Translate

Translate

Saturday, June 7, 2014

EPF සල්ලිවලට මොකද වුණේ? මොකද කළේ?

EPF සල්ලිවලට මොකද වුණේ? මොකද කළේ?
- මහ බැංකුවේ අධිපති නිවාඩ් කබ්රාල් හෙළි කරයි

සේවක අර්ථ සාධක අරමුදල හෙවත් EPF යනු මේ රටේ සේවක ප්‍රජාවගේ හසාධනය පිනිස තිබෙන විශාලතම අරමුදලය. මෙයට විසිහතර ලක්‌ෂයක්‌ දෙනා දායකව සිටින අතර තිබෙන වත්කම් ප්‍රමාණය රුපියල් බිලියන 1300 (ඩොලර් බිලියන 10 කට ආසන්න මුදලකි) කට කිට්‌ටුය. මෙහි සාමාජිකත්වය දරන පුද්ගලයන්ගේ මූල්‍ය දායකත්වය සෑම වසරකම ඉහළ යයි. වසර 2011 දී එම ගණන 12.9% කි. 2012 දී 13.4% කි. 2013 දී 14.7% කි. එම මුදල් සඳහා 11% න් 12.5% න් අතර උපරිම පොලියක්‌ සාමාජිකයන්ට හිමවෙයි. එය කිසිදු මූල්‍ය ආයතනයකින් හෝ බැංකුවකින් නොගෙවන පොලියකි. එහෙත් සේවක අර්ථ සාධක අරමුදල සිය මූල්‍ය සම්පත් වැරදි ලෙස කළමණාකරණය කළ බවට පසුගිය කාලයේදී බරපතල චෝදනා එල්ල විය. පහත සඳහන් වනනේ එම අරමුදලේ භාරකාර ආයතනය වන ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාර්ඩ් කබ්රාල් සමග දි අයිලන්ඩ් පත්‍රයේ සී. ඒ. චන්ද්‍රප්‍රේම එම අරමුදලට එරෙහි චෝදනා විග්‍රහ කරමින් කළ සාකච්ඡාවකි.

ප්‍රශ්නය - අර්ථ සාධක අරමුදලේ මුළු වටිනාකමින් 5.8% ක්‌ හෙවත් රුපියල් බිලියන 72 ක්‌ පෞද්ගලික අංශයෙහි ආයෝජනය කිරීම ගැන ප්‍රශ්නයක්‌ මතුවී තිබෙනවා. මෙහිදී පෞද්ගලික අංශය ලෙස සඳහන් වන්නේ කොටස්‌ වෙළෙඳපොළයි. මෙයට අමතරව අරමුදලේ වත්කම්වලින් 92.5% ක්‌ රාජ්‍ය අංශයේ ආයෝජනය කර තිබෙනවා. මෙම දෙවන ආයෝජනය ගැන කාටවත් ප්‍රශ්නයක්‌ නැහැ. එහෙත් කොටස්‌ වෙළෙඳපොළෙහි කළ 6% කට අඩු වත්කම් ආයෝජනයන් නිසා ආණ්‌ඩුව නිතර බැණුම් අහනවා. කොටස්‌ වෙළෙඳපොළේ කොටස්‌මිල නිරන්තරයෙන් ඉහළ ගියත් මේ විවේචනවලින් ගැලවීමක්‌ ආණ්‌ඩුවට නැහැ. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම යටතේ තිබෙන සරසවි ආචාර්යවරුන්ගේ අරමුදල වැනි ආයතන තම වත්කම් ආයෝජනය කර ඇත්තේ රාජ්‍ය අංශයේ (විනිමය බිල්පත් සහ භාණ්‌ඩාගාර බිල්පත්වල) පමණයි. එසේ තිබියදී EPF අරමුදල කොටස්‌ වෙළෙඳපොළ පැත්තට හැරුණේ ඇයි?

පිළිතුර - EPF අරමුදලේ මුදල් ආයෝජනකරන ආකාරය පිළිබඳව සියලු බලතල EPF පනත හරහා පාර්ලිමේන්තුව මගින් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්‌ඩලයට ලබාදි තිබෙන අතර එම බලය ඉතාම වගකිවයුතු ලෙස පාවිච්චි කර තිබෙනවා. EPF අරමුදලේ මුදල් කොටස්‌ වෙළෙඳපොළේ ආයෝජනය කිරීමේ තීන්දුව ගනෙ තිබුණේ 2001 අවුරුද්දෙයි. ඒ දක්‌වා එම අරමුදලේ මුදල් සියල්ල ආයෝජනය කළේ රාජ්‍ය අංශය තුළයි. මේ අතර රාජ්‍ය අංශයේ ණය ගැනීම් ක්‍රමානුකූලව අඩු වීමට පටන් ගත්තා. රජයට ඉතාම ලොකුවට ණය ලබාදුන් ස්‌වදේශික ආයතනය වුණේ සේවක අර්ථසාධක අරමුදලයි. එම අරමුදලෙන් මුදල් ණයට ගැනීම අඩුවන විට පොලියක්‌ උපයා ගැනීමේ අවස්‌ථාවක්‌ අරමුදලට ලැබෙන්නේ නැහැ. ඒ එක්‌කම රජයේ පොළී අනුපාතයන් අඩු වෙන්නට පටන් ගත්තා. උදාහරණයක්‌ ලෙස මෙයට වසර 5 කට පෙර රාජ්‍ය භාණ්‌ඩාගාර බිල්පත් සඳහා 18% ක්‌ පොළී ලැබුණා. අද එම පොලී අනුපාතය 6.5% යි. ඒ නිසා වඩාත් පුළුල් පරාසයක මුදල් ආයෝජනය කිරීමේ අවශතාවක්‌ අපට මතු වුණා. තවත් විදියකින් කියනවා නම් රජයේ භාණ්‌ඩාගාර බිල්පත් හෝ විනිමය බිල්පත්වල කරන ආයෝජනවලින් සෑහීමකට පත් වෙන්නට බැරි තත්ත්වයක්‌ මතු වුණා. EPF අරමුදල කොටස්‌ වෙළෙඳපොළේ මුදල් ආයෝජනයය කළ යුතුව තිබුණා. 1980 අග කොටසේදී මා ස්‌කොෂ් ක්‍රීඩා කරන තැනකදී ජෝන් කීල්ස්‌ සමාගමේ සභාපති තුමා මට හමුවුණා. ඒ වන විට ඔහුගේ සමාගම මහජන කොටස්‌ නිකුතුවක නිරතව සිටියා. රුපියල් දසලක්‌ෂ 100 ක්‌ වටිනා එම කොටස්‌ විකුණා ගැනීමට තරම් සුදුසු ආර්ථිකයක්‌ රටේ තිබුණේ නැහැ. මේ නිසා ධනවත් සමාගම්වල නියෝජිතයන් ස්‌කොෂ් ක්‍රීඩා කරන තැන් වෙත ගොස්‌ පෙර කී කොටස්‌ මිලට ගැනීමට ඔවුන් පෙළෙවීමට ජෝන් කීල්ස්‌ සමාගමට සිදු වී තිබුණා. එදා විකුණා ගැනීමට දුෂ්කරවූ එම කොටස්‌වල අගය අද ඉතාම ඉහළයි.

ප්‍රශ්නය - කොටස්‌ වෙළෙඳපොළේ EPF මුදල් ආයෝජනය කිරීමෙන් ලැබුණ ලාභාංශය 2011 දී 3.2% කටත්, 2012 දී 4.8% කටත් 2013 දී 4.5% තවත් සීමා වුණා. ඒත් රජයේ සුරැකුම්පත්වල කළ ආයෝජන 11% තෙක්‌ ඉහළ නැඟ තිබුණා. තත්ත්වය එයනම් EPF අරමුදල කොටස්‌ වෙළෙඳපොලේ මුදල් ආයෝජනය කරන්නේ ඇයි?

පිළිතුර - කොටස්‌ වෙළෙඳපොළේ EPF ආයෝජනය පටන්ගෙන ගතවී තිබෙන්නේ ඉතාම සුළු කාලයක්‌ විතරයි. ඒත් රජයේ විනිමය බිල් සහ භාණ්‌ඩාගාර බිල්පත්වල කරන ලද ආයෝජන හුඟක්‌ පරණයි. ඒවා බොහෝ කලකට පෙර ඉහළ පොළී අනුපාතයන් යටතේ කළ ආයෝජන හැටියට සඳහන්වන්නට පුළුවන්. අද තිබෙන පොලී අනුපාතය යටතේ විනිමය බිල් හෝ භාණ්‌ඩාගාර බිල් පත්වල මුදල් ආයෝජනය කළොත් 6.5% ක අඩු පොලියක්‌ තමයි ලැබෙන්නේ. මේ නිසා ඔබ කියන 11% පොලී අනුපාතය හැමදාටම අදාළ අනුපාතයක්‌ නොවෙයි. ඒ නිසා අනාගතයේදී ඉහළ ලාභාංශ ලබා ගැනීම සඳහා අප දැන් සිටම කොටස්‌ පදනමක්‌ සාදා ගත යුතුයි. කොටස්‌ වෙළෙඳ පොළේ මුදල් ආයෝජනය කරන විට අප අවුරුදු 10 ක්‌ ඉස්‌සරහට සිතිය යුතුයි. එක්‌ වරම නැතත් සෑහෙන කලක්‌ ගතවනවිට ලාභාංශ පමණක්‌ නොව කොටස්‌ මිලත් වැඩි වීමෙන් විශාල ප්‍රතිලාභයක්‌ ලැබෙනවා. EPF සල්ලි පුද්ගලික බැංකුවල කොටස්‌ මිලට ගැනීම සඳහා යෙදවිය යුතු බව තීරණය කර තිබුණේ මා මහ බැංකුවේ අධිපති ලෙස පත්වීමට පෙරයි. එම තීරණය නිසා කොටස්‌ වෙළෙඳපොළේ ඉතාම ලාභදායී ආයෝජනය වන බැංකු කොටස්‌වලින් ප්‍රතිලාභ ලැබීමේ පහසුකම EPF අරමුදලේ සාමාජිකයන්ට ලැබුණා.

ප්‍රශ්නය - කොටස්‌ වෙළෙඳපොළ සමග කළ ගනුදෙනු සියල්ලම නරක ගණුදෙනු බව තමා නොකියන නමුත් සමහර ඒවා නරක බවත් සමහරු ඒවායින් අධික ලාභ ලබන බවත් පාර්ලිමේනතු මන්ත්‍රී ආචාර්යය හර්ෂ ද සිල්වා පසුගියදා කියා තිබුණා.

පිළිතුර - හරිම අසාධාරණ ප්‍රකාශයක්‌. කොටස්‌ ගොනුවක්‌ කළ තිබෙන සමහර කොටස්‌ අපට උවමනා තරම් ලාභ උපදවන්නේ නැහැ. ඒ නිසා තමයි අප නිතරම විවිධ කොටස්‌වලින් සමන්විත කොටස්‌ ගොනුවක මුදල් ආයෝජනය කරන්නේ. එවිට ලාභාංශ අඩු කොටස්‌වලින් විය හැකි අඩුව, එම කොටස්‌ ගොනුව තුළ තිබෙන ලාභාංශ වැඩි කොටස්‌වලින් පියවා ගත හැකියි. කොටස්‌ ගොනුවක මුදල් ආයෝජනය කර, ඒ සියලුම කොටස්‌වලින් ලාභ උපදවා ගත් කෙනෙක්‌ මේ ලෝකයේ ඇතැයි මා හිතන්නේ නැහැ. EPF අරමුදලේ 2011 වාර්ෂික වාර්තාව අප පසුගියදා ප්‍රකාශයට පත් කළා. 2012 සහ 2013 වාර්තා විගනකාධිපති දෙපාර්තමේන්තුව භාරයේයි තවමත් තිබෙන්නේ. EPF අරමුදල මගින් කොටස්‌ වෙළෙඳ පොළෙන් මිලට ගත් කොටස්‌ ප්‍රමාණවල ලැයිස්‌තුවක්‌ සහ ඒවාට ගෙවා ඇති මිල මේ වාර්තාවල සඳහන් වෙනවා. ඒ කොටස්‌වලින් සමහරක මිල ඉහළ ගොස්‌ තිබෙන බවත් සමහර කොටස්‌වල මිල පහළ ගොස්‌ තිබෙන බවත් ඒ ලැයිස්‌තුව පිරික්‌සීමේදී ඔබට බලා ගන්නට පුළුවන්. 2011 දෙසැම්බර් 31 වන විට EPF මුදලින් මිලට ගත් සමාගම් කොටස්‌ ප්‍රමාණය සඳහා රුපියල් බිලියන 78.4 ක්‌ ගෙවා තිබුණා. ඒත් පසුව ඒවායේ වෙළෙඳ පොළ මිල රුපියල් බිලියන 75.8 ක්‌ වී තිබුණා. ඒ කියන්නේ රුපියල් බිලියන 2.5 කින් මිල අඩුවී තිබුණා. මෙය වෙළෙඳපොළ මිල අඩු වැඩි වීමක්‌ විතරයි. නැතුව පාඩු පිට කොටස්‌ විකිණීමක්‌ නොවෙයි. ඒ කොටස්‌ EPF අරමුදල සතුව එහෙමම තිබෙනවා. වසර 2010 වාර්ෂික වාර්තාව ගෙන බැලුවොත් ඔබට පෙනේවි රුපියල් බිලියන 43.6 ක වටිනාකමක්‌ තිබූ කොටස්‌ රුපියල් බිලියන 61.5 දක්‌වා මිල ඉහළ ගොස්‌ තිබූ බව. ඒ කියන්නේ රුපියල් බිලියන 18 ක ලාභ පදනමක්‌ මත එම කොටස්‌ තිබූ බවයි. කොටස්‌ මිල ඉහළ පහළ යාම දෛනික පදනමක්‌ මත සිදුවනවා. කොටස්‌ ගොනුවක විකුණුම් මිල නිතර වෙනස්‌ වෙනවා.

ප්‍රශ්නය - වසර 2012 සහ 2013 වර්ෂවල වාර්ෂික වාර්තා විගණකාධිපති දෙපාර්තමේන්තුව විසින් පරීක්‌ෂා කරගෙන යනු ලබන අතර 2011 වාර්ෂික වාර්තාවේ EPF ගිණුම් සම්බන්ධයෙන් විවේචනාත්මක සටහනක්‌ විගණකාධිපති විසින් තබා තිබෙන බව ආරංචියි. තමා වෙත ඉදිරිපත් කරන ගිණුම් සම්බන්ධයෙන් විගණකාධිපති හැම විටම සටහනක්‌ යොදනවා. රජයේ කිසියම් ආයතනයක කටයුතු ඉතා යහපත් ලෙස හඳුනාගෙන කිසිදු විවේචනයක්‌ නොකර සිටීමට ඔහු පියවර ගත් කිසිදු අවස්‌ථාවක්‌ නැහැ. එහෙත් ඔහු මෙවැනි සාමාන්‍ය සටහනක්‌ යොදනවා. එනම්, "පහත සඳහන් කාරණා හැරුණු විට මෙම ආයතනය ශ්‍රී ලංකාවේ ගණකාධිකරණ ප්‍රමිතින්ට සරිලන පරිදි නිසි ලෙස ගණන් තැබීම් සිදු කර ඇත." යන්නයි. මේ ප්‍රකාශය 2011 විගණකාධිපතිගේ වාර්තාවේ සඳහන් වෙනවා. 2012-2013 අවුරුදු වල විගණක වාර්තා නිකුත් කිරීමට විකගණකාධිපති දෙපාර්තමේන්තුව ප්‍රමාද වෙන්නේ ඇයි?

පිළිතුර - නීතියේ එන පරිදි EPF ගිණුම් සියල්ල සෑම වසරකම අවසන් දිනට දෙමසකට පෙර විගණකාධිපති වෙත ඉදිරිපත් කළ යුතුයි. 2012 සහ 2013 යන අවුරුදු දෙකේදිත් මහ බැංකුවේ මුදල් මණ්‌ඩලය මේ නීතියට අනුකූලව කටයුතු කර තිබෙනවා. EPF අරමුදල පැත්තෙන් ගිණුම් ඉදිරිපත් කිරීමේදී කිසිදු ප්‍රමාදයක්‌ කර නැහැ. එහෙත් විගනකාධිපති දෙපාර්තමේන්තුව පැත්තෙන් ප්‍රමාදයක්‌ තිබෙනවා. මේ අනුව 2009 EPF ගිනුම් ප්‍රකාශයට පත් කර තිබුණේ 2011 අගෝස්‌තුවේ නිකුත් වූ විගණකාධිපති වාර්තාව මගිනුයි. 2010 ගිණුම් 2012 මැයි මාසයේදී ප්‍රකාශයට පත් කර තිබුණා. 2011 ගිණුම් පිළිබඳ වාර්තාව එළියට ආවේ ගිය මාසයේ, එනම් 2014 මැයි මාසයේදී.

පරිවර්තනය -අනුර සොලමන්ස්‌

No comments:

Post a Comment