Translate

Translate

Wednesday, April 23, 2014

මොරටුව බැංකුව කොල්ලකද්දී කිරුලපනේ කොල්ලය වරදී

කිරුළපන ආරක්‌ෂක නිලධාරීන්ගේ
දක්‌ෂකමෙන් වැඩේ වැරදී පැනලා යති


හේමන්ත රන්දුණු

කිරුළපන නගරයේ පෞද්ගලික බැංකුවක්‌ කොල්ලකෑමට ඊයේ (23 වැනිදා) දහවල් කඩාවැදුණු සන්නද්ධ කොල්ලකරුවන් දෙදෙනකු බැංකු ආරක්‍ෂක නිලධාරීන් එල්ල කළ වෙඩි ප්‍රහාර හමුවේ පලා ගොස්‌ ඇත. ඊයේ දහවල් 1.30 ට පමණ සිදු වූ මෙම වෙඩි තැබීම නිසා බැංකුවට පැමිණ සිටි ගනුදෙනුකරුවන් මෙන්ම නගරවාසීහු ද දැඩි භීතියට පත්ව සිටියහ.

කොල්ලකෑම වැරදී ගිය පසු කලබලයට පත් වූ කොල්ලකරුවන් දෙදෙනා තමන් පැමිණි යතුරුපැදිය ද අතහැර දමා වෙනත් යතුරු පැදියක්‌ පැහැරගෙන පලා ගොස්‌ තිබේ.

මුහුණු ආවරණය කර ගත් හිස්‌වැසුම් පැළඳ බැංකු කාර්යාල සහ මූල්‍ය ආයතන තුළට කිසිවකුටත් ඇතුළු වීමට ඉඩ නොදෙන ලෙස සහකාර පොලිස්‌ අධිකාරි නිශාන්ත සොයිසා මහතා කිරුළපන ප්‍රදේශයේ මූල්‍ය ආයතන ප්‍රධානීන් කලින් දැනුවත් කර තිබිණි.

ඊයේ දහවල් යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙක්‌ මුහුණු ආවරණය කරගත් හිස්‌වැසුම් පැළඳ බැංකුවට ඇතුළුවීමට උත්සාහ කරද්දී කලින් ලැබී තිබූ උපදෙස්‌ පරිදි ආරක්‍ෂක නිලධාරින් දෙදෙනා ඔවුන් වළකා ඇත.

ඒ අවස්‌ථාවේ කොල්ලකරුවන් දෙදෙනා බැංකු ආරක්‍ෂක නිලධාරින් දෙදෙනා තල්ලු කර දමා බැංකුවට ඇතුළුවීමට උත්සාහ කර තිබේ.

එක්‌ කොල්ලකරුවකු සතුව පිස්‌තෝලයක්‌ තිබෙනු දුටු ආරක්‍ෂක නිලධාරියකු ඔහු සමඟ පොරබදා ඇත.

එහිදී අනෙක්‌ බැංකු ආරක්‍ෂක නිලධාරියා වහාම ක්‍රියාත්මක වී තමන් සතු ගිනි අවියෙන් කොල්ලකරුවන්ට වෙඩි තබා තිබේ.

වෙඩි ප්‍රහාර එල්ල වීමත් සමඟම කලබලයට පත් වී ඇති කොල්ලකරුවන් දෙදෙනා මුදල් කොල්ලකෑම පසෙක තබා බැංකුවෙන් පිටතට දිවගොස්‌ ඇත. එක්‌ කොල්ලකරුවකු කලිසම් සාක්‌කුවේ තිබූ පිස්‌තෝලයක්‌ ද ඉවතට ගෙන දිව ගොස්‌ ඇති අතර එහිදී ඔහුගේ සාක්‌කුවේ තිබී රුපියල් දෙදහසක නෝට්‌ටුවක්‌ ද බිම වැටී තිබිණි.

බැංකුවෙන් පිටතට දිව ගිය කොල්ලකරුවන්ට මේ කලබලයේ තමන් පැමිණි යතුරුපැදිය සොයා ගැනීමට නොහැකි වීම නිසා වෙනත් යතුරු පැදියක්‌ පැහැරගෙන පලා ගොස්‌ තිබේ.

කොල්ලකරුවන් දෙදෙනා පැමිණි යතුරුපැදිය පොලිසිය භාරයට ගෙන ඇති අතර ඒ ඔස්‌සේ පරීක්‍ෂණ ආරම්භ කර ඇත.

ආරක්‍ෂක නිලධාරියා එල්ල කළ වෙඩි ප්‍රහාරයෙන් බැංකුවේ වීදුරුවකට හානි සිදු වී තිබිණි. හානි වූ වීදුරුවේ කුඩා කැබැල්ලක්‌ වැදීම නිසා අනෙක්‌ බැංකු ආරක්‍ෂක නිලධාරියාගේ ඇසකට සුළු තුවාල සිදු වී ඇත

පෞද්ගලික බැංකුවේ ආරක්‍ෂක නිලධාරීන් දෙදෙනා ඉතාම බුද්ධිමත් ආකාරයට ක්‍රියා කිරීම නිසා බැංකු කොල්ලය වැරදී ගිය බව පොලිසිය පවසයි.

ආරක්‍ෂක නිලධාරීන් දෙදෙනාගේ නිර්භීත ක්‍රියාව ඉතාම අගය කළ යුතු එකක්‌ බව ද පොලිසිය කියා සිටියි.

සිද්ධිය සැළවීමත් සමඟම සහකාර පොලිස්‌ අධිකාරි නිශාන්ත සොයිසා ඇතුළු නිලධාරීන් පිරිසක්‌ එහි ගොස්‌ සිය පරීක්‍ෂණ කටයුතු ආරම්භ කර තිබේ.

ඊයේ සවස්‌ වන තුරු කොල්ලකෑම පිළිබඳව කිසිදු තොරතුරක්‌ ලැබී තිබුණේ නැත.

බස්‌නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති අනුර සේනානායක, කොළඹ භාර නියෝජ්‍ය පොලිස්‌පති එස්‌. ඩී. එන්. ගුණවර්ධන, ජ්‍යෙෂ්‍යඨ පොලිස්‌ අධිකාරි ප්‍රේමලාල් රණගල මහත්වරුන්ගේ අධීක්‍ෂණය යටතේ පරීක්‍ෂණ පැවැත්වේ.

මොරටුව බැංකුවෙන් විනාඩි 7 ක්‌ තුළ
හත්ලක්‌ෂ 77,000 ක්‌ අරන් පනිති


හේමන්ත රන්දුණු

මොරටුව නගර මධ්‍යයේ පිහිටි පෞද්ගලික බැංකුවකට ඊයේ (23 වැනිදා) දහවල් 1.00 ට පමණ කඩාවැදුණු සන්නද්ධ කොල්ලකරුවන් දෙදෙනකු බැංකු සේවකයන්ට මරණීය තර්ජන කර එහි තිබුණු රුපියල් හත්ලක්‌ෂ හැත්තෑහත් දහසක මුදලක්‌ කොල්ලකා පලා ගොස්‌ ඇත.මුහුණු ආවරණය වන ලෙස හිස්‌ වැසුම් පැළඳ යතුරුපැදියක පැමිණි කොල්ලකරුවන් දෙදෙනකු බැංකුවට ඇතුළුවී ඇත්තේ ගනුදෙනුකරුවන් ලෙසිනි.

ඔවුන් එහි කඩාවදින අවස්‌ථාවේ බැංකු ආරක්‌ෂක නිලධාරීන් සහ කාර්ය මණ්‌ඩලයේ සේවකයන් වැඩි පිරිසක්‌ දිවා ආහාරය සඳහා ගොස්‌ සිට ඇත.

බැංකුවට ඇතුළු වූ කොල්ලකරුවන් දෙදෙනා පිස්‌තෝල දෙකක්‌ එල්ල කරමින් එහි සිටි ගනුදෙනුකරුවන් සහ කාර්ය මණ්‌ඩලය භීතියට පත්කර මුදල් අයකැමි සතුව තිබූ මුදල් කොල්ලකා තිබේ.

විනාඩි 07 කට ආසන්න කාලයක්‌ තිස්‌සේ බැංකුව තුළ රැඳී සිටි කොල්ලකරුවන් මුදල් කොල්ලකා පලාගොස්‌ ඇත.

සිද්ධිය වන අවස්‌ථාවේ බැංකුව ආසන්නයේ පොලිස්‌ ජීප් රථයක්‌ද තිබී ඇත. එහෙත් පොලිස්‌ නිලධාරීන් මෙම කොල්ලකෑම දැනගෙන ඇත්තේ කොල්ලකරුවන් යතුරුපැදියේ නැඟී පලායද්දීය.

කොල්ලකරුවන් පලායද්දී පොලිස්‌ නිලධාරීන් ඔවුන් පසුපස පන්නාගෙන ගොස්‌ ඇතත් කිසිවකු අත්අඩංගුවට ගැනීමට හැකි වී නැත.

පොලිසිය පවසන්නේ බැංකුවේ ආරක්‌ෂක ක්‍රමවේදයන්හි පැවැති දුර්වලතාව නිසා කොල්ලකරුවන් පහසුවෙන් මුදල් කොල්ලකාගෙන පලාගොස්‌ ඇති බවයි.

ගල්කිස්‌ස ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි රවීන්ද්‍ර කරවිට මහතාගේ අධීක්‌ෂණය යටතේ මොරටුව පොලිසිය පුළුල් පරීක්‌ෂණ ආරම්භ කර ඇත.

No comments:

Post a Comment