Translate

Translate

Wednesday, April 9, 2014

ක‍්‍රිකට් ආයතනයත් වැරදියි.. මහේල-සංගාත් වැරදියි.. – අර්ජුනගෙන් අමුතු තියරියක්



මෙරට ක්‍රිකට් පරිපාලනයේ සිද්ධි පද්ධතිය පිළිබඳව සත්‍යය හෙළිකරන්නට ගියහොත් බොහෝ දෙනකුගේ රෙදි ගැලවෙනු ඇතැයි හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා පවසයි.
රණතුංග මහතා එසේ පැවැසුවේ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ජේ‍යෂ්ඨතම ක්‍රිකට් ක්‍රීඩකයන් දෙදෙනා වන මහේල ජයවර්ධන සහ කුමාර සංගක්කාර විස්සයි – 20 ලෝක ක්‍රිකට් ශූරතාව රැගෙන ශ්‍රී ලංකාවට පැමිණීමෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයට එල්ලකරන ලද චෝදනා සම්බන්ධයෙන් කළ විමසුමකට පිළිතුරු දෙමිනි.
ක්‍රිකට් පරිපාලනයත්, ක්‍රීඩකයනුත් ගැන අදහස් දැක්වූ රණතුංග මහතා කියා සිටියේ ක්‍රීඩකයන් හා පරිපාලකයන් තම තමන්ගේ මායිම් කුමක්ද යන්න හොඳින් දැනගත යුතු බවය. අවසානයේදී ප්‍රධාන සාධකය වන්නේ ක්‍රීඩකයනුත් පරිපාලකයනුත් නොව රටෙහි ක්‍රීඩාව බව පැවැසූයේ 1996 ක්‍රිකට් ලෝක කුසලානය මෙරටට ගෙන ඒමට උරදුන් නායකයාය. එක් ඇඟිල්ලක් කෙනකු වෙත දිගු කරන විට තමන්ගේ පැත්තට අනෙක් ඇඟිලි හතරම නිතැතින්ම යොමුවන බව කිසිවකුත් අමතක නොකළ යුතු බවද පැවැසීය.
ජයග්‍රාහී ශ්‍රී ලංකා කණ්ඩායම පැමිණීමෙන් පසුව කටුනායක ගුවන් තොටුපොළ පර්යන්තයේදී පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ මහේල හා සංගක්කාර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම්වරයාට හා විධායක නිලධාරියාට ඍජුවම චෝදනා එල්ල කරමින් අදහස් දැක්වූ අතර මේ සම්බන්ධව මෙරට ක්‍රිකට් ප්‍රජාවම මහත් කම්පනයකට පත්වූ බවක් පෙනේ.
මේ නිසාම හිටපු ක්‍රිකට් නායකයෙක් මෙන්ම ක්‍රිකට් සභාපතිවරයකු හා වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකුද වන අර්ජුන රණතුංග මහතාගෙන් අප තවත් කරුණු විමසූ විට මෙසේද පැවැසීය.
‘මම හැමදාම කියන්නේ පරිපාලනයේ වැරැදි තිබෙනවා නම් ඒවා පෙන්වන්න ක්‍රීඩකයෝ ජයග්‍රහණයක් කරන තෙක්ම බලා ඉන්න ඕන නැහැ. පරිපාලනයේ වැරැදි ඇත්නම් ඒවට අපිට යන්න තැන් තිබෙනවා. හැබැයි ජයග්‍රහණය කරල ඇවිල්ල ඒ හරහා වෙලා තිබෙන වැරැදි දේවල් ගැන කතා කිරීම මම පිළිගන්නෙ නැහැ. පසුගිය කාලය පුරාම ක්‍රිකට් පරිපාලනයේ තිබුණ වැරැදි ගැන මේ ක්‍රීඩකයෝ කතා කළේ නැහැ. ඒ නිසා ලබපු ජයග්‍රහණයට මුවාවෙලා වැරැදි ගැන කතා කිරීම අසාධාරණයක් ලෙස මා දකිනවා. මෑත අතීතයේ සිටම මෙරට ක්‍රිකට් පරිපාලනයේ ඇති අකටයුතුකම් පෙන්වා දුන් බව කියන අර්ජුන මේ සිද්ධි පද්ධතිය පිළිබඳවද සත්‍ය හෙළි කරන්නට ගියහොත් බොහෝදෙනකුගේ රෙදි ගැලවෙනු ඇතැයි පැවැසුවේය. ක්‍රිකට් පරිපාලකයන්ගේ මෙන්ම ක්‍රීඩකයන්ගේ වැරැදි ද විවේචනය කිරීම තමාගේ ප්‍රතිපත්තියක් බවද කියා සිටියේය.
පසුගිය කාලයේ සුපිරි ක්‍රීඩකයන් කණ්ඩායමට පැමිණ ගියා සේම වත්මන් ක්‍රීඩකයන්ටද කෙදිනක හෝ කණ්ඩායම හැර යෑමට සිදුවන බව කී හිටපු ක්‍රිකට් සභාපතිවරයා එසේ කවුරුන් කණ්ඩායම හැර ගියත් ලංකාවේ ක්‍රිකට් නවතින්නේ නැති බවද පවසමින් තවත් අදහස් බොහොමයක් හෙළි කළේ මෙසේය.
ක්‍රීඩකයෝ කියන විදියට ක්‍රිකට් පරිපාලනය කරන්නෙ දෙන්නයි වගේ. සිදුවන මෙවැනි දේවල් විසි ගණනක විධායක සභාවත් සභාපතිවරයාත් දන්නෙ නැත්නම් ඔවුන් එම තනතුරුවලින් ඉල්ලා අස්විය යුතුයි. අනෙක තනි පුද්ගලයකුට දෙන්නකුට ඕනෑ විදියට ක්‍රිකට් පරිපාලන තීරණ ගන්නවා නම් විධායක කමිටුවත් එතැන ඉන්නෙ තමන්ට වාසි ලබාගන්නද කියන ප්‍රශ්නයත් මතුවෙනවා.
අපේ කණ්ඩායම අවසාන මහා තරගයට ඇවිල්ල හොඳ මානසිකත්වයක් හදාගෙන ඉන්නකොට ඔය කියන ක්‍රිකට් විධායක කමිටුවම අවසාන තරගය ජයග්‍රහණය කළොත් ඩොලර් මිලියන 1.5ක් දෙනව කියල කිව්වා. ඒ හරහා ක්‍රිකට් ආයතනය විසින් ක්‍රීඩකයන්ව පහත් තත්ත්වයට පත්කළා. සල්ලි පෙන්නුවම තමයි ක්‍රීඩකයන් හොඳට සෙල්ලම් කරන්නෙ කියන අදහස ඒ මඟින් පෙන්වන්න හැදුවා. ක්‍රීඩකයන්ට ඒ වගේ අවමානයක් කිරීම මම පිළිකුලෙන් හෙළා දකිනවා’
ක්‍රිකට් ක්‍රීඩාවට ඇති දේශපාලන මැදිහත්වීම ගැනද අදහස් දක්වමින් රණතුංග මහතා මෙසේද කීය.
‘ක්‍රිකට් ක්‍රීඩාව බංකොලොත් කළේ දේශපාලන ආශීර්වාදයෙන් ආපු ක්‍රිකට් පරිපාලනයයි කියල මම හැමදාමත් කියනවා. 2009 සිට මේ විනාශය කරනවා. සමහරු කියනවා මේක දින්නෙත් වාසනාව නිසා කියලයි. 96දී නම් අපි දින්නේ ක්‍රීඩකයන්ගේ දක්‍ෂතා සමඟම වාසනාවත් අපිට තිබුණ නිසයි. මෙරට ක්‍රිකට් පරිපාලනය ගැන වසර ගණනාවක් තිස්සෙ මම කතා කළත් ඒක වගකිවයුත්තන්ට පේන්නෙ නැහැ. සාකච්ඡාවලින් කතා කරල විසදාගන්න පුළුවන් දේට හරි විදියට මුහුණදෙන්න අද පරිපාලනයත් දැනගන්න ඕන.
මම දකින්නෙ ක්‍රීඩකයෝ ක්‍රීඩාව කරන දේ බලාගත්තොත්, පරිපාලකයෝ පරිපාලනය පැත්ත බලාගත්තොත් මේ ප්‍රශ්න හුඟක් දුරට අඩු වෙනවා. අද පරිපාලකයෝ ක්‍රිකට් ක්‍රීඩාව කරන්න හදනවා. ක්‍රීඩකයෝ පරිපාලනය කරන්න හදනවා. මේක පසුගිය කාලය පුරාම සිදුවුණා. හේතුව බලයට පත්වන අයත් ඒගොල්ලන්ගෙ පැවැත්මට හැමදාම ක්‍රීඩකයෝ හරහා ජනප්‍රිය වෙන්න හදනවා. ඒ නිසා තමයි ක්‍රීඩාව විනාශ වුණේ. හැබැයි අපි ක්‍රීඩා කරන කාලෙ පරිපාලනයට අතගහන්න ගියේ නැහැ. අපිට ප්‍රශ්නයක් තිබුණ නම් අපි ඒව සාකච්ඡා මාර්ගයෙන් විසදගත්තා.
සමහර වෙලාවට ක්‍රීඩකයන් කරන ඉල්ලීම් සාධාරණද කියන එක ක්‍රීඩකයන්ගේ පැත්තෙන් අවධානය යොමු කළ යුතුයි. ඕන ප්‍රශ්නයක පැති දෙකක් තියෙනවා. පසුගිය කාලෙම සිදුවූ දේවල් දැක්කම සාධාරණ ඉල්ලීම් තිබුණා වගේම අසාධාරණ ඉල්ලීම්ද තිබුණා. ක්‍රීඩකයන්ට අනවශ්‍ය දේවල් ලබාදීල පාලකයෝ ජනප්‍රිය වෙන්න බැලුවා. ඊට පස්සේ පාලකයෝ හිර වෙනකොට ක්‍රීඩකයන්ට දීපු දේවල් කප්පාදු කළා.
මේවායින් පේන්නෙ ක්‍රිකට් පරිපාලනය කරන්න ඕන ක්‍රිකට් ක්‍රීඩාවට ආදරේ අයයි. අනෙක් අතට ක්‍රිකට් දේශපාලනීකරණය වීම ගැන සමහර ක්‍රීඩකයනුත් වගකිව යුතුයි. අපේ අනාගතයට මොනවද වෙන්නෙ කියන එක අද ප්‍රශ්නයක්. 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම ඇෆ්ගනිස්තානයටත් පැරදුණා. ඒත් අපිට මොන ප්‍රශ්න තිබුණත් ක්‍රීඩකයන්ගේ දක්‍ෂතාත් එක්ක රටේ පිනකට මෙහෙම ජයග්‍රහණ ලැබෙනවා. මේක වැඩිකල් යන ක්‍රමයක් නොවිය හැකියි. මේ තත්ත්වය ක්‍රීඩා ඇමැතිවරයා ඇතුළු බලධාරීන් තේරුම්ගත යුතුයි’
- මව්බිම

No comments:

Post a Comment