Translate

Translate

Tuesday, May 20, 2014

රටේ ජනතාවගෙන් 40%කගේ දිනක ආදායම රුපියල් 250යි..

රටේ ජනතාවගෙන් 40%කගේ දිනක ආදායම රුපියල් 250යි..

රටේ ජනතාවගෙන් 40%කගේ දිනක ආදායම රුපියල් 250යි..රටේ ජනතාවගෙන් 40% කගේ දිනක ආදායම රුපියල් 250 වැනි සුළු මුදලක් බවත් එම දුප්පත් ජනතාව වෙනුවෙන් රාජ්‍ය වියදමින් වෙන්වන්නේ 1% ක් වැනි සුළු කොටසක් බවත්, අඩු ආදායම්ලාභි ප්‍රජාව නගා සිටුවීම වෙනුවෙන් පහළට ආදායම් ගලා යන මාර්ග ඇති කිරීම ඕනෑම රජයක වගකීමක් බවත් ඉදිකිරීම් ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය, කඩුවෙල සංවර්ධන කමිටුවේ සභාපති විමල් වීරවංශ මහතා අවධාරණය කරයි. අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අනුයුක්තව සේවය කරන ආර්ථික සංවර්ධන නිලධාරින් 57 දෙනෙකු සඳහා රුපියල් ලක්ෂ 40 ක් පමණ වටිනා නවතම ලැප්ටොප් පරිගණක යන්ත්‍ර ප්‍රදානය කිරීම වෙනුවෙන් පැවති උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වෙමිණි.
මෙම උත්සවය මාලඹේ පිහිටි කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේ දී පැවති අතර, මේ සඳහා රුපියල් ලක්ෂ 40 ක් පමණ වටිනා මූල්‍ය දායකත්වය ලබා දී තිබෙන්නේ විමල් වීරවංශ අමාත්‍යවරයා සභාපතිත්වය දරණ පංචායුධ පදනම විසිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ අමාත්‍යවරයා
‘මෙම  ලැප්ටොප් පරිගණක ලබාදෙන්න  මීට කලින් අවස්ථා 2 කදී සූදානම් කළත් ඒ අවස්ථා 2 හිදීම කුමන හෝ බාධාවක් මත ඉටුකරන්න බැරිවුණා. කඩුවෙල ප්‍රදේශයේ ග්‍රාමසේවක නිලධාරී මහත්ම මහත්මීන්ට පසුගිය වසරේදී ගමන්මලු හා  ජංගම දුරකථන ලබාදුන්නාට පසුව ගහපු පෙත්සම් තොගය බැලුවහම, ගිය ප්‍රවෘත්ති දිහා බැලුවහම මේ වැඩසටහනත් රාජ්‍ය නිලධාරීන්ට දෙන අල්ලසක් හැටියට ඇතැමුන්ට අර්ථකථනය කරන්න පුළුවන්. තමුන්නාන්සේලා දන්නවා තමුන්නාන්සේලාට අල්ලස්දීලා ජනතාවට සේවය කරන්න කියලා අපිටකියන්න උවමනාවක් නැහැ. අද රාජ්‍ය සේවයේ ඉතා ප්‍රබල කටයුත්තකට කරගහලා සිටින පිරිසක් හැටියට මේ  ආර්ථික සංවර්ධන නිලධාරීන් අපි දකින්නේ. මේ රටේ 40% ක්ජීවත්වන්නේ දවසක ආදායම ඇමරිකානු ඩොලර් 2 ක් නැතිනම් රුපියල් 250 ක් පමණ උපයන මිනිස්සු. ඒ 40% වෙනුවෙන් වගකියන්න ඉන්නෙ, ඒ 40% වෙනුවෙන් කැපවෙලා වැඩි ආදායම් උපයන මට්ටමේ රටවැසියන් හැටියට පෙරළන්න වැඩකටයුතු කරමින් සිටින ප්‍රධානතම බලකාය හැටියට අපි දකින්නේ මේ ආර්ථික සංවර්ධන නිලධාරීන්. ඔබ සියලුදෙනාම පිළිගත් විශ්ව විද්‍යාලයක උපාධිය ලබලා රාජ්‍ය සේවයට ඇතුළත් වුණේ අර 40% වෙනුවෙන් වැඩකරන්න. 40% කගේ දවසක ආදායම රුපියල් 250 නම්  ඉතිරි 60% සම්පූර්ණයෙන්ම ඊටවඩා යහපත් කියලා අපි සිතන්න ඔන නැහැ. ඒ 60% නුත් සැළකිය යුතු ප්‍රතිශතයක් ඊට වඩා ඉහළ ආදායමක් ලැබුවත් ඔවුන් ඉන්නෙත් අභියෝග කන්දකට මුහුණ දෙමින්. ඒ නිසා ඒ ප්‍රජාව වෙනුවෙන් පහළට  ආදායම් ගලාගෙන යාමට සැළැස්වීම ඕනෑම රජයක ප්‍රධාන වගකීමක්. දිවිනැගුම වැඩසටහන හරහා වුණත් සිදුවන්නේ එම පෙර සඳහන් කළ දිනක ආදායම රුපියල් 250 ක් පමණ වන පහළ ආදායම් ලබන 40% ක ජන සමාජයට ප්‍රාග්ධනය ගලාගෙන යන මාර්ගයක් ඇතිකිරීමයි. තමුන්නාන්සේලා දන්නවා ගමට සල්ලි එන්නේ මොන ආකාරයට ද කියලා. ඒ 40% යේ සිටින තරුණ දරුවෙක් රාජ්‍ය සේවයට ගියොත් ඔහු ලබන වැටුප ගමට එනවා.
ඒ වගේම සහනදායී ණය යෝජනා ක්‍රමයක් ලෙස ණය ටිකක් ගත්තොත් ඒ ණය ප්‍රමාණය ගමට එනවා. එසේ නැතුව දවසකට රුපියල් 250 ක ආදායම උපයන පුද්ගලයන්ගේ  ඒ සමාජ කොටසට විශාල ලෙස මුදල් ගලාඑන මාර්ග නිර්මාණය වෙලා නැහැ. අපි දන්නවා, අපේ රටේ බැංකු ක්‍රමය දිහා බලන විට එම බැංකු ක්‍රමය පහල පංතිවලට හිතවාදී ප්‍රතිපත්ති අනුව ඇතිවුණු බැංකු ක්‍රමයක් නොවේ. ඒ 40% අමතක කරපු බැංකු ක්‍රමයක් අපේ රටේ පවතින්නේ. මිනිසුන්ගේ තැන්පතුවලට 6% ක පමණ පොළියක් දීලා ඒ මුදල් තව කෙනෙකුට  ලබාදෙන විට 13% හෝ 14% පොළියක් ලබනවා. වාණිජ පදනමේ නම්  17% කටත් වඩා පොළියක් බැංකු ලබා ගන්නවා. නමුත් මිනිසුන්ගේ තැන්පතුවලට බැංකු ලබාදෙන්නේ 6%  ක පොළියක්. මේ තරම් විශාල පරතරයක් අපේ රටේ බැංකු පවත්වාගෙන යනවා. ඒ නිසා පහළ ආදායම්ලාභී 40% ට බැංකු හරහා ණය ප්‍රාග්ධනය ගලාගෙන යන්නේ  නැහැ. වගා ණයක් ගොවි ණයක් ලබාදෙන්නේ නැහැ. බැංකුකරුවන් විසින් ත්‍රීරෝද රථ සහ ඩීමෝ බට්ටා ලොරි ගන්න ණය දෙනවා. ඒවා ගෙවාගන්න බැරි වුණාම වාහන උස්සාගෙන යනවා. එහෙම නොවෙයි. පහළ සමාජ පන්තිවලට ප්‍රාග්ධනය ගලාගෙන යන මාර්ග නිර්මාණය වන්න ඕන. අද මේ රටේ යටිතල පහසුකම් සංවර්ධනය සිදුවෙනවා. යටිතල පහසුකම් සංවර්ධනය මඟින් පමණක් මෙම 40% ජන කොටසකට ආදායම් ගලාගෙන යන්නේ නැහැ. එය හොඳයි ඉදිරියේදී වන පරිවර්තනයක් දිහා බලාගෙන සිදුකරන්න. නමුත් මෙම 40% කොටසටමුදල් ගලාගෙන එන මාර්ග මේ රටේ අඩුයි. රාජ්‍ය වියදමින් 1% පමණ වැඩි කොටසක් එදා සමෘද්ධිය අද දිවි නැඟුම යන වැඩසටහන් හරහා ප්‍රාග්ධනය දුප්පතුන් අතරට  ගලාගෙන යන්නේ. පොහොර සහනාධාරය 3% පමණ මුදලක් රාජ්‍ය වියදමින් වෙන්වෙනවා.  නමුත් පොහොර සහණාධාරය දුප්පතුන්ට  ලැබෙන්නේ නැහැ. කෙළින්ම එය සමාගමකට ලැබෙන්නේ. සමාගම අඩු මිලට පොහොර ලබාදෙනවා. ගමට සල්ලි වැඩි වැඩියෙන් ගලාඑන ක්‍රමවේද ඇතිකළොත් තමයි  මේ රටේ ආර්ථිකයේ අපි විශ්වාස කරන සැබෑ ප්‍රබෝධයක් ඇතිවෙන්නේ. ගමට සල්ලි ගලන්නේ නැති මොන භෞතික දියුණුවක් පිළිබඳ අපි  සාකච්ඡා කළත් එයින් අපිට නියම ප්‍රතිඵලය හා  ප්‍රයෝජන ලැබෙනවා කියලා අපි විශ්වාස කරන්නේ නැහැ.
ගමට සල්ලි ගලන්නේ නැති මොන භෞතික දියුණුවක් පිළිබඳව අපි සාකච්ඡා කළත් හොඳම ප්‍රතිඵලය ලබාගන්න පුළුවන් කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. වැදගත්වන්නේ රටවැසියා ආර්ථිකය ගොඩනගන්නේ රටවැසියා වෙනුවෙන්. ඒ නිසා ඔවුන්ගේ අතට මුදල් ප්‍රවාහය වන ආකාරයන් ගණනාවක් මේ රටට ඕන. ඒ 40% නියෝජිතයෝ ඔබ. ඒ 40% ඉදිරියට ඔසවන්න මහන්සි වන අය ඔබ. ඒ නිසා තාක්ෂණික වශයෙන් සවිබල ගැන්විය යුත්තේ ඔබ නොවේ නම් වෙන කවුද? ඒක තමයි අපි මේ දෙස බලපු කෝණය. බොහෝ දෙනෙක් ගමේ ප්‍රජාව සමඟ මතුවෙන රැකියාවලට කැමති නැහැ.  පුටුවක වාඩිවෙලා වඩාත් සැප පහසු විදිහට රැකියාව කිරීමට වැඩි දෙනෙක් කැමති. ඔබ ඒ ආකල්පය තිබෙන හිරකාරයෙක් නෙවෙයි කියලා අපි විශ්වාස කරනවා. ඔබ ගමේ ජනතාවගේ සහයෝගය, ආදරය දිනාගෙන වැඩකරනා පිරිසක්. ඒ නිසා ඔබට තමයි ලබාදිය යුතු ශක්තිය ප්‍රධාන වශයෙන් ලබාදිය යුත්තේ.  ඒ නිසා තමයි  පංචායුධ පදනම මඟින්  මේ ලැප්ටොප් පරිගණක ප්‍රදානය කිරීම සඳහා සම්පූර්ණ පිරිවැය දරලා තමුන්නාන්සේලාට එය ලබාදීමට කටයුතු කරලා තියෙන්නේ. දැන් මේ පරිගණකයෙන් චැට් කර කරා ඉන්නේ නැතිව, ෆේස් බුක් ගිහිල්ලා  අතරමං වෙන්නේ නැතිව ස්කයිප් ගිහිල්ලා බෙල්ලේ වැල දාගන්න වෙන කටයුතු කරන්නේ නැතිව සුදුසු දේ සඳහා භාවිතා කරන ලෙස ඉල්ලා සිටිනවා. මේ උපකරණය පරිස්සමෙන් පාවිච්චි කරලා තමුන්නාන්සේලාගේ වසමේ ඇති සියලු දත්ත ඇතුළත් කරගෙන, වසමේ ඇතුළේ  වියයුතු පරිවර්තන මොනවාද කියා සැලසුම් ඇතුළත් කරගෙන ඕනෑම අවස්ථාවක තමන්ට අයත් වසමේ තත්ත්වය, නියම විත්‍රය, පිංතූරය නියම දත්ත ඉදිරිපත් කරන්න ශක්තිය ඇතිවිය හැකි විය යුතුයි.
වසමට මොනවද ඉටුවිය යුත්තේ කියා කෙනෙක් ප්‍රශ්න කළ විට ඕනෑම වෙලාවක එයට උත්තර දියහැකි සූදානමක්  සහිත කණ්ඩායමක් බවට තමුන්නාන්සේලා පත්වෙයි කියන  විශ්වාසය අපට තිබෙනවා. මම හිතන්නේ ලංකාවේ පළමු වතාවට තමයි  ආර්ථික සංවර්ධන නිලධාරීන්ට  මේ විදිහේ දිරිගැන්වීමක් සිදුවෙන්නේ.  මෙම පරිගණකය රුපියල් 70,000 ක් පමණ වෙනවා.  මෙම පරිගණකය මගින් අදාල සුදුසු රාජකාරි සඳහා  භවිතා කරන්න.  ඒ නිසා අපි මේ පරිගණකය ලබාදෙන්නේ  මෙම වැඩකොටස සාර්ථකව කරන්න.  කලින් සඳහන් කළ 40% වෙනුවෙන්  අවංකව වැඩකරන්න.  ඒ මිනිස්සු වෙනුවෙන් කැපවෙලා වැඩකරන්න.  ඔබ දිරිගැන්වීම සඳහා  අපි මේ පරිගණක ප්‍රදානය කළේ.  අනෙකුත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල නිලධාරීන්ටත් මේ විදිහේ  සහයෝගයන් ඉදිරියේදී ලැබේවි.  ඒ සඳහා මෙය හොඳ ආරම්භයක් වේවි.  ආර්ථික සංවර්ධන නිලධාරීන්  වසමෙන් ඉවත් වෙන විට  හෝ වෙනත් වසමකට මාරුවන විට හරිනම් ඒ වසමේ ජනතාව හඩන්න ඕන. ඒ තරම් ජීවමය බැඳීමක්  ගම්වල මිනිසුන් සමඟ තමුන්නාන්සේලා ඇති කරගත යුතුයි. එබඳු ශක්තියක් ගොඩනගාගෙන  අඩුආදායම්ලාභී ප්‍රජාව ඉහළට ඔසවන්න රජය දරණ මහා ප්‍රයත්නයට දායකත්වය ශක්තිය ලබාදේවි’ යනුවෙන්ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
- Con. Media

No comments:

Post a Comment