී යම් ආකාරයකට මෙරට අධ්‍යාපනඥයන් හඳුනා ගෙන තිබුණ බව ද මෙහිදී සිහිපත් කිරීමට කැමැත්තෙමි. එ් ගැන කුඩා කවි දෙකක් පාදක කරගෙන සරල පැහැදිලි කිරීමක් කරන්නට කැමැත්තෙමි.
”මේ ගසේ බොහෝ ඳීපැණි ෙදාඩම් තිබේ
පැහිලා ඉඳිලා බිමට නැමිලා බර වෙලා අතු
නංගිටයි මටයි ගෙඩි දෙකක් ඇති
වැඩිය කඩන නරක ළමයි හෙම නොවෙයි අපි”
මේ කුඩා කවිය ඔස්සේ දරුවෙකුගේ මනසෙහි රෝපණය කරන්නේ මානව සමාජයක අනාගතයට අත්‍යන්තයෙන්ම වැදගත් වටිනා ධර්මතාවකි. ‘අපි අන්‍යයා ගැනත් කල්පනා කළ යුතුය’ යන්න සමාජයක යහ පැවැත්මට අදාළ සදාචාරාත්මක අවබෝධයකි. එ් අවබෝධය ලබන්නා ‘අපි විතරක් හිටියාම ඇති’ යන මා න සි ක ත් ව යෙ න් මිදෙන්නේය.
අනෙක් කවිය මෙයයි.
”හොඳ දේ සිතමි
හිතු දේ කියමි
කියු දේ කරමි
කරමින් හැදෙමි”
මේ කුඩා කවෙන් හෘදය සාක්ෂිය පිළිබඳ ධර්මතාවකි දරුවෙකුගේ මනසේ රෝපණය කරන්නේ. මා කල්පනා කරන්නේ ‘හොඳ දේ’ යනු සත්‍යය යි. දරුවෙකු අධ්‍යාපනයෙන් උගත යුත්තේ සත්‍යයයි. දරුවන් සත්‍ය ගරුකව වැඞීම යනු රටක අනාගතයේ පැහැබර බවයි. එ් සඳහා දරුවන් තමන්ට අවංක විය යුතුය. හිතු දේ කීම යනු තමන් තමන්ට අවංක වීමයි. හෘදය සාක්ෂියට එකඟවීමට අදාළ මූලික පාඩම එයයි. කියු දේ කරමි යනු නීති ගරුක වීම නැතහොත් නීතියට දක්වන අනුකූලතාවයි.
විද්‍යාත්මක පදනමක නොපිහිටා සිදු කළ පැලැස්තර අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ ඔස්සේ සිදු වුණේ ප‍්‍රාථමික අවධියේ දරුවන්ගේ සිත් ‘අවදි’ කළ මේ කවි කතන්දර සීරුවට බැහැර කිරීමයි. එ්වා ඔස්සේ ගුරුවරයාට තිබුණ ‘ඉගැන්වීමේ අවකාශය’ නැති කර දැමීමයි. අදත් ප‍්‍රාථමික දරුවන්ගේ පොත්වල කවි කතන්දර ඇතත් එ් ඔස්සේ ගුරුවරයාට ඉගැන්වීමට තිබෙන අවකාශය සහමුලින්ම අහෝසි කර දමා ඇත.
අප මානව සමාජයක යහ පැවැත්මට අදාළ දැනුම දරුවන්ට ලබා දිය යුත්තේ ඉතා සීරුවට කුඩා කල සිට නිර්මාණශීලී අන්දමිනි. කුඩා දරුවන්ගේ සිත් සතන් තුළ යහ ගුණ වඩමින්, ඔවුන් ප‍්‍රබෝධමත් කරමින් නිර්මාණශීලී චින්තනයකින් පොහො සත් කිරීම උදෙසා ‘නීතිය’ අතිශයින් වැදගත් විෂයකි. අධ්‍යාපනයෙන් පුබුදු කරන දරුවන් රටේ යහ පාලනය වෙනුවෙන් කැප විය යුතුය. නීති ගරුකව විනය ගරුකව ජීවත් විය යුතුය. විපරීත දේශපාලනඥයන් අබිමුව කොඳු කඩා නොගන්නා පුද්ගලයන් විය යුතුය.
අපි කොන්දේසි රහිතව, මෙරට දරුවන්ගේ සිත් සතන් තුළ වෛරය හිංසනය සාධාරණීකරණය කරන, ඊට අදාළ දෘෂ්ටිවාද රෝපණය කරණ විෂයන් වෙනුවට, සියලූ ජාතීන්ට, සියලූ ආගම් අදහන උදවියට නිසි ගෞරවනීය සමාජයක් ගොඩ නැඟීමට අධ්‍යාපනය සම්බන්ධයෙන් බරපතළ වෙනසකට මුල පිරිය යුතු වන්නේය. මෙය ඉතා අසීරු කටයුත්තක් වුවත් මේ රට වෙනස් කිරීම සඳහා අධ්‍යාපනයේ බරපතළ වෙනසක් අවශ්‍ය වන්නේය.
-

No comments:

Post a Comment