Thursday, June 12, 2014

‘උතුරුකරෙන් එන්න.. දකුණුකරෙන් එන්න..’ ගීතයේ මෙතෙක් නොකී රහස විමල් කියයි…

‘උතුරුකරෙන් එන්න.. දකුණුකරෙන් එන්න..’ ගීතයේ මෙතෙක් නොකී රහස විමල් කියයි…

‘උතුරුකරෙන් එන්න.. දකුණුකරෙන් එන්න..’ ගීතයේ මෙතෙක් නොකී රහස විමල් කියයි…

කැසිනෝවලට බදු සහන දීම ‘පුංචි බණ්ඩා චින්තනයයි’
‘මහින්ද චින්තනය’ අනුව බදු සහන දිය යුත්තේ නව කර්මාන්ත අරඹන
දේශීය ව්‍යාපාරිකයාටයි….

කැසිනෝවලට බදු සහන දීම ‘පුංචි බණ්ඩා චින්තනය’ වුවද ‘මහින්ද චින්තනය’ නිර්මාණය වූයේ මෙරට නව කර්මාන්ත අරඹන දේශීය ව්‍යාපාරිකයාට බදු සහන ලබා දීමට යැයි ජාතික නිදහස් පෙරමුණේ නායක, අමාත්‍ය විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.
පසුගිය 10 වැනිදා මහනුවර තැපැල් ශ‍්‍රවණාගාරයේ පැවැති ‘විය යුත්තේ කුමක්ද?’ යන සම්මන්ත‍්‍රණයේ ප‍්‍රධාන දේශනය පවත්වමින් විමල් වීරවංශ මහතා මෙසේ පෙන්වා දුන්නේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේද අවධාරණය කළේය.
‘2005 වසරේදී මේ රට ‘සාමය නැමැති කුමරා’ ප‍්‍රසූත කිරීමට ප‍්‍රසව වේදනාවෙන් පෙළුණා. ඒ වෙනුවෙන් වූ වින්නඹුකම කිරීමට කැපවුණු බලවේගයන් විදියට අපට වගකීමක් තිබෙනවා ඒ ඓතිහාසික ජයග‍්‍රහණයෙන් ඔබ්බට මේ රට රැගෙන යාමට.
රට හමුවේ තීරණාත්මක අභියෝග මතු වූ සෑම විටම අපි ඒවා ජයගැනීම වෙනුවෙන් අපට හැකි උපරිම අයුරින් කැප වූ බව ඔබ දන්නවා. දුර දක්නා නුවණින් යුතුව රට හමුවේ මතුවන අභියෝග ජයගත හැකි ම`ග අපි සෑමවිටම ජාතිය හමුවේ තැබුවා. 2005 ජනවරමෙන් ඇරඹි ගමන තුළ අද වන විට යටිතල පහසුකම් සංවර්ධනයක් සහිතව රට සාමකාමී වාතාවරණයකට පැමිණ තිබෙනවා. ජනාධිපතිතුමන්ගේ ම`ග පෙන්වීමෙන් රණවිරුවන්ගේ කැපවීමෙන් මේ පොළොවට ලැබුණු යුද ජයග‍්‍රහණයේ ප‍්‍රතිඵලයක් ලෙස තමයි මේ සාමකාමී වාතාවරණය ලැබී ඇත්තේ.
2005 දී පැවැති ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්‍ෂ මහතා ජයග‍්‍රහණය කරනු ලැබුවේ වැඩි ඡන්ද 180,000කින් පමණ. ඒ ජයග‍්‍රහණයට ‘රජුන් තනන බලවේග’ සම්මාදම් වුණේ නැහැ. චන්ද්‍රිකා කුමාරතුංග නෝනාගේ අතේ තිබුණු ‘එක්සත් රාජ්‍යය’ කියන සංකල්පය අත හැරලා මේ රටේ ජාතිකවාදී බලවේග අතේ තිබුණු ‘ඒකීයභාවය’ කියන සංකල්පය පිළිඅරගෙන එදා ඒ ජනාධිපතිවරණ ජනවරම දිනා ගන්න බැරි වුණා නම්, වික‍්‍රමසිංහ මහත්තයා අතට එදා බලය ගියා නම්, රට තියෙන්නේ අපි මේ කතා කරන මාතෘකා සංවාදයට ගන්නා රටක් නොවෙයි. එහෙම නම් අද අපට කතා කරන්න වෙන්නේ ‘දෙකට බෙදුණු රට එකට එකතු කිරීම’ පිළිබඳව. අපට එදා මේ රට හමුවේ තිබුණු ‘බෙදා වෙන් කිරීම් කියන තර්ජනයෙන්’ ගැලවෙන්න හැකි වුණා. ඒ ප‍්‍රබල ජනවරම ගොඩනගන්න අපට දායක වෙන්න පුළුවන් වුණා.
මහා සමාජ සංවාදයක් ඇතුළෙයි 2005 ජනාධිපතිවරණ වැඩපිළිවෙළ හැදුණේ. මහින්ද රාජපක්‍ෂ අගමැතිතුමාට තිබුණේ ඒ සමාජ සංවාදයේ තමන්ට අදාළ ස්ථානයේ හිට ගැනීම පමණයි. එතුමා හරි තැන හිටගත්තා. එමතින්ම ජයග‍්‍රහණය ලබා ගත්තා. 2005 ජනාධිපතිවරණයට කලින් සමය කියන්නේ මහා සමාජ කතිකාවතක් තුළින් මතු වූ නිවැරදි ස්ථාවරය මත ජනාධිපතිතුමන් හිට ගැනීමක්. 1956 බණ්ඩාරනායක අගමැතිතුමා කළෙත් ඒක. ඔහු බටහිර සිට ආවා. ටයි කෝට් ගැලෙව්වා. ජාතික ඇඳුමට බැස්සා. ඒ වන විට ජාතික බලවේග විසින් ගොඩන`ගා තිබූ නිවැරදි සමාජ මතවාදය හා හිට ගත්තා. 1956 පෙරළියෙන් මේ සමාජයට විවිධ ජයග‍්‍රහණ ගෙනාවා. ඒ අනුව 1956දී හා 2005දී සමාජය තුළ ගොඩනැ`ගුණු ගැඹුරු සමාජ කථිකාවන් මගින් බිහි වන ජාතිකවාදී බලවේගයන් සමග සිටගත් නායකයන් ජයග‍්‍රහණය කළා වගේම රටට ජයග‍්‍රහණත් ලබා දුන්නා. නමුත් 2010 ජනාධිපතිවරණයට පෙර මෙවැනි මහා සමාජ කතිකාවක් නිර්මාණය වූයේ නැහැ. යුද ජයග‍්‍රහණයේ ආශ්වාදයෙන් මුළුමහත් රටම ප‍්‍රමෝදයට පත්වී සිටි නිසා එවැනි කතිකාවතක් නිර්මාණය වීමට වටපිටාවක් ද තිබුණේ නැහැ. එම ප‍්‍රමෝදය විසින් 2010 ජනාධිපතිවරණයෙන් වැඩි ඡුන්ද 18 ලක්‍ෂයක ජයක් ලැබුණා.
නමුත් යුද ජයග‍්‍රහණයේ ප‍්‍රමෝදය විසින් අත්‍යවශ්‍ය සමාජ සාකච්ඡවකට තිබුණු ඉඩකඩ අහුරා තිබුණා. ඒ නිසා පුළුල් සමාජ කතිකාවතක් තුළ ගොඩනැගන්න  ඕන ගමනක්, සිමිත සංවාදයක් තුළ ගොඩනැ`ගුණා. ඒ අනුව 2010 ජනවරම පුළුල් සමාජ කතිකාවතක් තුළ ගොඩනැගුණු තර්කානුකූල ප‍්‍රතිඵලයක් නොවෙයි. ‘දිනාගත් සාමය ඇතුළේ මව්බිම ගොඩනැගිය යුත්තේ කෙසේද? ‘ප‍්‍රමුඛතා ලැයිස්තුව කුමක්ද? උපක‍්‍රම මොනවාද?’ යන මහා කතිකාව තුළ පෝෂණය වුණු ජනවරමක් නොවෙයි එදා 2010 ජනවරම. මම මේ කරුණු පෙන්වා දෙන්නේ, විවේචනයක් හැටියට නොවෙයි, තේරුම් ගත යුතු කරුණක් විදියට.
එදා ‘මහින්ද චින්තන ඉදිරි දැක්ම’ කියා වැඩපිළිවෙළක් සකස් වුණා තමයි. නමුත් කොටි ත‍්‍රස්තවාදය පැරදවීමේ යුද්ධයට වගේ මහා මෙහෙයුමක්, නව ශ‍්‍රී ලංකාව ගොඩනැ`ගීමේ යුද්ධය වෙනුවෙන් දියත් වුණේ නැහැ. ඒක කිහිප දෙනකුගේ අදහස් උදහස් මත තීරණය වන කාරණයක් බවට පත් වුණා. ත‍්‍රස්තවාදය පැරදවීමේ සටනත් ජනාධිපතිතුමාගේ, ආරක්‍ෂක ලේකම්වරයාගේ සහ ත‍්‍රිවිධ හමුදාපතිවරුන්ගේ ඇතුළු සීමිත පිරිසකගේ අදහස් උදහස් මත පමණක් ක‍්‍රියාත්මක වුණා නම් ඒ මහා ජයග‍්‍රහණය ලබා ගැනීම දුෂ්කරයි. ඒකට මුළුමහත් සමාජයේම සහයෝගය අදහස්, උදහස් ලබාගත්තා. අවසානයේ කොටි පැරදවීමේ සටන සමාජය සමග බද්ධ වූ මහා සමාජ ක‍්‍රියාදාමයක් බව පෙරළුණා.
අපි කැමති වුණත් නැතත් මේ නූතන ශ‍්‍රී ලංකාව ජේ. ආර්. ජයවර්ධනගේ නිර්මාණයක්. 1978 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව තමයි පාර්ලිමේන්තු මැතිවරණයට කේවල ක‍්‍රමය වෙනුවට සමානුපාතික ක‍්‍රමය ආවේ. එමගින් තමයි, එහාට මෙහාට පනින පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු පිරිසක් හැදුවේ. පනින අය තියා ගන්න ඇමතිකම් ලබා දෙන්න සිදු වුණා. 1977ට පෙර එහෙම සම්ප‍්‍රදායක් තිබුණේ නැහැ. අපි යළිත් සම්පූර්ණයෙන් බැරි වුණත් කේවල හා සමානුපාතික ක‍්‍රම දෙකෙහි මිශ‍්‍ර මැතිවරණ ක‍්‍රමයක් ගෙනවිත් අතුරු මැතිවරණ ක‍්‍රමයක් සහිතව ස්ථාවර පාර්ලිමේන්තුවක් හැදිය යුතුයි. ඒ විදියට මේ ජේ. ආර්. ජයවර්ධන ගෙන ආ ව්‍යවස්ථාවේ තිබෙන හිල් වැසිය යුතුයි. මැතිවරණ ක‍්‍රමය එක උදාහරණයක් විතරයි. ජේ. ආර්. ගොඩන`ගපු රාජ්‍යයේ තියෙනවා මේ විදියට කැපිය යුතු කොඩිවින ගණනාවක්. ‘යුද්ධය’ නම් කොඩිවිනය නම් බොහොම අමාරුවෙන් කැපුවා.
ජයවර්ධන පාලන සමයේ ඉඳලා මේ රටේ ආර්ථිකය ඉදිරියට යන්නේ එක මූලික අදහසක සිට. ‘රජය යටිතල පහසුකම් සංවර්ධනය කරනවා. පෞද්ගලික අංශය ආයෝජනය කරනවා. ඒ අනුව රැකියා උත්පාදනය වෙනවා. ඒ ආයෝජනවලින් අතපල්ලෙන් වැටෙන ටිකක් දුප්පතාටත් ලැබෙනවා. එමගින් ආර්ථිකය වර්ධනය වෙනවා’ කියන එකයි ඒ අදහස. ආර්ථික වර්ධනය වේගවත් වෙන්න නම් රාජ්‍යය වැඩි වැඩියෙන් යටිතල පහසුකම් සංවර්ධනය කරන්න  ඕනෙ. මේක තමයි මේ අර්ථකරණයේ තිබෙන මූලික අදහස, මූලික සූත‍්‍රය. ඒකනේ සෑම ආණ්ඩුවක් යටතේම යටිතල පහසුකම් සංවර්ධනයට විශාල ණය මුදල් ගන්නේ, ඒ නිසානේ ණය දෙන ආයතන කර්මාන්ත සංවර්ධනයට නොදෙන ණය යටිතල පහසුකම් සංවර්ධනයට ලබා දෙන්නේ.
ඒ අනුව ආර්ථික ක‍්‍රියාදාමය සම්පූර්ණයෙන්ම යටිතල පහසුකම් සංවර්ධනයට ඌනනය වූ ක‍්‍රියාදාමයක් බවට පත් වී තිබෙනවා. මොනරාගල සම්මන්ත‍්‍රණයට මා ගියාම එතැනදී  කියවුණා, ‘1818 දී සුද්දා කඩපු වැව් තවම හදලා නැහැ’ කියලා. වැව හැදුවා නම් ගම රැකෙනවා, ගමේ වගාව සරු වෙනවා. ගමේ මිනිසාගේ අතමිට සරු වෙනවා. වැව කියන්නේ ඍජු නිෂ්පාදන ක‍්‍රියාදාමයට පණ දෙන යටිතල පහසුකමක්. වැව ප‍්‍රතිසංස්කරණය කියන්නේ සෘජු නිෂ්පාදන ක‍්‍රියාදාමයට පණ දීමක්. නමුත් පාරක් ප‍්‍රතිසංස්කරණය කළාම ගමේ ආර්ථිකයට ප‍්‍රතිලාභ එන්නේ වක‍්‍රාකාරව. වැව හැදුවොත් කෙලින්ම ප‍්‍රතිලාභය ගමට. නමුත් වත්මන් ආර්ථික න්‍යාය පත‍්‍රය තුළ එවැනි දේට ප‍්‍රමුඛතාව ලැබී නැහැ. ප‍්‍රමුඛතාව ලැබෙන්නේ යටිතල පහසුකම් සංවර්ධනයට. අපි කියන්නේ නැහැ, යටිතල පහසුකම් සංවර්ධනය අනවශ්‍යයි කියලා.
රාජ්‍ය අංශය ශක්තිමත් කිරීමට මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමන් කටයුතු කළ බව ඇත්ත. එතැනදී පමණක් මේ ආණ්ඩුව අර මූලික සූත‍්‍රය සමග ගැටෙනවා. නමුත් රාජ්‍ය අංශය ප‍්‍රසාරණය කිරීම මගින් පමණක් මේ රට ගොඩනගන්න බැහැ. ගමේ පළතුරු ගෙඩියට, කොස් මදුලට, ගමේ තිබෙන කවර හෝ කෘෂිකාර්මික නිෂ්පාදනයට මිලක් ලැබෙන කර්මාන්තශාලා ඇති වන අන්දමේ ගමනක් අපි නිර්මාණය කළ යුතුයි. අපි ඇතැම් විට හිතන්න පුළුවන් තායිලන්තය ආදායම් ලබන්නේ ඒ රටේ දැරියෝ විවෘත වෙළඳපොළේ අලෙවි කරලා කියලා. නැහැ. ඔවුන් සියලූ කෘෂිකාර්මික නිෂ්පාදන කල්තබා ගත හැකි ලෙස සකසා වෙළඳපොළට එවනවා. තැඹිලි වතුර ටිකත් ටින් කරලා වෙළඳපොළට එවනවා. මම මේ ළගදී මහා සංඝරත්නයට පූජා කිරීමට ගත් පළතුරු වට්ටියක් පරීක්‍ෂා කළ විට දැක්කේ, වට්ටියේ අපේ පළතුරු ලෙස තිබුණේ අන්නාසි ගෙඩියක් සහ කෙසෙල් ගෙඩි පමණක් බවයි. අපිට මහා පරිමාණ නිෂ්පාදන කරන්න බැරි වේවි. නමුත් කළ හැකි දේ පවා අපි කරන්නේ නැහැ.
මහ බැංකු වාර්තා අනුව මේ රටේ 40%කගේ දෛනික ආදායම ඩොලර් 02යි. රුපියල්වලින් බැලූවොත් රුපියල් 260යි. මම දැක්කා ‘පුංචි බණ්ඩා’ කියා තියෙනවා 2014 දී ශ‍්‍රී ලංකාවේ ඒක පුද්ගල ආදායම ඩොලර් 4000 වෙනවා කියලා. මේකට තමයි කියන්නේ ‘මායාකාරී සංඛ්‍යා ලේඛනවලින් ඇස් නිලංකාර කිරීම’ කියලා. ගණන හරි. නමුත් බෙදී යාමේ විෂමතාව තවත් වැඩි වෙනවා. මහනුවර ගුණපාල අයියා ගාව රුපියල් 100ක් තියෙන කොට හැරී ජයවර්ධන ළ`ග තිබෙනවා බිලියන ගණනක්. ඒක පුද්ගල ආදායම ඩොලර් 4000 වුණාට පතුලේ ඉන්න අර 40%ට ආදායම වැඩි වන්නේ නැහැ.
එක්සත් ජාතීන්ගේ සංවිධානයත් පිළිගෙන තිබෙනවා අපේ ජනතාව ගම අතහැර අගනගරයට සංක‍්‍රමණය වීමේ ප‍්‍රවණතාව අඩුයි කියලා. ඒකට හේතුව නගරයේ සියල්ල ගමේ තිබීමද? නැහැ. ගමේ මිනිහා අඩු වේගයකින් නගරයට යෑමේ රහස තමයි, ගමේ තිබෙන නිෂ්පාදන ජීවිතය. කුඹුර, හේන තියෙනවා. ඒක නැති වුණොත් තමයි, ‘ආරක්‍ෂක නියාමක’ රැකියාව හොයා ගෙන නගරයට එන්නේ. මේ විභවයට ගැලපෙන කර්මාන්ත ප‍්‍රතිපත්තියක්, ආයෝජන ප‍්‍රතිපත්තියක් හදන්න  ඕනෙ. එහෙම ප‍්‍රතිපත්තියක් තුළ රට ඉදිරියට ගියොත් තමයි අපට මේ හැදෙන පාර ගැන සතුටු වෙන්න පුළුවන් වෙන්නෙ.
ණය ආයෝජන ලෙස පිටරටවලින් ලැබෙන මුදලින් මුලදී 40%ක් යන්ත‍්‍ර සූත‍්‍ර, අමුද්‍රව්‍ය සඳහා කියලා යළිත් ඒ රටටම ගියා. මේ රට තුළ රැඳුණේ 60%ක් පමණ. නමුත් චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ පාලන කාලයේ සිට ඒ තත්ත්වය තවදුරටත් වෙනස් වුණා. දැන් ශ‍්‍රී ලංකාවට ණය ආයෝජන ලෙස පිටරටවලින් ලැබෙන මුදලින් මේ රට තුළ 30%ක් සංසරණය වන විට යළිත් ඒ රටවලට යන මුදල 70%ක් පමණ වී තිබෙනවා.
අපි ආර්ථික වර්ධන වේගයක් අත්පත් කර ගෙන ඇත්තේ, එක පැත්තකින් යුද්ධය අවසන් කළ නිසා යුදමය වාතාවරණය පැවැති ප‍්‍රදේශවලත් මේ වන විට කෘෂි නිෂ්පාදන කටයුතු සිදු වන නිසා. අනෙක් පැත්තෙන් අසීමිතව ණය ආයෝජන ලබා ගන්නා නිසා. ණය ගන්නා තරමට ඒ මුදලින් කොටසක් අපේ රට තුළ සංසරණය වෙනවානේ. අපි මේ විදිහේ ආර්ථික වර්ධනයක් අත්පත් කරගෙන අද උදම් අනනවා, ‘චීනයට විතරයි අපි දෙවැනි වන්නේ’ කියා. චීනය විශාල කැපවීමක් කරලා තමයි සැබෑ ආර්ථික වර්ධන වේගයක් අත්පත් කර ගත්තේ.
‘අද’ පත්තරයේ මුල් පිටුවේ තිබුණා, පුංචි බණ්ඩා මුදල් අමාත්‍යාංශයේ සාකච්ඡවකදී පැවසූ බව කියන කතාවක්. ‘මම නැතිව පුළුවන්නම් මාස 06ක් කරලා පෙන්වන්න’ කියලයි ඔහු එහිදී පවසා තිබුණේ. මේ ප‍්‍රවෘත්තිය මෙතෙක් ඔහු ප‍්‍රතික්‍ෂේප කර නැහැ. ඒ නිසා සත්‍ය බව අපට පිළිගන්න වෙනවා. ‘මට  ඕනෙම වෙලාවක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ රස්සාව තිබෙනවා. මම මේ ඉන්නේ ජනාධිපතිතුමාට උදව් කරන්න’ කියලයි ඔහු එහිදී පවසා තිබුණේ. ආර්ථික වර්ධන වේගය 7%ට වඩා වැඩි නම්, අපි චීනයට විතර නම් දෙවැනි වන්නේ, ඒක පුද්ගල ආදායම වැඩි වෙනවා නම් හැම දෙයක්ම හොඳ මට්ටමකට ගෙන ආවා නම් ඔහු කියන්න  ඕනෙ, ‘මගෙන් පස්සේ  ඕන කෙනෙකුට ප‍්‍රශ්නයක් නැහැ, මේක කරගෙන යන්න පුළුවන්’ කියලා. කෙනෙක් නැහැ කියලා ඒ රටේ ආර්ථිකය වැටෙනවා නම් ඒක සවිමත් ආර්ථිකයක්ද? ‘මම ඉන්නේ ජනාධිපතිතුමාට උදව්වට’ කියන එක නම් බොරු. ඒක මෙහෙම වෙනස් වෙන්න  ඕනෙ. ‘මට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජොබ් එක තියෙනවා. දැනටත් මම කරන්නේ ඒ ජොබ් එක.’ ‘චන්ද්‍රිකාගෙ ආණ්ඩුව සෘණ කළා පී. බී. ජයසුන්දර. භාණ්ඩාගාරය හිස් කළා මුදල් ඇමතිනියි, මහා භාණ්ඩාගාර ලේකමුයි. ඒ හින්දා මේකෙ ඉන්නෙ බැහැ’ කියලා එස්. බී. දිසානායකලා පරිවාසය ගැහුවාට පසුව ආණ්ඩුවෙන් යන්න ගියා. අද එස්. බී. ඇමතිතුමා ‘පුංචි බණ්ඩා’ වෙනුවෙන් ‘කඬේ ගියාට’, ඒ දවස්වල ‘පුංචි බණ්ඩාගේ’ බෙල්ලෙන් අල්ලලා ගහන්න ගියා ‘ආර්ථිකය සෘණ කළා’ කියලා. චන්ද්‍රිකාගේ පාලන කාලයේ ආර්ථිකය සෘණ කරපු නිසා, රනිල්ගෙන් පී. බී. ට ලැබුණා පර්ක් ආයතනයේ සභාපතිකම.
මට මේ ළගදී දවසක මහත්මයකු හමු වුණා. ඔහු වැව් මාළු ටින් කරලා පිටරට යවනවා. එයාට දැන් මේ වැඬේට වැව් මාළු මදි. එයාට ඒක එතැනින් එහාට ප‍්‍රසාරණය කර ගන්න බැහැ. එයාට අවශ්‍ය සහයෝගය දෙන්න ආයතනයක් තිබෙනවාද? නැහැ. මේ රටට ඒ අස්සේ සැමන් ටින් තොග පිටින් එනවා. එවැනි මහා නිෂ්පාදන විභවයක් තියෙන පිරිසක් මේ රටේ ඉන්නවා. ඔවුන්ටයි බදු සහන දිය යුත්තේ. කැසිනෝවලට බදු සහන දීමට නොවෙයි, මහින්ද චින්තනය හැදුවේ. ඒක ‘පුංචි බණ්ඩා චින්තනය’ වෙන්න ඇති. ‘පුංචි බණ්ඩා චින්තනය’ අනුව කැසිනෝවලට දෙන්නේ බදු සහන. මහින්ද චින්තනය අනුව බදු සහන දිය යුත්තේ දේශීය ව්‍යාපාරිකයාට නව කර්මාන්ත පරපුරක් නිර්මාණය කිරීමටයි.
දැන් අපි පාරක් හදාගෙන, වරාය සහ ගුවන් තොටුපළක් හදා ගෙන බලාගෙන ඉන්නවා. නමුත් නිෂ්පාදන එන්නේ නැහැ, පාර දිගේ. කොතැනක හරි පරස්පරයක් නැද්ද? මේක තමයි නිවැරදි කළ යුත්තේ. සමාජ පත්ලේ සිටින මිනිසා ළගට ආර්ථික ප‍්‍රතිලාභ ගලාගෙන යන ක‍්‍රමවේදයන් සෑදිය යුතුයි. ඒකට නිෂ්පාදන සංස්කෘතියක් හඹා ගෙන යන ජාතියක් ගොඩනගන්න  ඕනෙ. අධ්‍යාපනය මුළුමනින්ම එදෙසට යොමු කරන්න  ඕනෙ. තරුණ දරුවන්ට විෂය අධ්‍යාපනය අබිබවා යන චින්තන ශක්තියක්, නිර්මාණාත්මක දැනුමක් ලබා දිය යුතුයි.
රාජ්‍යය නැවත ගොඩනැංවීමේ ක‍්‍රියාවලියේ ආර්ථික අභියෝගය අංක එක. දේශපාලන, සමාජ, සංස්කෘතික ප‍්‍රතිසංස්කරණ ඇති කිරීම ඊට යටින් තිබෙනවා. මේ ඔක්කොම අතට ගත්තු න්‍යාය පත‍්‍රයක් අද අපට  ඕනෙ. ඒ අනුව තමයි මේ රටේ ඉදිරි ගමන තීරණය කරන්න  ඕනෙ. එහෙම නොකළොත් මොකද වෙන්නේ?
දැන් බටහිර බලවේග බලාගෙන ඉන්නවා පාලනතන්ත‍්‍රයේ වෙනසක්, ‘රෙජීම් චේන්ජ්’ එකක් කරන්න. ඔවුන්ට  ඕනෙ, යුද්ධ කරලා සාමය රැගෙන ආපු, බෙදුම්වාදය පරදවපු මේ ආණ්ඩුව වෙනුවට වෙනත් ආණ්ඩුවක් බලයට රැගෙන ඒමට. ඒ සඳහා ඔවුන් ඊළග ජනාධිපතිවරණය පාවිච්චි කිරීම ස්ථිරයි. අමතක කරන්න එපා, 2010 කියන්නේ යුද්ධය දිනුවාට පසුව පැවැති පළමු ජනාධිපතිවරණය වුණාට සාමය හොඳින්ම ස්ථාපිත වෙලා තිබුණේ නැහැ. එළඹෙන ජනාධිපතිවරණය තමයි සාමය ස්ථාපිත වුණාට පසුව පවත්වන පළමු ජනාධිපතිවරණය. ඊළග ජනාධිපතිවරණය තානාපති කාර්යාල ඇතුළු මේ වටා ඉන්න කල්ලි කණ්ඩායම් සියල්ල එකතු වෙලා කෝටි, ප‍්‍රකෝටි ගණනින් මුදල් පොම්ප කරන ජනාධිපතිවරණයක් බවට පත් කරනවා.
ඉන්දියාවේ මෝඩිගේ පැමිණීමත් ලංකාවට සුවදායක වන්නේ නැහැ. බී. ජේ. පී. පාලනයක් නම් යුද්ධය අවසන් දිනවල පැවතියේ ශ‍්‍රී ලංකාවට එල්ලවන බලපෑම වැඩියි. නමුත් කොංග‍්‍රස් පාලනයකින් ආවෙ මෘදු බලපෑම්. ඒ අනුව මේ බී. ජේ. පී. පාලනයත් මේ ‘රෙජීම් චේන්ජ්’ එකට 100%ක් අනුකූලයි. ජයලලිතා නෝනා, දෙමළ ඊළමක් ලංකාවෙ පිහිටුවන්න දෙමළ ජනතාවගේ සහ විදෙස්ගත දෙමළ ජනතාවගේ ‘ජනමත විචාරණයක් පවත්වන්න  ඕනෙ’ කියලා මෝඩිගේ ආණ්ඩුවට යෝජනා කරනවා. මෝඩිගෙ නම තියෙන්න තිබුණෙ ජයලලිතාට. අද එල්. ටී. ටී. ඊ. ය නැති වුණත් ඒහා සම්බන්ධ දේශපාලන බලවේග බලවත්ව සිටිනවා. ඒ නිසා ඔවුනට උවමනා ආණ්ඩුවේ තිබෙන දුබලතා පාවිච්චි කරලා ඔවුනට අවශ්‍ය අරමුණ ඉටුකර ගන්න.
මේ අන්තර්ජාතික බලවේගවලට  ඕනෙ, ජනාධිපතිතුමන් හා ආරක්‍ෂක ලේකම්වරයා දවසකට හෝ ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණයට රැගෙන යන්න. ඔවුන් ඒක ලෝකයට පෙනෙන්න කරනවා. ඒක තමයි ඔවුන්ගේ මූලික අවශ්‍යතාව. ඒ වගේම ඔවුනට  ඕනෙ පැරදුණු බෙදුම්වාදය, දිනවන්න පුළුවන් පාලනතන්ත‍්‍රයක් මේ රටේ හදන්න. මේ ආණ්ඩුවේ ආර්ථික ගමනේ කවර දුබලතා තිබුණත්, මේක බෙදුම්වාදයට යළි හිස ඔසවන්න ඉඩ දෙන ආණ්ඩුවක් නොවෙයි.
එදා ජේ. ආර්. ජයවර්ධන පාලනය දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකුට දුන්නා ස්වදේශ කටයුතු අමාත්‍ය ධුරය. එයා නැගනහිර පළාතේ සිතියම අලූතෙන් ඇන්දා. ඒක ජයවර්ධන ජනාධිපතිතුමාගේ අනුශාසකත්වයෙන් ඔහු සිදු කළා. ඒ වගේම උතුරු වෙරළ තීරයේ ආරක්‍ෂාව ඉවත් කළා, ඊළ`ගට දකුණු ඉන්දියාව යුද පුහුණුව සඳහා දෙමළ තරුණයන්ට. ඉඩකඩ හදලා දුන්නා. දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ දුන්නු ලයිස්තුවක් අනුව තානාපතිවරු පත්කර හැරියා. ඔවුන් දෙමළ ඊළාම් මතවාදය පිළිගන්නා අය. ඔවුන්, ‘දෙමළ ඊළාම් අරගලය සාධාරණයි’ කියන මතය ලොව පුරා රැගෙන ගියා. මේ විදියට බෙදුම්වාදයට ජේ. ආර්. ජයවර්ධන මහත්තයා උදව් කළා වගේම 1983 කළු ජූලිය ඇති කරලා වේළුපිල්ලේ පිරබාහරන්ට ‘මරාගෙන මැරෙන භටයන්’ හදා ගන්න අවශ්‍ය වාතාවරණයද හදලා දුන්නා. දෙමළ ඩයස්පෝරාවට ලෝකය පුරා ව්‍යාප්ත වීමට ඉඩකඩ හදලා දුන්නා. කළු ජූලියෙන් පසුව කුඩා කණ්ඩායමත් ලෙස සිටි කොටි සංවිධානය දැවැන්ත ලෙස නැගී සිටියා. මේ තමයි ජේ. ආර්. ජයවර්ධන සෘජු හා වක‍්‍රව බෙදුම්වාදයට උදව් දුන් ආකාරය.
ඒ වගේ බෙදුම්වාදයට උදව් කරන ආණ්ඩුවක් හදන්න අද බටහිරට උවමනායි, ඒ ආණ්ඩුව හදන්න, ඊළග ජනාධිපතිවරණයේ සිටම ඔවුන් උපරිම වෙර දරනවා. එහිදී රනිල් වික‍්‍රමසිංහට උතුරු නැගනහිර දෙමළ ඡුන්ද ටික ලබා දීමට දෙමළ ජාතික සන්ධානය කටයුතු කරාවි. ‘මුස්ලිම් ජනතාවට බොදු බල සේනා ඇතුළු සේනාවලින් සිදු වන හිරිහැර නිසා නැගනහිර මුස්ලිම් ඡුන්ද ටික ආණ්ඩුවට දෙන්න එපා’ කියලා මුස්ලිම් කොංග‍්‍රසයත් කියාවි. ඒ විතරක් නොවෙයි ඊළග ජනාධිපතිවරණයේදී දෙමළ හා මුස්ලිම් ඡන්දදායකයාගේ ඡුන්ද දැමීමේ ප‍්‍රතිශතය ඉහළ නැංවීමේ මහා මෙහෙයුමක්ද ක‍්‍රියාත්මක වෙනවා. ඒ විදියට දෙමළ ඡුන්ද හා මුස්ලිම් ඡන්ද ලබා ගන්න ගමන් ඉන්දියාවේ බලපෑමෙන් දිගම්බරන් හෝ තොන්ඩමන් මහත්වරුන් ආණ්ඩුවට විරුද්ධව යොදා ගන්නත් සැලසුම් තිබෙනවා. එවැනි තත්ත්වයක් තුළ ඊළග ජනාධිපතිවරණයේ ජයග‍්‍රහණය රඳා පවතින්නේ සිංහල ඡුන්දදායකයාගේ ඡන්දය මත. ඒක තමයි ඇත්ත. ජයග‍්‍රහණය කරන්න අවශ්‍ය 50%කුත් එක ඡන්දයක් නම්, ඒක ගන්න වෙන්නෙ සිංහල ඡන්දදායකයාගෙන් මිස අන් අයකුගෙන් නොවෙයි.
සිංහල ඡුන්දදායකයාට තමයි ආණ්ඩුවේ ක‍්‍රියාකාරීත්වය පිළිබඳ විවේචන තියෙන්නෙ. පාවෙන ඡුන්ද තියෙන්නෙත් සිංහල ඡුන්දදායකයාට. දෙමළ, මුස්ලිම් ඡුන්ද බොහෝ විට පාවෙන ඡුන්ද නොවෙයි. ‘නූතන රාජ්‍යය ගොඩනැගීම සඳහා අවශ්‍ය පියවර ගෙන නොමැත’ කියන විවේචනය ආණ්ඩුවට ඉදිරිපත් කරන්නේ මේ සිංහල ඡන්දදායකයා. ඒ නිසා ඒවාට ඇහුම්කන් දීලා වෙනස් වෙන්න ආණ්ඩුව සූදානම් විය යුතුයි.
රනිල් වික‍්‍රමසිංහ මහත්තයා ගණන් හදන්නේ, ‘දෙමළ ඡන්දවලින් 75%ක් ලැබුණොත් මට මෙච්චරයි. මුස්ලිම් ඡුන්දවලින් 75%ක් ලැබුණොත් මට මෙච්චරයි. දිගම්බරන් හරි තොන්ඩමන් හරි ගත්තොත් මට එතැනින් මෙච්චරයි. මම නොවෙයි, මොන පඹයා ඉල්ලූවත් ලැබෙන එජාප ඡන්ද මෙච්චරයි. තව මදි පාඩුව තියෙන්නේ ලක්‍ෂ 5 – 6ක් විතර. ඒකෙන් ලක්‍ෂ 2 – 3ක් කඩන්න කොන්ත‍්‍රාත් එක දෙනවා අනුරට. ඉතිරි ලක්‍ෂ දෙකෙන් එකට වඩා මම ගත්තාම මගේ වැඬේ ගොඩ’ කියලයි. මේක හිනාවට කාරණයක් නොවෙයි, මේක තමයි වික‍්‍රමසිංහ මහත්තයාගේ ගණන් සාස්තරය.
දැන් ශ‍්‍රී ලංකාවේ සිදු වූවා යැයි කියන යුද අපරාධ පිළිබඳව සොයන්න පරීක්‍ෂණ කණ්ඩායමක් දාලා. ඒ කණ්ඩායමේ එක නෝනා කෙනෙක්, සුඩානයේ සිදු වූවා යැයි කියන යුද අපරාධ ගැන සොයන්න ගිහිල්ලා පක්‍ෂග‍්‍රාහී යැයි කියලා අන්තිමට එම පරීක්‍ෂණයෙන් ඉවත් කළ කෙනෙක්. ජෝර්දාන කුමාරයකු ගැනත් කියනවානේ. එයා තමන්ගේ රටේ හමුදාවට විරුද්ධව වාර්තාවක් සකසලා දුන්නු කෙනෙක්. එයා තමයි ‘පිල්ලේ’ නෝනාට පස්සේ මානව හිමිකම් කොමසාරිස් පුටුවට එන්න ඉන්නේ. තව නියම චරිත ටිකක් මේ කණ්ඩායමට ඇතුළත්. ඒ කණ්ඩායම ළගදීම ශ‍්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි. දැන් ආණ්ඩුව මේ ප‍්‍රශ්නය පාර්ලිමේන්තුවේ සාකච්ඡුා කිරීමට සූදානමින් ඉන්නවා. අද(10* සවස 05:00ට සන්ධාන පක්‍ෂ නායකයන්ගේ සාකච්ඡුාවක් තියෙනවා කොළඹ. ඒකට අපේ පක්‍ෂයේ නියෝජිතයන් සහභාගී වෙනවා. ‘මේ පරීක්‍ෂණ කණ්ඩායමට එන්න දෙනවාද? නැද්ද?’ ආවා, නාවා කියලා ඔවුන් දෙන තීන්දුවේ වෙනසක් වෙන්නේ නැහැ. ආවොත් උන්නැහැලාගේ තීන්දුව ටිකක් ලස්සන වෙනවා. නාවොත් ඒකපාක්‍ෂික විමර්ශනයක් කියන තැනට චෝදනාව යොමු වෙනවා.
පසුගියදා පුවත්පත්වල තිබුණා ට‍්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් රාජ්‍ය නොවන සංවිධානයේ නීතිඥ වැලිඅමුණලා හලාවත හෝටලයක මේ පරීක්‍ෂණ කණ්ඩායම හමුවේ සාක්‍ෂි දීමට උතුරේ පිරිස්වලට පුහුණුව ලබා දෙන බව. ‘කොහොමද බොරු ඇත්ත විදියට කියන්නේ’ කියලයි. මෙතැනදී උගන්වන්නේ. ‘යුද අපරාධ සිදු වුණා’ කියලා කියන්නයි මේ උගන්වන්නේ.
හතුරු බලවේග සූදානම් වන්නේ දෙමළ ජාතික සන්ධානය සහ මුස්ලිම් කොංග‍්‍රසය එකට එකතු වෙලා නටවන පාර්ලිමේන්තුවක් හදන්න. ඔවුන්ගේ පදයට නටන රූකඩ ආණ්ඩුවක් හදන්න, ඊළග ජනාධිපතිවරණයට කලින් නැගනහිර පළාත් සභාවේ බලය දෙමළ ජාතික සන්ධානයේ සහ මුස්ලිම් කොංග‍්‍රසයේ ඒකාබද්ධ පාලනයකට නතු කර ගනීවි. මධ්‍යම පළාත් සභාව තොන්ඩමන් මහතාගේ සහායෙන් පෙරළන්න බලාවි. ඒ විතරක් නොවෙයි වැඩි ඡුන්ද තුනක් තිබෙන බස්නාහිර පළාත් සභාවේ බලයත් ‘සල්ලි පොම්ප’ කරලා මන්ත‍්‍රීවරු කිහිප දෙනෙක් මිලදී ගෙන ලබා ගනීවි. මේ විදියට ‘පළාත් සභාවල බලය ගිලිහී යනවා, ආණ්ඩුව දැන් වැටෙන්නයි යන්නේ’ කියන මතය හදලා තමයි ඔවුන් ඊළග ජනාධිපතිවරණයට එන්න සූදානම් වන්නේ.
ඒ සතුරු කල්ලියේ අභිලාෂයන් ඉටුකර දීමට අපට උවමනා නැහැ. නමුත් තමන්ට එල්ලවන සාධාරණ  විවේචනයන්ට ඇහුම්කන් නොදීමෙන්, නිෂ්පාදනයට පණ පොවන ආර්ථික උපායමාර්ගයකට යොමු නොවීමෙන් ආණ්ඩුව දැන හෝ නොදැන මේ කරන්නේ ඉහත සතුරු බලවේගවලට ජයග‍්‍රහණය සඳහා සහයෝගය පළ කිරීමක්. අපි මේ කරන්නේ, ආණ්ඩුවට තේ බි බී කියන දේ නොතේරෙන හින්දා ‘අයිස් මල්ලකින්’ ඔළුවට ගහලා තේරෙන විදියට ඒ දේ කියන එකයි. අපි පසුගිය මැයි 05 වැනිදා අපේ සමුළුවෙන් කළේ ඒ දෙයයි. එහෙම ගැහුවාම ප‍්‍රතිචාර දෙකක් ලැබෙන්න පුළුවන්. එකක් තමයි, අනෙක් පැත්ත හැරිලා අපට ගහන එක. ඊළ`ග එක තමයි, ‘මොකද මට හිටි ගමන් ගහන්නේ?’ කියලා අහන එක. ආන්න ඒ ප‍්‍රශ්නය අහගන්න  ඕනෙ. ‘මේකයි ගැහුවේ. මෙහෙම ගියොත් ගමනක් නැහැ. වෙනස් වෙන්න’ කියලා අපට එතකොටනේ පැහැදිලි කරලා දෙන්න පුළුවන් වෙන්නේ.
සමුළුවෙන් පසුව ජනාධිපතිතුමන් අපට එන්න කීවා, පළමු සාකච්ඡව පැවැත්වූවා. එහිදී අපි පැහැදිලි කළා, ‘ජනාධිපතිතුමනි, මෙන්න තත්ත්වය. මේකයි අපි ඉදිරිපිට තිබෙන අභියෝගය. මේකට අනුව හිට ගන්න වෙනවා. නැතිනම් ගමන කෙළවර වෙන්න හොඳ තැනකින් නොවෙයි’ කියලා. එවැනි ප‍්‍රවේශයකින් පැවසුවාමනේ බැ?රුම් විදියට ඇහුම්කන් දෙන්නේ. මම මහනුවරට එනවිට දෙවන සාකච්ඡුාව රාත‍්‍රී 08:00ට දාන්න සූදානම් වුණා. අපි පැවසුවා, ‘ඒ වෙලාවට අපහසුයි’ කියලා. ඒ අනුව ජනාධිපතිතුමාගේ බොලීවියානු සංචාරයෙන් පසුව ඒ දෙවන සාකච්ඡව පැවැත්වේවි.
දැන් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් මේ පිළිබඳව සාකච්ඡ කරන්න කණ්ඩායමකුත් පත් කර තිබෙනවා. ඇත්තෙන්ම අපි මේ යෝජනාවලිය භාර දුන්නේ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයට නොවෙයි ජනාධිපතිතුමාට. ජනාධිපතිතුමා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නායකයා හින්දා ඒ පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයන්ගේ අදහස් විමසීම නිවැරදියි. කොහොම වුණත් එක්තරා ආකාරයකට මේ ගැන සාකච්ඡවක් සිදු වෙනවානේ. ‘මේවා  ඕනෙ නැහැ’ කියලා හිතපු මනස වෙනස් වෙනවානේ. වෙනස්වීමක්  ඕනෙ කියන තැනට ක‍්‍රම ක‍්‍රමයෙන් එන්න  ඕනනෙ. එහෙම ආපුවහම වෙනස්වීම සිදු වෙනවානේ. වෙනස්වීම සිදු වන කොට අර සතුරු බලවේගවල උගුලට ජාතිය හසුකර ගන්න බැහැනේ. එහෙම නොවුණොත් අර සතුරු බලවේගවලට ‘යහපාලනය’ බලාපොරොත්තුවෙන් ඡන්දය දෙන පිරිසකුත් හැදෙනවානේ. එහෙන් ‘යහපාලනය’ ලැබෙන්නේ නැහැ. එහෙන් හැදෙන්නෙ ‘බෙදුම්වාදයට අවශ්‍ය පාලනය.’ ඒක කෙලින්ම ‘අයහපත් පාලනය.’
අපි මෙහෙම කියන කොට සතුරු කල්ලිවලට යම් ආශ්වාදයක් ලැබෙනවා තමයි. නමුත් මේ දෙය කිව යුතුයි. අපි මෙහෙම කියන කොට සමහරු බයවෙලා. ජවිපෙ සහෝදරවරු නම් බයවෙලා ඉන්නේ අපි උන්නැහෙලාගේ ‘කොඩිය’ අතට ගනියි කියලා. අනේ අපි නම් ඔය ‘කොඩියට’ තරග කරන්නේ නැහැ. තමුන්නාන්සේලාම  ඕක තනියම අල්ලාගෙන යන්න. අද ජවිපෙ බටහිරට  ඕන න්‍යාය පත‍්‍රයක යන්නෙ. ඒ දවස්වල වික‍්‍රමසිංහ බලයට එන එක වළක්වන්න පරිවාස ගැසීම, සන්ධාන හැදීම, 2005 දී මහින්ද රාජපක්‍ෂ අගමැතිතුමාට ජනාධිපතිවරණයේදී සහයෝගය ලබා දීම ජවිපෙ අද දකින්නෙ වරදක් විදියටනේ. ජවිපෙ ඒ වරද කළ නිසානේ රට අද මේ තැනට හෝ ආවේ. අපි නම් කියන්නේ එදා කළ දේ නිවැරදියි කියා.
මේ මව් පොළොව දිවි පුදා රැක දුන් රණවිරුවන් බලාපොරොත්තු වුණා, තමන් මේ සටනේදී මියගියත්, තමන්ට ඒ ගමන සඳහා ජීවය දුන් ජාතික බලවේග යුද ජයග‍්‍රහණයෙන් පසුව මේ රට ඉදිරියට ගෙන යයි කියලා. අපට ඔවුන්ගේ ඒ බලාපොරොත්තුව ඉටුකර දීමට යුතුකමක් තිබෙනවා. අප මේ අද ඉටු කරමින් ඉන්නේ අපගේ හෘදය සාක්‍ෂිය අනුව ඒ යුතුකම.
අපි මේක නොකිව්වොත් තමයි, ආණ්ඩුවේ අපාය සහායක මිත‍්‍රයෝ වෙන්නේ. අපි 2005 දී මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමන්ව කරේ තියා ගෙන ගියේ, එතුමාගේ අපාය සහායක මිත‍්‍රයෙක් වෙන්න නොවෙයි, එතුමා කාටත් වඩා හොඳින් ඒක දන්නවානේ. යුද්ධය කරන වෙලාවේ ඒකට එරෙහිව ජවිපෙ අකුල් හෙළුවා. ජවිපෙ ඇතුළෙ ඒ ස්ථාවරයට එරෙහිව මතවාදී අරගලයක් කරලා අන්තිමටම එහි ප‍්‍රතිඵලයක් විදියට එළියට බහින්න අපට සිදු වුණා. ඉන් පසුව අපි අලූත් පක්‍ෂයක් හදලා ඒ යුද්ධයට අවශ්‍ය කරන තල්ලූව, ආණ්ඩුව ඇතුළට ඇවිල්ලා දුන්නේ කිසිදු වරදානයක්, වරප‍්‍රසාදයක් බලාගෙන නොවෙයිනෙ. අපි ඉල්ලූවේ, ‘මේ රටට සාමය රැුගෙන එන්න’ කියන එක විතරනෙ. එහෙම කරපු අපි මේ දේ අද නොකරනවා නම් කවුද මේ දේ කරන්නේ? අපි මේ දේ කියන්නේ අපට එසේ කීමට තියෙන සදාචාර බලය උපයෝගී කරගෙනයි. ජනතාවට අවශ්‍ය වෙනස්වීම් සිදු කර දීම හා සතුරු බලවේග අතට බලය යාම වැළැක්වීම යන කරුණු දෙක ඉටුකර දීම අපේ අරමුණයි.
මෙහෙම නොකියා ‘අතිවිශිෂ්ටයි සර්’ කිව්වාම හරිද? එතකොට මහජනයාත් ‘අතිවිශිෂ්ටයි’ කියලා එක පාරටම කියන්න පෙළඹෙනවාද? නැහැ. ඒ නිසා මේ වෙනස සඳහා අවශ්‍ය බලපෑම කරන්න අපි සූදානම් විය යුතුයි.
මේ අපි කියන දෙය ආණ්ඩුව තේරුම් ගත යුතුයි. නිවැරදි තැනට යම් ආණ්ඩුවක් තල්ලූ කරවීම තමයි, අපේ දේශපාලන උරුමය. අපි ජනතා විමුක්ති පෙරමුණේ ඉන්න කොට 2000 දී චන්ද්‍රිකා කුමාරතුංග පාලනය විවේචනය කරමින් ආවා. එහෙම ඇවිල්ලා අංශක 180ක් හැරිලා ‘පරිවාස ආණ්ඩු යෝජනාවලියක්’ දැම්මා. ‘රනිල් ආවොත් රට බෙදෙනවා. ඒකට ඉඩ දෙන්න බැහැ. ඒ හින්දා කොපමණ අඩුපාඩු තිබුණත් චන්ද්‍රිකා සමග එක`ගත්වයකට යන්න වෙනවා. අවුරුද්දක් අපි පරිවාස ආණ්ඩුවේ ඉමු. ඉඳලා එකට ඊළ`ග මැතිවරණයට තර`ග කරලා රනිල් වික‍්‍රමසිංහ පරදවමු’ කියලයි එදා ජවිපෙ පරිවාස ආණ්ඩු වැඩපිළිවෙළක් ගෙන ආවේ. ඒක හරි. නමුත් ඒ වැඩපිළිවෙළ සාර්ථක වූයේ නැහැ. ඒක මාසයෙන් වැටුණා. ඊට පස්සේ ඡුන්දයක් ආවා. ඒකෙන් රනිල් දින්නා. ජවිපෙ හිතපු විදියටම රනිල් රට බෙදන වැඬේ පටන් ගත්තා. ඊට පස්සේ ඒ රට බෙදන රනිල්ව එළවන්න  ඕනෙ වුණා. ඒ නිසා චන්ද්‍රිකා කුමාරතුංග සමග ගැහුවා සන්ධානයක්. චන්ද්‍රිකා ‘ඒකීයභාවය’ පිළිගත්තේ නැහැ. එයා ජවිපෙට කීවා, ‘අපි එක්සත්, ඔයාලා ඒකීය වෙලා ඉන්න’ කියලා. ඒ කාලයේ ජවිපෙට ‘ඒකීයභාවය’ නැතිව නින්ද යන්නෙත් නැතිවයි හිටියේ. දැන් නම් ඒක ඒ තරම් සලකන්නේ නැහැ. 2004 දී චන්ද්‍රිකා ඒකීයභාවය පිළිනොගත්තත් ජවිපෙ සන්ධානයකට එක`ග වුණා. ඒක අපහසු එකග වීමක්. 2005 දී නම් මහින්ද රාජපක්‍ෂ මැතිතුමා ඒකීයභාවය පිළිගත්තා. ඒ නිසා එතැන තිබුණේ පහසු එකග වීමක්. 2004 දී ජවිපෙ අපහසු එකගවීමකට එළඹුණේ රනිල් තවදුරටත් ‘හිටියොත් රට බෙදෙන එක වේගවත් වන නිසා ඒක වළක්වන්න. 2004 දී එක්සත් ජනතා නිදහස් සන්ධානය ජය ගත්තා. රනිල්ගෙන් රට බේරාගත්තා. 2005 ජුනි මාසයේදී චන්ද්‍රිකා රැගෙන ආ සුනාමි සහන මණ්ඩලයට විරෝධය පළ කරලා ජවිපෙ සන්ධාන ආණ්ඩුවෙන් එළියට ආවා. නමුත් ඊට මාස කිහිපයකට පස්සේ සන්ධාන අපේක්‍ෂක මහින්ද රාජපක්‍ෂ මැතිතුමාව කරේ තියාගෙන ගියා, ඒ වෙන කිසිවකටවත් නොවෙයි, රනිල් වික‍්‍රමසිංහ ජනාධිපති පුටුවට ආවොත් රට බෙදෙන එක වළක්වන්න බැරි හින්දා. අද අපි ආණ්ඩුවට වෙනස් වෙන්න කියන්නෙත් ඒ අර්ථයෙන්මයි. අද ජවිපෙ එදා භූමිකාව අතහැරලා ඒ වෙනුවට රනිල්ට බලයට එන්න වක‍්‍රාකාරව පාවඩ දමන භූමිකාවයි ඉටු කරන්නේ.
අපි 2005 දී ‘රජුන් තනන්නන්’ නොමැතිව ‘රජෙක්’ හැදුවා. තමුන්නාන්සේලා අහලා තියෙනවානේ, ‘දකුණුකරෙන් එන්න – නැෙ`ගනහිරින් එන්න . . .’ කියන ගීතය. ඒ ගීතය මම ලියුවේ, එතුමන් සමග 2005 ජනාධිපතිවරණ ප‍්‍රචාරක කටයුතු සඳහා අම්පාරට රැුස්වීම හෙලිකොප්ටරයකින් යද්දී. මේ ගීතය ලියද්දී ‘රජකු අපට ලැබුණා – එන්න එන්න එන්න . . .’ කියලත් ලියැවුණා. මේකෙ මම මහින්ද රාජපක්‍ෂ මහත්තයාට ‘රජා’ කියලා ලිව්වා කියලා ජවිපෙ දැනගත්තොත්, ඊට පහුවැනිදාම මාව අස් කරනවා. හැබැයි ඉතිං එතැනට ‘රජා’ නැතිව වෙන වචනයක් හරි යන්නෙත් නැහැ. ‘රජෙක් ලැබුණා’ කියන තැනට ‘කබ්බෙක් ලැබුණා’ කියලා ලියන්න පුළුවන්ද? ඉතිං මම එහෙම ලියපු ගීතය, නැවත ඩලස් අලහප්පෙරුම ඇමතිතුමාගේ අත් අකුරින් ලියවලා ඊට පස්සේ ඩලස් ඇමතිතුමා ලවාම රෝහණ වීරසිංහ මහත්තයාට කතා කරවලා, ෆැක්ස් කරන්න සැලැස්සුවා. එහෙම නොකළා නම් මම ‘රජා’ කියලා ලියුවාට ‘ක‍්‍රිමිනල් කෝර්ට්’ තමයි යන්න වෙන්නේ. එදා මහින්ද රාජපක්‍ෂ මහත්තයා ජනාධිපති කරවන්න ජවිපෙ මහන්සි වෙනවා. නමුත් ‘රජා’ කිවුවොත් ලෙඩක්. ඒක මම මේ වෙලාවේ කියුවේ, ‘අපට එදා ඒ පෙළගැස්වීම හදන්න සීමා මායිම් තිබුණේ නැති බව පෙන්වන්න. එදා ඒ ජයග‍්‍රහණය වෙනුවෙන් කළ යුත්තේ කුමක්ද, ඒ සියල්ල අපි කළා. අපි එහෙම කළේ මහින්ද රාජපක්‍ෂ මහත්තයා පෞද්ගලිකවම හඳුනන හින්දා හෝ වෙනත් කිසිවක් නිසා නොවෙයි, එසේ කිරීම රටට උවමනා වූ නිසයි. රටට හතුරු ගමන වැළැක්විය යුතු නිසයි.
සන්ධාන ආණ්ඩුව හදලා, එතැනින් එහාට ජනාධිපතිවරණ දිනවලා, යුද්ධය යනකොට ජවිපෙ අනෙක් පැත්තට හැරෙන කොට, ආඩපාලි කියන කොට, ඇද කුද හොයන කොට අපි එතැනදීත් නිවැරදි ස්ථාවරයේ හිටියා. ජවිපෙන් ගැලවිලා එන එක ලේසිපහසු දෙයක් නොවෙයි. අම්මා, තාත්තා දාලා එනවාටත් වඩා අමාරුයි. නමුත් ඒක නම් භාර ගන්න වෙන්නේ, කැමැත්තෙන්, සතුටෙන් නොවෙයි, උපේක්‍ෂාවෙන් ඒකක් භාර අරන් අපි එළියට ආවා. රටට තියෙන ආදරය වෙනුවෙන් රට අ`ගලකින් හරි ඉස්සරහට ගෙන යන්න මිසක් අපි වෙන කිසිවක් වෙනුවෙන් දේශපාලන තීරණ ගත්තේ නැහැ. හෙටත් ඒක එහෙමයි.
අප ඉදිරියේ තියෙනවා ලොකු අභියෝගයක්. නිවැරදි තැනට මේ රට තල්ලූ කරන්න  ඕනෙ. මේක ආණ්ඩුවට හතුරු ප‍්‍රතිවිරෝධයක් නොවෙයි. ආණ්ඩුවට මිතුරු ප‍්‍රතිවිරෝධයක්, මේක සැබෑ මිතුරු ප‍්‍රතිවිරෝධයක්, විරුද්ධ පක්‍ෂයේ අය තාවකාලික සතුටක් ඇති කර ගනීවි. නමුත් ඒකට අපට කරන්න දෙයක් නැහැ. ඒ තාවකාලික සතුට ඇති වෙන්නේ අපේ වරදක් නිසා නොවෙයි. අපි ඇතුළේ ඉඳලා මේ වෙනස්කම් කර ගන්න කීවාට ඒවා නොකෙරෙන හින්දා, කාටත් නොඇසෙන්න කීවාට නොකෙරෙන හින්දා තමයි කාටත් ඇහෙන්න කියන්න වෙලා තියෙන්නේ. එහෙම කියනකොට සතුරන්ටත් ඇහෙනවා. ඔවුන්ටත් කාලකන්නි සන්තෝෂයක් ලැබෙනවා. නමුත් ඒ සන්තෝෂය දීර්ඝ කාලීනව තිබෙන්නේ ආණ්ඩුව අවශ්‍ය වෙනස්කම් සිදුකර නොගත්තොත් පමණයි.
ආණ්ඩුව ජනතාවට හැකි පමණ සහන ලබා දිය යුතුයි. දැන් ලෝක වෙළඳපොළේ කිරිපිටි මිල 25%කින් පමණ බැහැලා. කිරිපිටි සමාගම්කාරයො කිරිපිටි මිල නග්ගා ගත්තේ අවුරුද්දකට කලින් ලෝක වෙළඳපොළේ පැවැති මිල පෙන්නලා. ‘පුංචි බණ්ඩා’ සමාගම්කාරයො ගෙන්වලා ජනාධිපතිතුමාට ඒත්තු ගැන්වූවා, කිරිපිටි මිල නැ`ගලා කියලා. හැබැයි ඒ අවුරුද්දකට කලින්. නමුත් මේ සමාගම් ගෙන්වපු වෙලාවේ ආයෙත් ලෝක වෙළඳපොළේ කිරිපිටි මිල බැහැලා තිබුණා. එදා ඒ කෙසේ වෙතත් ආණ්ඩුව ගහපු බද්දෙන් භාගයක් අඩු කළා. ඊට අමතරව කිරිපිටි කිලෝ ග‍්‍රෑමයක් මිල රු. 152කින් නග්ගන්න දුන්නා. කිරිපිටි සමාගම් අයුතු ලාභයක් විශාල වශයෙන් ගත්තා. දැන් 25%කින් මිල බැහැපුවහම අඩු කරනවාද? නැහැ. දැන් කියනවා, කලින් ගෙනාපු කිරිපිටි තොග තවම තියෙන්නේ කියලා. අවුරුද්දකට කලින්නෙ මේ මිලට කිරිපිටි නැග්ගේ. එහෙම නම් ලංකාවෙ දැන් විකුණන්නේ අවුරුද්දකට කලින් ගෙන්වපු පරණ කිරිපිටිද? එහෙම නම් ඒ පරණ කිරිපිටි බොන්නත් හොඳ නැහැ. ලෝක වෙළඳපොළේ කිරිපිටි මිල නැග්ගා කියලා කිරිපිටි සමාගම් ජනාධිපතිතුමන් හමුවට ගෙනාපු පුංචි බණ්ඩා අද මේ ‘තවමත් තියෙන්නෙ පරණ ස්ටොක්’ කියමින් කිරිපිටි මිල අඩු නොකරන සමාගම් ජනාධිපතිතුමන් ළගට රැගෙන එනවාද? නැහැනේ. යන්තම් අර බදු මුදල වැඩි කරනු ලැබුවා. ඒත් මහජනයාට සහනයක් නැහැනේ.
දෙන්න තියෙන සියලූ සහන මහජනයාට දෙන්න  ඕනෙ. ජනාධිපතිතුමා කැබිනට් මණ්ඩලයේදී ආපු අදහස් අනුව තීන්දුවක් ගත්තා, ‘ඒකක 60ට අඩුවෙන් භාවිතා කරන විදුලි පාරිභෝගිකයාගේ විදුලි බිල ඉහළ නොදමන්න’ නමුත් දැන් සොයලා බලනකොට ඒ අයගෙත් බිල වැඩිවෙලා. ජනාධිපතිතුමන් රටට කිව්වේ එහෙම වෙන්නේ නැහැ කියලා. පුංචි බණ්ඩලා ඒක ගණන් ගන්නේ නැහැ.
මේ රටේ ජනතාව පීඩා විඳින ගැටළුවලට හේතු කාරණා හොයලා ඒවාට පිළියම් යොදන්න  ඕනෙ. නව කෘෂිකර්මාන්තයත් සමග බැඳුණු කර්මාන්ත සංස්කෘතියකට රට ගෙනෙන්න  ඕනෙ. අලූත් ආයෝජක පරපුරක් මේ රටේ හදන්න  ඕනෙ. ඔවුන්ට සහන ලබා දෙන්න  ඕනෙ. නව ව්‍යවස්ථාවක් ගෙනෙන්න  ඕනෙ. ඊට අදාළ කෙටුම්පතක් හදන්න  ඕනෙ. ඒකට මහජන අදහස් ලබා ගන්න  ඕනෙ. මාස තුනක් පමණ ඒ පිළිබඳ සංවාදයක් කරන්න  ඕනෙ. අවශ්‍ය වෙනස්කම් කරලා, ඒ නව ව්‍යවස්ථාව ක‍්‍රියාවට නගන තැනට මේ රට ගෙන එන්න  ඕනෙ.
ජයවර්ධන හදපු නූතන රාජ්‍යය වෙනුවට දිනාගත් සාමය යටතේ නව රාජ්‍යයක් ගොඩනගන්න  ඕනෙ. උතුරට උතුරු වසන්තය ගියා. නැගනහිරට නැගනහිර උදානය ගියා. ඒ සමගම නව ගොඩනැගිලි, පාලම්, කාපට් පාරවල්, විදුලි යෝජනා ක‍්‍රම ගියා. නමුත් ඡුන්ද දෙමළ ජාතික සන්ධානයට ගියා. ඒ කියන්නේ, උතුරු වසන්තය සහ නැගනහිර උදානයට ජනතා හදවත් දිනාගන්න බැරිවෙලා තියෙනවා කියන එකයි. ඒ හදවත දිනන්න පුළුවන් වන විදියේ ව්‍යායාමයක් මේ රටට  ඕනෙ. ඒ ජන සමාජයේ අධ්‍යාත්මය වෙනස් කරන මහා සංස්කෘතික පෙරළියක් මේ රටට අද  ඕනෙ. ඒ පෙරළිය අද සාකච්ඡුා මේසයේ නැහැ. එක්කෙනෙක්, දෙන්නෙක් ඒවා බදා ගත්තා කියලා මේ දැවැන්ත වෙනස කරන්න බැහැ.
ඒ නිසා අපට අපට තියෙනවා ලොකු වගකීමක්. ඒ ජනතා හදවත් දිනාගැනීමේ මෙහෙයුම් මේ වෙනසට ඇතුළත් කරන්න  ඕනෙ. ඒ හැම ක‍්‍රියාදාමයක්ම එක්කෙනෙක්, දෙන්නෙක් අතේ හිරවෙලා තියෙන ක‍්‍රමවේද වෙනුවට වැඩ කටයුතු බෙදා හදා ගෙන, සාමූහිකව යන ගමනකට පරිවර්තනය විය යුතුයි.
මෙතැනට මේ රට හරවන්න  ඕනෙ. ඒ දිශාවට ආණ්ඩුව පොළොඹවන්න  ඕනෙ. ඒක වෙනුවෙන් අපි අපට කරන්න පුළුවන් සෑම බලපෑමක්ම සිදු කරනවා. ‘බල්ලො නාවනවා’ වගේ හරි අමාරුවෙන් හෝ ඒ දෙය කරන්න  ඕනෙ. බල්ලා නාවන එක නම් අමාරුයි. ‘එක කකුල් දෙකක් මෙහාට අදිනකොට, අනෙක් කකුල් දෙකෙන් එහාට අදිනවා.’
එසේ නමුත් රට හමුවේ තිබෙන මේ අභියෝගය ජය ගන්න අවශ්‍ය සියලූ කැප කිරීම් කරන්න අපි සූදානම්. පරීක්‍ෂණ එනවා, එක එක මඩ ගැසීම් එනවා. අපෙන් කවුරු හරි කඩා ගන්න බලනවා. ඒ මොනවා කළත් කමක් නැහැ. මේක ‘කායික රෝග විශේෂඥයන්ට’ තේරෙන දෙයක් නොවෙයිනේ. ඔය ‘කායික රෝග විශේෂඥයෝ’ සමාජයේ ජන අධ්‍යාත්මයේ තියෙන ප‍්‍රශ්නවලට උත්තර දෙන්න ගියාම මෙහෙම වෙනවානේ. අපි මේ කියන්නේ ගමනේ ප‍්‍රශ්නයක්. මේ ප‍්‍රශ්නයට පිළියම් යොදන්න  ඕනෙ, ‘කායික රෝග විශේෂඥයෝ’ නොවෙයි, අපෙන් දෙතුන් දෙනෙක් එහාට ඇද්දාම ‘ලෙඬේ’ හොඳ වෙයි කියලා එයා හිතනවා. ඒක හරි යන්නේ නැහැ. ලෙඬේ එකක්, බෙහෙත වෙන එකක්. මේ තියෙන්නේ සමාජයෙන් ආපු ලෙඩක්. අපි හදපු එකක් නොවෙයි.
ඒ නිසා මෙතැන තියෙන ඇත්ත අභියෝගය ඉදිරියේ ජනාධිපතිතුමාට සහ ආණ්ඩුවට හිටගන්න පුළුවන් වෙන්න  ඕනෙ. එතුමා යුද්ධය දිනන්න රටට නායකත්වය දුන්නා. ඒ අවදානම භාර අරන් ඒ යෝධ වගකීම සාර්ථකව ඉටු කළා. එතුමාගේ පාලන කාලය තුළ නූතන රාජ්‍යය ගොඩනගන්න පුළුවන් වෙන්න  ඕනෙ. ඒක පාරවල් හෝ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමෙන් පමණක් ගොඩනගන්න පුළුවන් රාජ්‍යයක් නොවෙයි. ජනතාවගේ අධ්‍යාත්මය ගොඩනගන දිසාවට, සංස්කෘතික පෙරළියක් ඇති වෙන දිසාවට, සිංහල, දෙමළ, මුස්ලිම් ජන සමගිය ඇති කරන දිසාවට, ජාතිය ඉදිරියේ ඇති ඇත්ත අභියෝග දිනන දිසාවට, ආර්ථිකයේ මහා නිෂ්පාදන සංස්කෘතියක් ගොඩනගන දිසාවට, ඒකට අවශ්‍ය දරුවකු අධ්‍යාපනයෙන් හදන දිසාවට සමස්තයක් ලෙස සිදු වන පරිවර්තනයක්  ඕනෙ. ඒ සඳහා ආණ්ඩුව පොළොඹවන්න අවශ්‍ය කුමක්ද? ඒ සියල්ල අපි කරනවා. ඒක කරන්න තමයි මේ යෝජනා 12ක් දුන්නේ. යෝජනා 12 පිළිගත්ත ගමන් මේ සියල්ල සිදු වන්නේ නැහැ. යෝජනා 12ට එකග වීමෙන් එක දෙයක් පැහැදිලි වෙනවා. ඒ තමයි ‘වෙනසකට සූදානම්’ කියන එක. දැන් අපි අහන්නේ ‘ඒ වෙනස කරා යොමු වෙන්න සූදානම්ද? නැද්ද? කියලයි. මේකට ලැබෙන පිළිතුර රටේ අනාගතය කෙරෙහි බලපාන පිළිතුරක්. කොහොම වුණත් අපි විශ්වාස කරනවා, ‘මේ රට අවාසනාවන්ත නැහැ’ කියලා. මේ රට වැටිලා තිබුණු ප‍්‍රපාතයෙන් ගොඩට ආවා. ඉතිං ඉතිරි ‘කොඩිවින’ ටිකත් කපන්න  ඕනෙ. ‘මවාගත්තු සංවර්ධන මොඩලය’ වෙනුවට ‘ජාතියට උවමනා නිෂ්පාදන සංස්කෘතියක් සහිත ආර්ථික මොඩලයක්’ ඇතුළෙ මේ රට ස්ථානගත කරන්න  ඕනෙ. ඒ සඳහා ඔබ සියලූ දෙනාගේ දායකත්වය, සහභාගීත්වය හා ශක්තිය අපට අවශ්‍යව තිබෙනවා.
මහජනතාවගෙන් ලැබෙන බලය හා ශක්තිය තමයි අපි රට වෙනුවෙන් ආයෝජනය කරන්නෙ. අපි ඒ බලය හා ශක්තිය ආයෝජනය කළේ රට නැහැ අපේ බඩ තරකර ගන්න. අපි පෙරළා ඒක ආයෝජනය කළේ රට නැවත ශක්තිමත් කරන්න. ඒ නිසා ඔබ සැම ලබා දෙන ශක්තිය ඉතාම වැදගත්. අපි එකට එකතු වෙමු. මේ අන්තරාය දකිමු. මව්බිමට සතුරු බලවේග ‘මව්බිමේ සුක්කානම’ සියතට ගැනීමේ මෙහෙයුම වළක්වන්න නම් ජාතියේ අභිලාෂයන්ට අනුව ආණ්ඩුව නැවත ස්ථානගත කළ යුතුයි. ඒ සඳහා මහා බලපෑම ගොඩනගන දැවැන්ත ජනතා බලවේගය ගොඩනගමු.. ඒ සඳහා පෙරමුණ ගනිමු…!’
මෙම සම්මන්ත‍්‍රණයේ මුලසුන ජාතික නිදහස් පෙරමුණේ මහනුවර දිස්ත‍්‍රික් නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී නිමල් පේ‍්‍රමවංශ මහතා විසින් දරනු ලැබීය.
මාධ්‍ය ඒකකය
ජාතික නිදහස් පෙරමුණ

No comments:

Post a Comment