Translate

Translate

Sunday, May 18, 2014

ආණ්ඩු කොඩිවිනය කපන හැටි මහ නාහිමියෝ ඇමති විමල්ට කියති..

ආණ්ඩු කොඩිවිනය කපන හැටි මහ නාහිමියෝ ඇමති විමල්ට කියති..

ආණ්ඩු කොඩිවිනය කපන හැටි මහ නාහිමියෝ ඇමති විමල්ට කියති..

ආණ්ඩුවට එරෙහිව ඇතැමුන් සිදු කර ඇති කොඩිවින කැපීම කළ යුත්තේ ආණ්ඩුව තුළ රැුඳී සිටිමින් යැයි ශ‍්‍රී ලංකා අමරපුර සංඝ සභාවේ උත්තරීතර මාහානායක අතිපූජ්‍ය දවුල්දෙන ඥානිස්සර මහනාහිමියෝ ජාතික නිදහස් පෙරමුණේ නායක, අමාත්‍ය විමල් වීරවංශ මහතාට පෙන්වා දෙයි.
විමල් වීරවංශ මහතා ඇතුළු ජානිපෙ දේශපාලන මණ්ඩලයේ නියෝජිත පිරිසක් තම පක්‍ෂය විසින් රට හමුවේ තබන ලද හදිසි ප‍්‍රතිසංස්කරණ යෝජනාවලිය ඊයේ (16) අතිපූජ්‍ය දවුල්දෙන ඥානිස්සර මහනාහිමියන්ට පිළිගන්වා ඒ හා බැඳුණු ක‍්‍රියාදාමයට ආශිර්වාද ලබා ගත් අවස්ථාවේදී උන්වහන්සේ මෙසේ අනුශාසනා කළහ.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අතිපූජ්‍ය දවුල්දෙන ඥානිස්සර මහනාහිමිපාණෝ මෙසේද පැවසූහ.
‘අපේ ආශිර්වාදය ඔබතුමන්ට නිරතුරුවම ලැබෙනවා. මේ යෝජනාවලිය පිළිබඳව අපේ අදහස් ඉදිරියේදී ලබා දීමට බලාපොරොත්තු වෙනවා. ආණ්ඩුවටත් එහි ප‍්‍රධානීන්නටත් වින කරන්නට බොහෝ පිරිස් කටයුතු කරනවා. ඔබතුමන් වැනි අමාත්‍යවරුන් ඒ විනයන්ගෙන් පරෙස්සම් විය යුතුයි.
ආණ්ඩුවට විරුද්ධව යම් අය වින කරලා තිබේ නම් ඒවා කැපීම ආණ්ඩුව තුළ ඉන්න ප‍්‍රධානීන් කළ යුතු දෙයක්. ගෙදරකට විරුද්ධ කවුරුන් හෝ කොඩි විනයක් කර ඇත්නම් එය කැපිය යුත්තේ ගෙදර තුළ හිඳගෙනයි. ඒ වගේ ආණ්ඩුවට එරෙහි කොඩිවින කැපීම ආණ්ඩුව තුළ හිඳගෙනම තමයි කළ යුත්තේ. ආණ්ඩුවේ යම් දෝෂයන්, අඩුපාඩු ඉදිරිපත් කර ඒවා නිවැරදි කිරීමට ආණ්ඩුව තුළ හිඳගෙනම කටයුතු කරන්න කියලයි අපි ඔබතුමාට පෙන්වා දෙන්නේ.
තව වසර කිහිපයකින් මට අවුරුදු 100ක් පිරෙනවා. ඒ නිසා මට බි‍්‍රතාන්‍ය පාලන සමයේ සිට ගෙවී ගිය කාලයේ පාලන කටයුතු සිදු වූ අයුරු පිළිබඳ අවබෝධයක් තිබෙනවා. ඒවායින් මෙතැනට අදාළ කරුණු කිහිපයක් ගෙන හැර දක්වන්නත් බලාපොරොත්තු වෙනවා.
විපක්‍ෂයක් කටයුතු කළ යුත්තේ ආණ්ඩුව සමග එකතුව ආණ්ඩු ක‍්‍රමය ඉදිරියට ගෙන යන්න. නමුත් අද විපක්‍ෂය සෑම විටම බලන්නේ පවතින ආණ්ඩුව වෙනස්කර ගැනීමට පමණයි. විපක්‍ෂය ආණ්ඩුවට සාකච්ඡුාවෙන්, එකමුතුවෙන් කරුණු පෙන්වා දෙනවා වෙනුවට අද සිදු වන්නේ අනවශ්‍ය කෑ කෝ ගැසීමක්.
නැවත වතාවක්, මම ඔබතුමන්ට කියන්නේ, ‘කොඩිවිනය කපන එක ඉන්න ගෙදර ඉඳගෙනම කරන්න’ කියලයි. යම් යම් පිරිස් පවසන, කරන නොයෙකුත් දේවල්වලින් පෙනෙන්නේ වත්මන් ආණ්ඩුව පෙරළීමේ උවමනාවක් තිබෙන බවයි. මේ මොහොතේ මට සිහියට එනවා, සමගි පෙරමුණු ආණ්ඩුවේ හිටපු මුදල් ඇමති එන්. එම්. පෙරේරා මැතිතුමා පිළිබඳව. ඔහු රටේ ආර්ථිකය සංවර්ධනය කරන්න යම් වැඩපිළිවෙළක් සකසා එය ක‍්‍රියාත්මක කළා. එසේ ආර්ථික සංවර්ධනයට කටයුතු කරන කොට ඇතමුන් නොයෙකුත් යටිකූට්ටු වැඩ සිදු කළා ඔහුට ඒ ආණ්ඩුව අතහැර යන්න සිදු වන ආකාරයට. අවසානයේදී ඔහු මුදල් අමාත්‍ය ධුරයෙනුත් ආණ්ඩුවෙනුත් ඉල්ලා අස් වුණා.
ඒ කාලයේ ආර්ථිකයේ යම් දියුණුවක් ඇති වුණා. එදා සීනි ආනයනය සීමා කරලා උක් වගාව ඉහළ නැංවීමට කටයුතු කළා. අල, බතල කෑමට, වගාවට ජනතාව යොමු කළා. මල් පෝච්චියේ පවා එදා මිරිස් ගස් වැව්වා. ඒ ආකාරයට රට තුළ දියුණුවක් ඇති කරනකොට එදා විපක්‍ෂයේ ජන නායකයෙක් කීවා ‘පොළොව යට හැදෙන අල, බතල හාරගෙන කන්නේ ඌරෝ. ආණ්ඩුව අද ජනතාව ඌරන්ගේ තත්ත්වයට පත් කරලා. අපි බලයට ඇවිත් ජනතාවට ඇට අටක් දෙන්න සූදානම්’ කියලා.
එදා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ පාලන සමයේ ලිහිසි තෙල් ආනයනයත් සීමා කර තිබුණා. මෙම සීමා කිරීම් ඉවත් කරන්න කියලා එවකට ශ‍්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනිය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගෙන් ඉල්ලා තිබුණා, ‘උඹලාට දාසකම් කිරීමට, ගැතිකම් කිරීමට අපේ මහජනයා දැන් සූදානම් නැහැ’ කියලා එයට බණ්ඩාරනායක මැතිනිය පිළිතුරු දී තිබුණා. එදා රුසියාවෙන් බොරතෙල් ගෙන්නුවා. සපුගස්කන්ද තෙල් පිරිපහදුව හැදුවා. එදා විපක්‍ෂය මේ සියල්ල ඉතා පහත් අන්දමින් විවේචනය කළා.
යම් ආණ්ඩුවක් යහපත් දෙයක් කළා නම් ඊළ`ගට පත්වන ආණ්ඩුවට තියෙන්නේ එය ඉදිරියට ගෙන යන්නනේ. නමුත් එදා එහෙම වුණේ නැහැ. වත්මන් ජනාධිපතිතුමා වසර 30ක් තිස්සේ ඇද ගෙන ගිය යුද්ධය අවසන් කරලා රටට සාමය උදා කර දුන්නා. දැන් ජිනීවාවල කොටි නායක ප‍්‍රභාකරන්ගේ මානව හිමිකම් ගැන කතා කරනවා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් නවනීදන් පිල්ලේ කතා කරන්නේ ඒ පාර්ශ්වයේ මානව හිමිකම් ගැන පමණයි.
දළදා මාලිගාවට පහර දීම, ශ‍්‍රී මහා බෝධීන්වහන්සේ ඉදිරිපිට සිදු කළ ඝාතන, අරන්තලාවේ භික්‍ෂු ඝාතන ඇතුළු ප‍්‍රභාකරන්ලා සිදු කළ මහා බරපතළ විනාශකාරී සිදුවීම් පිල්ලේලාට පෙනිලා නැහැ. පිල්ලේ ද්‍රවිඩ හා දකුණු අප‍්‍රිකානු සම්භවයක් සහිත ‘දෙමුහුන්’ උග‍්‍ර ජාතිවාදී කතක් වීම හේතුවෙන් ඇය පක්‍ෂග‍්‍රාහීව කටයුතු කරමින් අපේ රටට විශාල හානියක් සිදු කරනවා. ඇය ඉදිරිපත් කළ පක්‍ෂග‍්‍රාහී වාර්තා නිසා අපේ රටට ඉදිරියේදී තවත් බාධා කිරිම්, බලපෑම් සිදු වේවි. ඒ නිසා අපි මේ අවස්ථාවේ ලැබූ නිදහස රැක ගන්න කටයුතු කළ යුතුයි’
අමරපුර සංඝ සභාවේ උත්තරීතර මහනාහිමියන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ජානිපෙ නායක, අමාත්‍ය විමල් වීරවංශ මහතා,
‘අතිපූජ්‍ය මහනාහිමියන් අපගේ යෝජනාවලිය පිළිබඳ අමරපුර සංඝ සභාවේ අදහස ඉදිරියේදී දැනුම් දෙන බව පැවසුවා. ඒ වගේම උන්වහන්සේ අපගෙන් ඉල්ලා හිටියා ‘ආණ්ඩුව නිවැරදි කරන්න ගන්නා ප‍්‍රයත්නය ආණ්ඩුව තුළ සිටිමින්ම කිරීමට උත්සාහ ගන්න’ කියලා. අපි උන්වහන්සේට අවධාරණය කළා ‘අපට කිසි ලෙසකින්වත් අවශ්‍ය නැහැ ආණ්ඩුව පෙරළා දැමීමට. එවැනි අරමුණකින් නොවෙයි මේ ක‍්‍රියාවලිය කරන්නේ’ කියලා. හැබැයි ආණ්ඩුවේ විය යුතු වෙනස්කම් නොවෙනවා නම් එවැනි ආණ්ඩුවක් සමග කටයුතු කිරීමේ නොහැකියාවත් අපි උන්වහන්සේට එහිදී පෙන්වා දුන්නා. යහපත් අතට ආණ්ඩුව පරිවර්තනය කර ගැනීම අපේ අරමුණ බව අපි උන්වහන්සේට පැහැදිලි කළා.
මේ වන විට අපි ත්‍රෛනිකායික මහනාහිමිවරුන්ට අපගේ යෝජනාවලිය පිළිගන්වා තිබෙනවා. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා, කතෝලික සභාවේ අගරදගුරු කාදිනල්තුමන් වෙත මෙම යෝජනාවලිය නුදුරු දිනයක පිළිගැන්වීමට. එතැන් සිට අපි මේ යෝජනාවලිය ආණ්ඩුවට නිල වශයෙන් ඉදිරිපත් කරලා, රටේ සැලකිල්ලට භාජනය වූ මේ ක‍්‍රියාවලිය පිළිබඳව ජනාධිපතිතුමන් ඇතුළු ආණ්ඩුවේ ප‍්‍රධානීන්ගේ මතය විමසා බැලීමට සුදුසු පියවර අනුගමනය කිරීමට බලාපොරොත්තු වෙනවා’ යනුවෙන් පැවසීය.
මෙම අවස්ථාවට ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩල සභිකයෝ වන සාම්ප‍්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය නියෝජ්‍ය අමාත්‍ය වීරකුමාර දිසානායක, සබරගමුව පළාත් සභා මන්ත‍්‍රී දීපාල් ගුණසේකර, හිටපු වයඹ පළාත් සභා මන්ත‍්‍රී සේනාරතන ද සිල්වා යන මහත්වරුද එක්ව සිටියහ.
මාධ්‍ය ඒකකය
ජාතික නිදහස් පෙරමුණ

No comments:

Post a Comment