Translate

Translate

Wednesday, February 12, 2014

ශ්‍රී පාද වන්දනාවේ ගිය මාර්ගය 'වසා දමලා'

ගැටලුවට ඉක්මනින් විසඳුමක් නොලදහොත් ඉදිරි දින කිහිපයේදී 'දැවැන්ත උද්ඝෝෂණයක්'
ශ්‍රී පාද වන්දනාව පිණිස කාලාන්තරයක් මුළුල්ලේ බැතිමතුන් නොටන්බ්‍රිජ් හරහා ගමන් කළ මාර්ගය වසා දමා, ඊට වඩා කිලෝමීටර 18 ක් ගෙවා වන්දනාවේ යාමට බැතිමතුන්ට බල කරන බවට ප්‍රදේශවාසීහු බලධාරීන්ට චෝදනා කරති.
දැනට සතියකට පමණ පෙර සිට එම මාර්ගයේ ගමන් කරන වාහන පොලිසිය විසින් හරවා යවනු ලැබීම හේතුවෙන් සිය ව්‍යාපාර කටයුතු අඩ පණ වී ඇති බවයි, ඔවුන් පවසන්නේ.

'හදිසි අනතුරු නිසා'
බලධාරීන්ගේ එම තීන්දුවට විරෝධය පළ කරමින්, විශේෂයෙන්ම පශු සම්පත් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන්ට එරෙහිව ගිනිගත්හේන, නෝටන්බ්‍රිජ් සහ වටවල ප්‍රදේශවාසීහු දෙසිය පණහකට අධික පිරිසක් හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ දියගල මංසන්ධියේ කළු කොඩි අතැතිව උද්ඝෝෂණයක නියැලී සිටියහ.
පසුගිය සතියක ශ්‍රී පාද වන්දනාවේ පැමිණි වාහන මගින් තොණ්ඩමන් අමාත්‍යවරයා ගමන් කළ වාහනවලට අවහිර වීම හේතුවෙන් මාර්ගය වසා දමන මෙන් ඇමතිවරයා විසින් පොලිසියට නියෝග කොට ඇති බව උද්ඝෝෂකයන්ගේ චෝදනාවයි.
මාර්ගයේ කාපට් ඇතිරිමට කටයුතු කරන බව අමාත්‍යවරයා පවසයි
සිය ගැටලුවට ඉක්මනින් විසඳුමක් නොලදහොත් ඉදිරි දින කිහිපයේදී දැවැන්ත උද්ඝෝෂණයක් සිදු කරන බව ප්‍රදේශවාසීහු අවධාරණය කරති.
තමන් එම ස්ථානයේ සිටින විටත් ශ්‍රි පාද වන්දනාවේ පැමිණි වාහන හැටන් මාර්ගය ඔස්සේ ධාවනය කරන ලෙස පොලිසිය උපදෙස් දෙන ආකාරය දක්නට ලැබුන බව මාධ්‍යවේදී රංජිත් රාජපක්ෂ බීබීසී සංදේශයට කියා සිටියේය.
නොටන්බ්‍රිජ් මාර්ගය ඉතා පටු මාර්ගයක් බැවින් ශ්‍රී පාද වන්දනාවේ පැමිනෙණ බැතිමතුන් හදිසි අනතුරුවලට ලක් වීමේ අවදානමක් පවතින බැවින් වාහන නොටන්බි්‍රිජ් මාර්ගය ඔස්සේ එක් දිසාවකට පමණක් ධාවනය කරන ලෙස පොලිසියට උපදෙස් දුන් බවයි, මේ පිළිබඳව කළ විමසීමකදී අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් කියා සිටියේ.
ජනාධිපති මහින්ද රාජපක්ෂ සමග සාකච්ඡා කොට නොටන්බ්‍රිජ් මාර්ගයේ කාපට් ඇතිරීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

No comments:

Post a Comment